ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා විමල් වීරවංශ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්‌

ශ්‍රී ලංකාවේ ඉරාන් ඉස්‌ලාමීය ජනරජයේ නව තානාපති ආචාර්ය මොහාමඩ් නබි හසනිපුර් මහතා හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ හමුවක්‌ පෙරේදා (15) දින නිවාස අමාත්‍යාංශයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි. පැයකට ආසන්න කාලයක්‌ පැවති මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක්‌ යොමුවුණේ වත්මන් ලෝක දේශපාලන තත්ත්වය පිළිබඳවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණපා සිටින ගැටළු සහ ඇතැම් බලවත් රටවලින් එම රටවලට සිදුවන බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාව හා ඉරාන් ඉස්‌ලාමීය ජනරජය ඉතිහාසයේ සිට පවතින දැඩි මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකාවට තවදුරටත් තම රටේ උපරිම සහයෝගය හිමිවන බව ශ්‍රී ලංකාවේ ඉරාන් ඉස්‌ලාමීය ජනරජයේ තානාපති ආචාර්ය මෙහොමඩ් නබි හසනිපුර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවද ඉරානයට සහය පළකරන බවත්, තම රටට ලබාදෙනු ලබන සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්‌තුතිය පළකරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන නිවාස සඳහා ඉරානයේ විශේෂඥ තාක්‌ෂණික උපදෙස්‌ ලබාගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මුදල් ඉතිරි කරගනිමින් ශක්‌තිමත් නිවාස ඉදිකිරීමේ නව තාක්‍ෂණික විධි ක්‍රම කිහිපයක්‌ ගැනද මෙහිදී අවධානය යොමු විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.