ආණ්‌ඩුව වෙසක්‌ පෝයට මුවාවී කිරි පැකට්‌ටුවේ මිලත් වැඩි කළා
සජිත් ප්‍රේමදාස (එජාප)

හුංගම - ජනක ප්‍රසාද් අපරැක්‌ක

හම්බන්තොට වරාය සෑදීමේදී ගල් කැඩීම සඳහා දමන ලද බෝර නිසා ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ නිවාස වලට හානි සිදු වුණා. ඉන් පීඩාවට පත් ජනතාවට කිසිදු සහනයක්‌ සිදු වූයේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රශ්න කළා. එහිදී වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් කිසිදු පැමිණිල්ලක්‌ හෝ ඉල්ලීමක්‌ මේ වන තෙක්‌ ලැබී නැති බවයි. මේ ගැන මා ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කළා. එතුමාට මේ කියන බොරුව දැක දැක ඉන්න බැහැ. එතුමා ඇත්ත කියන කෙනෙක්‌. එතුමා ප්‍රකාශ කළා දැනට මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුකර වාර්තා අරගෙන තිබෙන අතර දැන් තියෙන්නේ ඒ හානියට පත් ජනතාවට වන්දි ගෙවීම පමණක්‌ බවයි. අපි පාර්ලිමේන්තුවේ ඉඳන් ජනතාව වෙනුවෙන් එහෙම කතාකර කටයුතු කරනවා" යෑයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස්‌ පළ කළේ රුපියල් ලක්‍ෂ දොළහක වියදමින් සූරියවැව රන්මුදුවැව විහාරස්‌ථානයේ ඉදිකළ පෙර පාසල් හා දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් පසුව පැවැති හමුවට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ සජිත් ප්‍රේමදාස මහතා,

හම්බන්තොට වරාය ඉදිකළාට තවම එහි රැකියා ලබා දී නැහැ. එහි සේවය කරන්නේ කොළඹ වරායේ ගාලුවරායේ අයමයි. දැනට නැව් ඇවිත් තියෙන්නෙත් පහක්‌ පමණයි. මේ ආණ්‌ඩුව වැඩකරගෙන ගියාට වැඩක්‌ නැහැ ඒවායේ බොහෝ අඩුපාඩු තියෙනවා. ගුවන්තොටුපළවල්, වරායවල්, පාරවල් හැදුවට වැඩක්‌ නැහැ. ජනතාව ජීවත් කරවන්න බැරිනම්. අද ජීවන බර විශාල ලෙස වැඩිවී තියෙනවා. පසුගියදා ජිනීවා සමුළුවට මුවා වෙලා තෙල් මිල ඉහළ දැමුවා. අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගෙන යතුරුපැදි ත්‍රිරෝද රථ සහ මෝටර් රථවල බදු මිල ඉහළ දැමුවා. පුංචි මිනිසාට යතුරුපැදියක්‌ ත්‍රිරෝද රථයක්‌ ගන්න තියෙන අවස්‌ථාව මේ නිසා නැති කළා. වෙසක්‌ පෝයට මුවාවෙලා අනාගත දරු පරපුරට බොන්න තියෙන කිරි පැකට්‌ වලත්, පාන් වලත්, සිමෙන්ති වලත් මිල වැඩිකර ගෑස්‌ මිලද ඉහළ දැමුවා. මෙහෙම යන විට ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද? දැන් ජනතාව ඉන්නේ අසහන රැසක්‌ මැද්දේ. රටේ ජනතාව සුරකින්න බිහිවෙන ආණ්‌ඩු ජනතාව අසහනයට පත්කර තලා පෙලා දමනවා. අද අපේ රටේ අසාර්ථක පාලනයක්‌ තියෙන්නේ. රටේ ජනතාව බඩගින්නේ සිටිනවා. ලොකු බලවතුන් අගනුවර සැප විඳිනවා.

අපි විපක්‍ෂයේ සිටියාට ජනතාව ගැන සිතා තමයි වැඩ කටයුතු කරන්නේ. මැතිවරණ කාලයේදී අපි දීපු පොරොන්දු ටික ටික ඉටු කරනවා. ලක්‍ෂ දොළහ බැගින් වියදම් කර පෙර පාසල් ගොඩනැඟිලි තුන්සිය හැට පහක්‌ 2004 න් පසුව සදා තියෙනවා. 2004 සුනාමියෙන් මේ දිස්‌ත්‍රික්‌කයේ විනාශ වූයේ පෙර පාසල් ගොඩනැඟිලි දෙකයි. නමුත් ඒ දෙකට අමතරව තවත් ගොඩනැඟිලි සාදාදීමට මට හැකියාව ලැබුණා. මේ ගොඩනැඟිලි නියම ප්‍රමිතියට අනුව සාදා තියෙනවා. අපි දේශපාලනයේ නිරත වී සිටින්නේ සොරකම් කරන්න වංචා කරන්න නොවෙයි. ලෝකයේ විශාලතම සැතපෙන බුදු පිළිමය විහාරගල පන්සලේ ඉදිවෙනවා. ඒ සඳහා අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරු සමග එකතු වී අපි පොරොන්දු වූවා ලක්‍ෂ දහයක්‌ දෙන්න. අපිට තිබුණා පැත්තකට වෙලා ඉන්න. නමුත් අපි එසේ කරන්නේ නැහැ. අපිට කළ හැකි ජනතා සේවය අපි ඉටුකරනවා.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා - සජිත් ප්‍රේමදාස මහතා සුනාමියෙන් පසුව පෙර පාසල් ගොඩනැඟිලි සෑදීමේ වැඩසටහන ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යනවා. මේ දිස්‌ත්‍රික්‌කයේ ගොඩනැඟිලි 570 ක්‌ සෑදීම තමයි අරමුණ. මේවා අද දිස්‌ත්‍රික්‌කයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට දැකගන්න පුළුවන්.

දකුණු පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී එස්‌. තෙන්නකෝන් නිළමේ මහතා -

මේ රටේ විපක්‍ෂයේ සිටිය මන්ත්‍රීවරු කිසි කෙනෙක්‌ වැඩ කළේ නැහැ. අග්නිදිග ආසියාවේවත් මෙතරම් විපක්‍ෂයේ සිටිමින් වැඩකරන මන්ත්‍රීවරු නැහැ. එසේ වැඩකරන විපක්‍ෂ මන්ත්‍රීවරයා තමයි සජිත් ප්‍රේමදාස මහතා.

මෙහිදී දහම් පාසලේ දරු දැරියන් වෙත ත්‍යාග ලබා දීම සජිත් ප්‍රේමදාස, දිලිප් වෙදආරච්චි සහ දකුණු පළාත් සභා මන්ත්‍රී එස්‌. තෙන්නකෝන් නිලමේ යන මහත්වරුන් අතින් සිදුවූහ. විහාරස්‌ථානයේ දියුණුවට ඉදිරියේදී තවත් වැඩ කොටස්‌ කිහිපයක්‌ සිදුකර දීමට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.