ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට කෝටි 42 ක ශුද්ධ ලාභයක්‌

සිරිමන්ත රත්නසේකර

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය 2011 වසරේදී රුපියල් කෝටි 42 ක ශුද්ධ ලාභයක්‌ උපයා ඇතැයි එහි සභාපති ඉංජිනේරු කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

අදාළ ශුද්ධ ලාභය ඉපැයීමේදී ජල ගාස්‌තු ආදායම 2010 වසරට වඩා සියයට 8 කින් ඉහළ නංවා ඇති බවද හෙතෙම පැවසීය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය සුදු අලියකු බව සඳහන් කරමින් එහි විශාල මුදල් වංචා සිදුවන අකාර්යක්‍ෂම ආයතනයක්‌ බව ඇතැම් මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය පසුගිය කාලයේදී හඳුන්වා දීම නිවැරැදි තොරතුරු මත පදනම්ව ඉදිරිපත් කළ නිවැරැදි වාර්තා නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා එම අදහස්‌ ඊයේ (16 වැනිදා) පළ කළේ රත්මලානේ පිහිටි එම මණ්‌ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා -

අප මණ්‌ඩලයේ සිදුවූ මුදල් අක්‍රමිකතා කිහිපයක්‌ පිළිබඳව මාධ්‍යයන් පසුගිය කාලයේදී වාර්තා කළා. ඒ සියලු සිදුවීම් සිදුව ඇත්තේ 2006 වසරට ප්‍රථමවයි. එම මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මණ්‌ඩලයේ අභ්‍යන්තර විගණන අංශය හා මුදල් අංශය එක්‌ව පරීක්‍ෂණ සිදුකළා. ඉන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු, ගණකාධිකාරිවරුන් තිදෙනකු සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කළා. ඔවුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මණ්‌ඩලයට සිදුවූ අලාභය අයකර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිවිල් නඩුවක්‌ පැවරීමට කටයුතු කරනවා.

මණ්‌ඩලයට අලාභයක්‌ කළ, වංචාවක්‌ කළ කිසිදු නිලධාරියකුට අප නිදහස ලබාදී නැහැ. එවැනි පුද්ගලයන්ගේ තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කර තිබෙනවා.

මෙම අවස්‌ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දුෂ්මන්ත තොටවත්ත මහතාද එක්‌විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.