ග්‍රීසියෙන් පැන්නූ රන් හා දියමන්ති ගැන හඳුනා ගැනීමේ වාර්තාවක්‌ කැඳවයි

සමන්ත ඉලේපෙරුම

ග්‍රීසියේ ඇතෑන්ස්‌ නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබියදී රේගුව මගින් අත්අඩංගුවට ගත් ස්‌වර්ණාභරණ හා දියමන්ති තොගය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ වාර්තාවක්‌ කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (16දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ග්‍රීසියේ ඇතෑන්ස්‌ නුවර වෙරිකාස්‌ ස්‌වර්ණාභරණ ආයතනයේ හිමිකාරිය වන නුරාකි හෙලනි නැමැත්තිය විසින් අදාළ ස්‌වර්ණාභරණ හා දියමන්ති තොගයේ හිමිකාරිත්වය ඉල්ලා කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහේස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

එම ස්‌වර්ණාභරණ ආයතනයේ රැකියා කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයකු විසින් රන් ආභරණ හා දියමන්ති සොරකම් කර පලාගොස්‌ ඇති බවට ග්‍රීසියේ ඇතෑන්ස්‌ ජාත්‍යන්තර පොලිසිය කළ දැනුම් දීමක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහි පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

සිද්ධියට අදාළව පැවැති පරීක්‍ෂණ අනුව හොරණ, අඟුරුවාතොට පදිංචි ජනක වීරසිංහ, ජගත් වීරසිංහ හා වත්තල හේකින්න පදිංචි ප්‍රසාද් උදයංග මෙන්ඩිස්‌, උපුල් රංගන පෙරේරා නමැති සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ලබන 28 දා තෙක්‌ ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුගත කර ඇති අදාළ ස්‌වර්ණාභරණ හා දියමන්ති තොගය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ වාර්තාවක්‌ කැඳවන ලෙසට නියම කළ මහෙස්‌ත්‍රාත් වරයා එම වාර්තාව ලබන 18 දිනට ගොනු කරන ලෙසට නියම කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.