උතුරු මැද පළාත් සභාව විසුරුවීමේ තහනම ජුනි 6 දා තෙක්‌ දීර්ඝ කරයි
පෙත්සම ගැන තීරණයත් එදිනට

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

නියමිත නිල කාලය අවසන්වීමට පෙර උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීම වළක්‌වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන ජුනි මස 06 වැනිදා තෙක්‌ දීර්ඝ කළ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය ඊට අදාළ පෙත්සම පිළිබඳව විභාග කොට තීරණයක්‌ ලබාදීමට එම අධිකරණයට බලයක්‌ තිබෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් එදිනට තම තීරණය ප්‍රකාශයට පත් කරන බව ඊයේ (16 දා) දැනුම් දුන්නේය.

අදාළ පෙත්සම පිළිබඳ නඩුව විභාග කිරීම ඊයේ නැවත කැඳ වූ අවස්‌ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඒ සම්බන්ධයෙන් දැක්‌වූ කරුණු සැලකිල්ලට ගනිමින් උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඒ බව දැනුම් දුන්නේය.

නියමිත නිල කාලය අවසන් වීමට පෙර උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීමට සූදානමක්‌ පවතින බැවින්, එය වළක්‌වාලමින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලෙසට උතුරු මැද පළාත් සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී අනිල් රත්නායක මහතා විසින් නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන් හත්දෙනකුට එරෙහිව මේ පෙත්සම ගොනු කර තිබේ.

එම පෙත්සමින් සෙසු වගඋත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරුන් වන කේ. එච්. නන්දසේන, අප්පුහාමිගේ හේරත් බණ්‌ඩා සේමසිංහ, එස්‌. එම්. පේෂල ජයරත්න, ආර්. එම්. පී. බී. රත්නායක, පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ හා උතුරු මැද පළාත් සභා ලේකම් ඒ. එම්. ඩබ්ලිව්. ඒ. අමුණුගම යන මහත්වරුන් නම් කොට ඇත.

පෙත්සම පිළිබඳ විභාගය නැවත කැඳ වූ අවස්‌ථාවේ පෙත්සම්කාර අනිල් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කරුණාරත්න හේරත් මහතා ප්‍රමුඛ නීතිඥයන් හා වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතාගේ උපදෙස්‌ මත පෙනී සිටි නීතිඥවරු පැය දෙකකට ආසන්න කාලයක්‌ සිය වගඋත්තරකරුවන් වෙනුවෙන් ලිත හා වාචික විරෝධතා ඉදිරිපත් කළහ.

මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න හා උතුර මැද පළාතේ ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් කසුන් දිසානායක යන මහත්වරුන් පෙනී සිටීම විශේෂ සිද්ධියක්‌ විය.

මේ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ ශාලාව නීතිඥවරුන් සහ වගඋත්තරකරුවන්ගේ හා පෙත්සම්කරුගේ පාර්ශ්වයේ ආධාරකරුවන්ගෙන් පිරී පැවතීමද විශේෂයෙන් කැපී පෙනිණි.

පළමු වගඋත්තරකරුවන් තිදෙනා වෙනුවෙන් නීතිඥයන් ලෙස මහේෂ් කොටුවැල්ල, නාමල් රාජපක්‍ෂ, පයිසර් මුස්‌තාපා, හතරවැනි වගඋත්තරකරු වෙනුවෙන් නවෝද විඡේරත්න, ආරියසේන ගාල්ලගේ, කාලිංග රවීන්ද්‍ර, ජයන්ත කුලතිලක, එරන්දි සන්ධ්‍යා, ප්‍රදීප් දිසානායක, බරණ කුඹලාතර, උත්පලවන්නා විඡේරත්න, ශාන්ත ජයවර්ධන, පස්‌වැනි වගඋත්තරකරු වෙනුවෙන් අනුරාධ ජයරත්න, කසුන් දිසානායක, පී. බී. රත්නායක, සාධනා තිමති, පේමසිරි හෙට්‌ටිආරච්චි, මදාරා විඡේසිංහ, එස්‌. සී. එස්‌. ඊබ්‍රාහිම්, ජනිතා දිසානායක හා ඉසුරු බාලපටබැඳි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

මේ අතර මෙම නඩුවේ විශේෂඥ නීතිඥ සහාය ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉදිරිපත්ව අධිකරණයට කරුණු දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.