අප සතු උතුම්ම වස්‌තුව ජීවිතයයි;
රණවිරුවෝ උතුම් වස්‌තුව මවුබිම වෙනුවෙන් පූජා කළා
සබරගමු පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර



මව්බිම වෙනුවෙන් දිවි පිදූ අඟපසඟ දන්දුන් අපේ රණවිරුවන්ට කළ හැකි හොඳම උපහාරය නම් වැඩපොළේ, කම්හලේ, පාසලේ මේ හැම තැනකදීම අපි අපේ යුතුකම් අකුරටම ඉටුකිරීමෙන් පමණකැයි සබරගමුව පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතා සඳහන් කරයි.

ඔහු එසේ සඳහන් කළේ ඊයේ (16 දා) රත්නපුර නවනගරයේ රණවිරු ස්‌මාරකය අබියස පැවති සබරගමුව පළාත් රණවිරු උළෙල අමතමිනි.

මවුබිම වෙනුවෙන් දිවි පිදූ සබරගමුවේ රණවිරුවන් 2963 දෙනකු සිහිපත් කරමින් රණවිරු ස්‌මාරකය අබියස ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර, මහ ඇමති මහීපාල හේරත්, සභාපති රංජිත් බණ්‌ඩාර යන මහත්වරු පළමුව පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරුව රණවිරුවන්ගේ ඥති මිත්‍රාදීන් ප්‍රණාමය පුද කළහ. සබරගමුව පළාත් සභාව රණවිරු සේවා අධිකාරිය සමඟ එක්‌ව සංවිධානය කළ මෙම පළාත් උළෙල ත්‍රිවිධ හමුදා උත්තමාචාර මෙන්ම ආගමික වතාවත්වලින්ද සමන්විත විය.

මෙහිදී ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතා සඳහන් කළේ මාතෘ භූමිය ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකතුමා අපේ රණවිරුවන්ට අද්විතීය නායකත්වයක්‌ ලබාදුන් බවය.

කෙනකු සතු උතුම්ම වස්‌තුව ජීවිතයයි. අපේ රණවිරුවෝ ඒ උතුම් වස්‌තුව පවා තම මවුබිම වෙනුවෙන් පුදකළා. ඒ ණය කොතෙක්‌ මල් පිදුවත් ගෙවිය හැක්‌කක්‌ නොවේ. අප මේ විඳින සැනසුම රණවිරුවන්ගේ අනන්ත අප්‍රමාණ පරිත්‍යාගවල ප්‍රතිඵලයි. අපට ණය ගෙවිය හැක්‌කේ කම්හලේ, වැඩපොළේ, පාසලේ මේ හැම තැනකදීම අපි අපේ වැඩ කොටස, යුතුකම් අකුරටම ඉටුකිරීමෙන් පමණයි.

දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, විජයබාහු, හයවන පරාක්‍රමබාහු, කැප්පෙටිපොලගේ පටන් වර්තමාන අපගේ සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දක්‌වා සිදු කළේ සතුරන්ට එරෙහිව ධර්මානුකූල යුද්ධයක්‌. නන්දිකඩාල් ගැන, පුදුමාතලන් ගැන කථා කරන උදවියට අප සිහිපත් කරන්න කැමැතියි අප යුද බිමේදී පවා කටයුතු කර ඇත්තේ ධර්මානුකූල යුක්‌තිගරුක පිළිවෙතක පිහිටා බව.

මේ එළඹ ඇත්තේ පශ්චාත් යුද සමයයි. අපි අපේ හදවත කරුණා දයාවෙන් පුරවා ගත යුතුයි. වෛරය, ක්‍රෝධය වැපිරෙන සාමයට අවහිර වන වචනයකුදු නොදෙඩවිය යුතු යුගයක්‌ මේ.

මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ වැනි එදා රණවිරුවන්ට නායකත්වය දුන් මහා පුරුෂයන් මෙදා රට ආර්ථික වශයෙන් නංවාලීමට සදාචාරය තහවුරු කිරීමට නායකත්වය ගෙන සිටිනවා. අපිද එම උදාර කටයුත්තට දායක වෙමුයෑයි සබරගමුව ආණ්‌ඩුකාරවරයා කීය.

මෙම අවස්‌ථාවට පළාත් සභාවේ සභාපති රංජිත් බණ්‌ඩාර, ප්‍රධාන ලේකම් එච්. පී. කුලරත්න, ආණ්‌ඩුකාර ලේකම් බී. ඒ. නාගසිංහ, රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර, 113 බලසේනාධිපති ඒ. පී. අයි. ප්‍රනාන්දු, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අශෝක විඡේතිලක යන මහත්වරුද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.