ජලය ඉල්ලා ගිරිතලේ ගොවීහු දිසා ලේකම් කාර්යාලය වටලති

කරුණාරත්න ගමගේ - රොෂාන් තුෂාර

තම කුඹුරුවලට අවශ්‍ය තරම් ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු 1000 කට අධික පිරිසක්‌ ඊයේ (16 දා) උදේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වැටලුහ.

ගිරිතලේ වැවේ ප්‍රමාණවත් තරම් ජලය තිබියදී වාරිමාර්ග නිලධාරීන් අත්තනෝමතිකව ක්‍රියා කොට ජලය ලබා නොදෙතැයි මෙහිදී ගොවීහු කියා සිටියහ.

පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ ආර්. එම්. ජී. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන් කන්න රැස්‌වීමේදී ගත් තීරණවලට පටහැනිව නියමිත ප්‍රමාණයට වඩා කුඹුරුවල වී වගාකොට තිබෙන බවයි.

මෙවර කන්න රැස්‌වීමේදී තීරණය වූයේ මුළු කුඹුරු ප්‍රමාණයෙන් සියයට 80 ක්‌ සඳහා පමණක්‌ ජලය නිකුත් කිරීමටත් එම ප්‍රමාණයෙන් සියයට 40 ක වී සහ සියයට 60 ක අතිරේක බෝග වර්ග වගා කිරීමටත් බව කී කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ගොවීන් මෙවර සියයට සියයක්‌ම කුඹුරුවල වී වගා කිරීම නිසා මෙම ජල ප්‍රශ්නය ඇතිවී තිබෙන බව කීය.

දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වටලා සිටි ගොවීන් හමුවට පැමිණි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන්ගේ ජල ප්‍රශ්නයට වහාම විසඳුම් ලබා දෙන ලෙස තමන් වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව කීය.

ගොවි නියෝජිතයින් සහ වාරි මාර්ග නිලධාරීන් සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව කුඹුරුවලට අවශ්‍ය තරම් ජලය නිකුත් කිරීමට තීරණය වූ අතර ඉන්පසුව ගොවීහු දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයෙන් නික්‌ම ගියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.