ඒකාබද්ධ විපක්‍ෂයෙන් ආණ්‌ඩුවට එරෙහිව පුළුල් විරෝධතාවක්‌

පියසේන දිසානායක

ලබන ජුනි, ජූලි සහ අගෝස්‌තු මාස තුනෙහි ආණ්‌ඩුවට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාර හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය (14 වැනිදා) තීරණය කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්‌වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජුනි මාසයේ මුල් සතියේ සිට ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත සම්බන්ධව රට පුරා සංචාරය කරමින් විවිධ සම්මන්ත්‍රණ, රැස්‌වීම්, විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.

උතුරට දේශපාලන විසඳුමක්‌ ලබාදීම සඳහා ආණ්‌ඩුව සහ විපක්‍ෂය අතර ගෙන යන වැඩපිළිවෙළ එලෙසම ඉදිරියට ගෙන යන අතරතුර ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතා ව්‍යාපාරය දියත් කෙරෙන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා (15 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ඉදිරි මාස තුන තුළ දියත් කරන මෙම විරෝධතා හා ජනතාව දැනුවත් කිරීමේ අවසන් අදියරේදී රටම එක්‌කරගත් දැවැන්ත ව්‍යාපාරයකට යැම විපක්‍ෂයේ අරමුණ වී තිබෙන බව ද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.