වෙබ් අඩවි කිහිපයකට පනවා ඇති බාධක ඉවත් කරන්නැයි ගොනු කළ පෙත්සම ඉවතට


සරත් ධර්මසේන

අන්තර්ජාල වෙබ් අඩවි කීපයකට පනවා ඇති බාධක ඉවත් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසමට සහ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාට නියෝග කරන්නැයි ඉල්ලා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16 වැනිදා) ගාස්‌තු රහිතව ප්‍රතික්‍ෂේප කළේය.

පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ වග උත්තරකරුවන් උසාවි කැඳවා විභාගයක්‌ පැවැත්වීමට තරම් නඩුවක්‌ පෙත්සමෙන් ඉදිරිපත් වී නැති බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් අධිනීතීඥ ඡේ. සී. වැලිඅමුණ මහතාද, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සවීන්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ඩී. එස්‌. විඡේසිංහ හා අධිනීතිඥ අලි සබ්රි යන මහත්වරු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

අධිනීතිඥ වැලිඅමුණ මහතා සඳහන් කළේ වෙබ් අඩවිවලට බාධාකිරීම ජනතාවට කතා කිරීමට හා අදහස්‌ ප්‍රකාශ කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිය උල්ලංඝනය කිරීමක්‌ බවයි.

අනිත් කාරණාව වෙබ් අඩවි පාලනය කළ හැකි නීති රෙගුලාසි පනවා නැති බවත් අදාළ බලධාරීන් කරන්නේ නීතියෙන් පැවරී නැති බලතල පාවිච්චි කරමින් වෙබ් අඩවිවලට අවහිර කිරීම බවත් අධිනීතිඥ වැලිඅමුණ මහතා කීය.

වෙබ් අඩවි සියල්ල මාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි විය යුතු බව කියා සිටියත් ඊට අදාළ නීති රෙගුලාසි පනවා නැතැයිද වෙබ් අඩවි පාලනය කරනවා නම් එහි නීතියෙන් දක්‌වා ඇති ආකාරයට කළ යුතු බවත් නීතියක්‌ නැතිව කිසිවක්‌ පාලනයක්‌ කළ නොහැකි බවත් වැලිඅමුණ මහතා කීය.

2 හා 3 වැනි වගඋත්තරකරුවන් වන ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් හා මාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අනතුරුව කරුණු දක්‌වමින් කියා සිටියේ වෙබ් අඩවිවලට හෝ වෙන මාධ්‍යයකට තහංචි පැනවීමට රජයට උවමනාවක්‌ නැති බවයි.

වෙබ් අඩවි කීපයකට පමණක්‌ අවහිර කිරීමට අදාළ බලධාරීන් පියවර ගත්තේ යම් යම් පුද්ගලයන්ගේ කීර්ති නාමයට දැඩි ලෙස හානි වන අසත්‍ය තොරතුරු දිගින් දිගටම එමගින් ප්‍රචාරය කිරීම නිසා බවත් එම වෙබ් අඩවි පවත්වාගෙන යන අය කවුද දැන ගන්නට නැති බවත් ඒවා චරිත ඝාතනය කිරීමේ අරමුණකින් යුතුවම පවත්වාගෙන යන ඒවා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

එම වෙබ් අඩවිවල අනන්‍යතාවක්‌ හෙළිකර නැති නිසා ඒවාට එරෙහිව නීති මගින් කටයුතු කර වන්දියක්‌ අයකර ගැනීමට හැකියාවක්‌ නැති බවත් සියලු වෙබ් අඩවිවලට අනන්‍යතාව තහවුරු කොට ලියාපදිංචි විය යුතු බවට ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බවත් මේ වනවිට වෙබ් අඩවි 90% ක්‌ ලියාපදිංචි වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

අගවිනිසුරු - ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අඩවි ප්‍රමාණය කෙතෙක්‌ද?

නි. සොලිසිටර් ජනරාල් - ස්‌වාමීනි, වෙබ් අඩවි 41 ක්‌ තියෙනවා. 05 ක්‌ හැර සෙසු වෙබ් අඩවි ලියාපදිංචි වෙලා. ලියාපදිංචි කරනවා නම් ඒවාට කිසිම බාධාවක්‌ නැහැ. මේ ළඟදී ශ්‍රී ලංකා මිරර් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවිය ලියාපදිංචි වුණා. අනිත් ඒවා හොර වෙබ් අඩවි. මූණ සඟවාගෙන සිට රටේ වැදගත් පුද්ගලයන්ට අපහාස කරන්න අටවා ගත්තුවා.

මාධ්‍ය නිදහස සහ අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම මේ රටේ සෙසු ජනතාවගේ නිදහසත් ආරක්‍ෂා විය යුතුයි. එළියට බසින්නේ නැතිව හැංගිලා ඉඳගෙන පුද්ගලයන්ට අපහාස කරනවා නම් ඒවාට වැටබැඳීම වැරදි වැඩක්‌ද ?

අගවිනිසුරු - ලියාපදිංචි වී නැති වෙබ් අඩවි 04 යි.

නි. සොලිසිටර් ජනරාල් - ඒවාටත් අවස්‌ථාවක්‌ දුන්නා නමුත් ආවේ නැහැ.

අධිනීතිඥ වැලිඅමුණ - ශ්‍රී ලංකාවේ තොරතුරු ප්‍රචාරය කරන වෙබ් අඩවි 340 ක්‌ පමණ තියෙනවා.

නි. සොලිසිටර් ජනරාල් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නේ 41 යි. අනිත් ඒවා විදේශ රටවල සිට ක්‍රියාත්මක වෙන ඒවා.

නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සුනිල් ජයසේකර මධ්‍යම කාරක සභික උදය හේවාවිතාරණ නමින් පෙත්සම ගොනු කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.