කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාහන තදබදය අවම කිරීමට සැලැස්‌මක්‌

අකිත පෙරේරා

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා "කාර්යක්‌ෂම ප්‍රවාහන සැලැස්‌මක්‌" ඇති කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) සමග ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (16 වැනිදා) නව ගිවිසුමකට එළැඹිණි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් අදාළ ගිවිසුමට අමාත්‍යාංශයේදී ඊයේ අත්සන් තැබීය.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීමට එම නාගරික ප්‍රවාහනය පිළිබඳ අධ්‍යයනයක්‌ සිදුකොට ප්‍රධාන ප්‍රවාහන සැලැස්‌මක්‌ සකස්‌ කිරීම ජයිකා ආයතනය විසින් සිදුකරනු ලැබේ.

ඒ යටතේ එම සැලැස්‌ම කෙටි කාලීනව, මධ්‍ය කාලීනව සහ දීර්ඝ කාලීනව ලෙස නව ප්‍රවාහන මාධ්‍යය ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇති අතර ඒ සඳහා මාස 21 ක පමණ කාලයක්‌ ගතවෙනු ඇතැයි අනුමාන කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික සහ මූල්‍ය සහයෝගිතාව ජයිකා ආයතනය විසින් සැපයෙන අතර කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග හයක පවතින වාහන තදබදය අවම කිරීමට සැලැස්‌ම ක්‍රියාත්මක කරනු ලබයි.

කොළඹ නගරයේ සහ ඊට පිවිසීමට ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් එම දුෂ්කරතා මගහැරවීම සඳහා රජය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය.

ප්‍රධාන මාර්ග හයක්‌ ඔස්‌සේ කොළඹට එක්‌ දිනකට පුද්ගලයන් ලක්‍ෂ 15 ක්‌ පමණ පැමිණෙන බවද කී ඇමැතිවරයා මේ හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක්‌ ඇතිවන බව ද කීය.

මෙරට මිනිසුන් 1000 දෙනකුට වාහන 130 බැගින් පවතින අතර එය 2021 වසර වනවිට 250 දක්‌වාද වසර 2013 වනවිට වාහන 370 දක්‌වා ඉහළ යනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එබැවින් කොළඹ නගරයේ මාර්ග තදබදය තවදුරටත් වැඩිවිය හැකි බැවින් එය අවම කිරීමට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කාලෝචිත බවද ඇමැති වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්‌ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ජයිකා ආයතනයේ නිලධාරීන් පිරිසක්‌ද සහභාගි වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.