ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දිනය

මැයි 17 වන දිනට යෙදෙන ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දිනයේ ආරම්භය මීට වසර 147 කට පෙර සිදුවූවකි. සාමාජිකයන් 192 කින් සමන්විත ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය "The First Telegraph Convention" නමින් 1865 දී ආරම්භ වී වසර 147 ක්‌ පුරා විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කරන අන්තර්ජාතික ආයතනයකි. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දිනය සමරන අද වැනි දිනක මෙකී ක්‍ෂේත්‍රයෙහි ලොව ලබා සිටින ප්‍රගතිය විශ්මිත බව පෙනී යනු ඇත.

මෙවර ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දිනයේ තේමාව වන්නේ "තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ කාන්තාවන් හා ගැහැනු ළමයි" යන්නය. සමස්‌ත සමාජයේ අභිවෘද්ධිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සලසන සේවය අතිමහත්ය. තොරතුරු තාක්‍ෂණය මගින් කාන්තාවන්, ගැහැනු ළමුන්ගේ අභිවෘද්ධිය උදෙසා කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීමටත් මේ වසරේ ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දිනයේ අරමුණු කරගෙන ඇත. කාන්තාවගේ දැනුවත් බව සහ ඇගේ ක්‍රියාකාරීත්වය මගින් පවුල සහ සමාජය තවදුරටත් දියුණු කිරීමටත් එමගින් සමාජ ප්‍රගමනයට කාන්තා සහභාගිත්වය වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. දරුවන් දැරීමේ සිට පෝෂණය, අධ්‍යාපනය, සමාජානුයෝජනය, සමාජයේ ඉටු කරන කාර්යයන්, රැකියාව සහ විදේශ විනිමය ඉපැයීම ආදී සෑම ක්‍ෂේත්‍රයකම නූතන කාන්තාව ඉදිරියෙන් සිටී. ඔවුන් අද දවසේ තොරතුරු තාක්‍ෂණයෙන් සන්නද්ධ වෙමින් පවතී.

ආසියාතික කාන්තාවන් සමග සංසන්දනාත්මකව බලන කල ශ්‍රී ලාංකීය කාන්තාව අධ්‍යාපන මට්‌ටමින්, සෞඛ්‍ය තත්ත්වයෙන්, සමාජ ආර්ථික මට්‌ටමින් ඉදිරියෙන් සිටී. ශ්‍රී ලාංකීය කාන්තාව 92% ඉහළ සාක්‍ෂරතා මට්‌ටමක්‌ පෙන්නුම් කරන අතර ඇගේ ආයු අපේක්‍ෂා මට්‌ටම 77 කි. මෙය පිරිමි ආයු අපේක්‍ෂා මට්‌ටම වූ 72 ට වඩා ඉහළ අගයකි. කාන්තාවගේ දැනුවත් භාවය නිසාම රටෙහි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය සිදුවී ඇත. රෝගාබාධ වලින් වැළකී සිටීමට, නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ යහපත් සෞඛ්‍ය පුරුදු දරුවන්ට ඇති කිරීමටත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දරුවන් ඉහළ තලයක නංවා තැබීමටත් මවගේ දැනුවත්භාවය ඉවහල් වී ඇත.

කාන්තාව තොරතුරු තාක්‍ෂණයෙන් සන්නද්ධ වීම පිළිබඳ මෙම අලුත් චින්තනයෙන් මවකගේ මග පෙන්වීමේ හස්‌තය තුළින් සමාජයෙහි සහ පවුලේ ප්‍රගමනය මෙන්ම ඇගේ වෘත්තීය දිවිය මල්ඵල ගැන්වේ. වර්තමාන සමාජය විදුලි සංදේශනයෙන් සහ තොරතුරු තාක්‍ෂණයෙන් ඉතා දියුණු තත්ත්වයක පවතී. ශ්‍රී ලංකාවේ වර්තමාන දුරකථන භාවිතය 106% කි. ඉන් 88.63% ක්‌ ජංගම දුරකථන වන අතර 17.46% ක්‌ ස්‌ථාවර දුරකථන භාවිත කෙරේ. එමෙන්ම තොරතුරු තාක්‍ෂණය භාවිතය ද ඉහළ අගයක්‌ ගනී. මේ අනුව තොරතුරු තාක්‍ෂණය භාවිතය ගුණාත්මකව වර්ධනය කළ යුතු අංශයකි. විශේෂයෙන්ම කාන්තාව තොරතුරු තාක්‍ෂණයෙන් වඩාත් ශක්‌තිමත් කිරීම රටේ සංර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්‌ව පවතී. ඒ සඳහා රජය පියවර රැසක්‌ වර්තමානයේ ගෙන ඇත.

විදුලි සංදේශනය සහ තොරතුරු තාක්‍ෂණය සෑම රටකම ප්‍රචලිත කිරීම සඳහා ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ හා සමගාමීව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද මෙම වසරේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනයට කුසලතා සංවර්ධනයට දිරිදීම සිදුකරයි. එමෙන්ම ජාත්‍යන්තර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුග්‍රහය යටතේ ප්‍රජාව හා පාසල් සම්බන්ධීකරණය කරන "§Connect a School Connect a Community" ව්‍යාපෘතිය ඔස්‌සේ ඉතා දුෂ්කර ග්‍රාමීය පාසල් සඳහා තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස්‌ පරිදි දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකම පාසල් ආවරණය වන පරිදි අවශ්‍ය පරිගණක ලබාදීමත් එමගින් පාසල් වල සිසුන්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩිදියුණු කිරීමට අනුග්‍රහය සැපයීමත් සිදු කෙරේ. මෙම වැඩසටහන් මගින් කාන්තාවන්, පාසල් ළමුන් සහ සමාජයේ තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා ලැබෙන දායකත්වය විශේෂිතය. නූතන තාක්‍ෂණ දියුණුවත් සමග තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අභියෝග රැසක්‌ මතුව තිබේ. නව සහශ්‍රකයේ සංවර්ධන අරමුණු, අභියෝග සැම ජය ගැනීමට සැමගෙන් ලැබෙන දායකත්වය අගයමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.