ඝාතනයට ලක්‌වූ අයගේ සිරුරේ ඇනීම් තුවාල 4 ක්‌ තිබුණා දෙකක්‌ මාරාන්තිකයි
පමුණුගම සෙත්තපාඩුව ඝාතන නඩුව

මීගමුව සමූහ - විමල් කීර්ති

මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වූ අයගේ වයස අවුරුදු 52 යි. ඔහුගේ සිරුරේ ඇනීම් තුවාල හතරක්‌ තිබුණා. එයින් තුවාල දෙකක්‌ මාරාන්තික තුවාල. එම තුවාල තියුණු ආයුධයකින් ඇන සිදු කළ තුවාල බවට නිශ්චය කර හැකි යෑයි ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමල් නිශාන්ත ගජසිංහ (40) මහතා මීගමුව මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ පැවසීය.
2004 ජුනි මස 13 වෙනි දින පමුණුගම සෙත්තපාඩුව ප්‍රදේශයේදී වයෝවෘද්ධ විවාහකයකුව සිටි සී. එම්. සීබට්‌ ඇන්ටනී සිල්වා (52) යන අයව ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්‌ දෙනකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දෙමින් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා එසේ පැවසීය.
මෙහි විත්තිකරුවන් වූයේ පමුණුගම සෙත්තපාඩුව ධීවර ගම්මානයේ පදිංචිකරුවන් වන එම්. සුරංග ඇලෙක්‌සැන්ඩර්, කේ. ඇන්ටන් මනෝ- කුමාර, ඒ සම්පත් කුමාර, ඩබ්ලිව්. ඔස්‌මන් කෲස්‌ සහ ඒ. ජූඩ් සමන්ත නමැත්තන්ය. රජයේ අධිනීතිඥ පද්මල් වීරසිංහ ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත විශේෂඥ වෛද්‍ය අමල් නිශාන්ත ගජසිංහ මහතා තවදුරටත් සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය. මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය මා සිදු කළේ රාගම ශික්‌ෂණ රෝහලේදීය.
මරණ කරුගේ ශරීරයේ තිබූ තුවාල හතර පිහිටා තිබුණේ ඔහුගේ උදරය ප්‍රදේශයෙයි. එක්‌ තුවාලයකින් විශාල ලෙස රුධිරය වහනයවීමක්‌ දක්‌නට තිබුණා. ඔහුගෙන තිබු ආහාර සමග මධ්‍යසාරත් තිබුණා. ඔහුගේ සිරෝසීස්‌ රෝගයේ ලක්‍ෂණ දකින්නට ලැබිණි. එහෙත් මෙම මරණයට එම හේතුව බලපා නැතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පැවසීය.
මෙහිදී විශ්‍රාමික පොලිස්‌ පරීක්‍ෂක ධර්මදාස මහ ගමගේ (64) මහතා සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය. මෙම සිද්ධිය වූ වකවානුවේ මා සේවය කළේ මීගමුව පොලිසියේයි. මෙම ඝාතනයට පසුබිම මෙහි මිය ගිය අයගේ නිවසටත් එම නිවසට යාබදව පිහිටි ඔහුගේ පුතාගේ නිවසටත් කිසියම් පිරිසක්‌ පහරදී අලාභහානි සිදු කරන අවස්‌ථාවේ එම සිද්ධිය බලන්නට යැමයි. මම එම ස්‌ථානය පරීක්‍ෂා කළා. එහි නිවාස වල ජනේල වල වීදුරු බිඳ දමා තිබුණා. එහි වැලි මිදුලේ කිසිවෙකු දැඟලූ ස්‌වභාවයක ලක්‍ෂණ තිබුණා.
මෙම විත්තිකරුවන් පොලිසිය මග හැර සැඟවී සිට අධිකරණයට භාරවුණා. ඔවුන්ගේ කටඋත්තර මා ලබා ගත්තේ බන්ධනාගාරය තුළ දී යෑයි ඔහු පැවසීය.
රජයේ අධිනීතිඥ පද්මලාල් වීරසිංහ ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් ලසන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියාය. වැඩිදුර විභාගය ජුනි මස 20 වෙනි දිනට කල් තැබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.