තුන්වැනි පන්තියට ටිකට්‌ ගෙන පළමුවැනි, දෙවැනි පන්තියේ යන දුම්රිය මගී පිරිස වැඩිවෙලා

අකිත පෙරේරා

තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර රැගත් දුම්රිය මගීන් දෙවැනි සහ පළමුවැනි පන්තිවල ගමන් කිරීමේ ප්‍රවණතාවක්‌ ඇතැයි දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා "දිවයින" ට පැවසීය.

එවැනි මගීන් කොටුකර ගැනීමට ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂා කිරීම් ඉදිරියේදී වැඩි කරන බව ද කී හෙතෙම එවැනි මගීන්ගෙන් දඩ අයකර ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන බව ද කියා සිටියේය.

දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයෙහි ගමන් ගන්නා කාර්යාල සේවකයන් පුරුද්දක්‌ වශයෙන් මෙසේ ගමන් කරන බවත් එම මාර්ගයෙහි සිදුකරන ලද ප්‍රතිසංස්‌කරණ හේතුවෙන් ඒ පිළිබඳව මීට පෙර එතරම් සොයා නොබැලුවද ඉදිරියේදී එම පරීක්‍ෂා කිරීම් දිගින් දිගටම සිදුකරන බව ද ඒ මහතා සඳහන් කළේය.

කළුතරදී (14 දා) එවැනි පරීක්‍ෂා කිරීම් සිදුකළ බවත් අදාළ පන්තියෙහි ගමන් නොගත් මගීන්ට එදින යම් සහනයක්‌ ලබාදුන්න ද ඉදිරියේදී එවැනි සහන ලබා නොදෙන බව ද සමරසිංහ මහතා කීය.

ප්‍රවේශ පත්‍ර ගනු ලබන මැදිරියෙහි මගීන් ගමන් නොකරන බවට මගීන් විසින්ම දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.