නිධන් කොල්ලකරුවන් ඇල්ලීමට ආරක්‍ෂක අංශවලට තවමත් හැකිවී නැහැ
අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්

පියසේන දිසානායක

මෑත කාලයේ නිධන් හෑරීම් සහ පුරාවස්‌තු කොල්ලකෑම් පිළිබඳ සිද්ධීන් 92 ක්‌ වාර්තාවී තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අනාවරණය කළද ඒ සම්බන්ධව වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ ආරක්‍ෂක අංශවලට හැකිවී නැති බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවැසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (16 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළ පී. හැරිසන් මහතා තවදුරටත් මෙසේද කීය.

ජාතික උරුමය, සංස්‌කෘතිය සහ සභ්‍යත්වය ආරක්‍ෂා කරන බවටත්, කැලෑ නීතිය අවසන් කර නීතිය ස්‌ථාපිත කරන බවටත් දිවුරා පොරොන්දු වී බලයට පත්වූ ආණ්‌ඩුව රට පුරා නිධන් හාරමින් පුරා වස්‌තු කොල්ල කා අපේ සියලු උරුමයන් වනසමින් සිටිනවා.

අපේ ජාතික උරුමයන් සහ පුරාවස්‌තු කොල්ලකෑමේ ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරමින් සංස්‌කෘතිය, සභ්‍යත්වය සහ දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යෑයි කියන ඇතැම් පුරා විද්‍යා චක්‍රවර්තී ස්‌වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ නිකුත් කිරීම් ජාතියේ අවාසනාවක්‌ බව කිව යුතුයි.

විශේෂ කාර්ය බළකායේ පිරිසක්‌ අනුරාධපුර විලච්චියේ තිවලාපිටිය වැව හෑරීමේ සිද්ධිය මුළු රටේම මහත් ආන්දොaලනයකට පත්වූ බව අප කවුරුත් දන්නවා. මේ පිරිස මේ වැව වටා ආරක්‍ෂක වළලු යොදාගෙන මධ්‍යම රාත්‍රියේ සිට අලුයම දක්‌වා බැකෝ යන්ත්‍රවලින් වැව හෑරූ අතර ඊට එරෙහිව ඒ අවට ජනයා නැඟී සිටීමත් සමග තත්ත්වය ඉතාම බරපතළ වුණා.

සිය ක්‍රියාදාමයට එරෙහිව වට වූ ජනතාව පලවා හැරීම සඳහා අහසට වෙඩි තබා දුම් බෝම්බ ගසා සමහරුන්ට පහර දීමට ද විශේෂ කාර්ය බළකා කණ්‌ඩායමට සිදුවූ අතර ඊට එරෙහිව ජනතාව ක්‍රියා කරමින් එම කණ්‌ඩායම වට කර ගත්තා.

අවසානයේදී ජනතාවගේ ග්‍රහණයෙන් බේරීමට උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එම ස්‌ථානයට පැමිණෙන තුරුම සිටීමට විශේෂ කාර්ය බළකායේ කණ්‌ඩායමට සිදුවූ බව අප කවුරුත් දන්නවා.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ නිතුත් කරමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ සිදුවීමට යන සොරකමක්‌ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඒ සොරකම වැළැක්‌වීමටත්, ඒ වටිනා භාණ්‌ඩ ආරක්‍ෂා කිරීමටත් විශේෂ කාර්ය බළකාය එම ස්‌ථානයට යෑවීමට කටයුතු කළ බවයි.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියන මේ සොරකම පිළිබඳ තොරතුරු අනුරාධපුරයේ කිසිදු පොලිස්‌ ස්‌ථානයකට හෝ උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට හෝ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරුන්ට හෝ සහකාර පොලිස්‌ අධිකාරිවරුන්ට දැනුම් නොදී අනුරාධපුරයේ සිට කොළඹට පැමිණ පොලිසප්තිවරයාටම පැමිණිලි කළේ කිනම් පදනමක්‌ යටතේද? පොලිස්‌පතිවරයාට ලැබුණු ඃමේ පැමිණිල්ල සහ තොරතුරු මත ඔහු උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් ද, අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය සහ අනෙකුත් පොලිස්‌ ස්‌ථානද දැනුවත් නොකර හදිසියේම කොළඹ සිටම විශේෂ කාර්ය බළකායේ පිරිසක්‌ අනුරාධපුරයට යෑව්වේ ඇයි?

සොරකම වැළැක්‌වීමට සහ මේ කියන වටිනා භාණ්‌ඩය ආරක්‍ෂා කිරීමට අනුරාධපුර විලච්චියට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යද්දී කට්‌ටඩියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා අවශ්‍යÊද්‍රව්‍ය සහ බිලි පූජා සඳහා කුකුලන් රැගෙන ගියේ ඇයි?

විශේෂ කාර්ය බළකායට නීතිය ක්‍රියාත්මක කිරීමට, හොරුන් ඇල්ලීමට සහ සාමය ආරක්‍ෂා කිරීමට කට්‌ටඩියන්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ සතුන් බිලිදීම අවශ්‍ය වූයේ කවදා සිටදැයි අප ප්‍රශ්න කරනවා.

රට පුරා මහා පරිමාණයෙන් සිදුකෙරෙන නිධන් හෑරීම් සහ පුරාවස්‌තු කොල්ලකෑම් පිටුපස සිටින්නේ දේශපාලනඥයන් සහ ආරක්‍ෂක නිලධාරීන් බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැහැදිලිව කියා තිබෙනවා.

මේ පිටුපස සිටින්නේ දේශපාලනඥයන් සහ ආරක්‍ෂක නිලධාරීන් නම් ඒ දේශපාලනඥයන් විපක්‍ෂයේ දේශපාලනඥයන්ද, ආරක්‍ෂක නිලධාරීන් විපක්‍ෂයට පක්‍ෂපාතී නිලධාරීන් ද විය නොහැකි බව කවුරුත් දන්නවා.

මේ නිධන් හෑරීම් සහ පුරාවස්‌තු කොල්ලකෑම් පිටුපස විපක්‍ෂයේ දේශපාලනඥයන් සිටියා නම් ඒ අයට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ තොරතුරු මුළු රටටම හෙළි කෙරෙන බවත් ජනතාව දන්නවා.

එසේ නම් මේ නිධන් හෑරීම් සහ පුරාවස්‌තු කොල්ලකෑම් පිටුපස සිටින ආණ්‌ඩුවේ දේශපාලනඥයන් සහ ආණ්‌ඩුවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට හෙළි කළ යුතුයි. අනුරාධපුර විලච්චියේ නිධන් හෑරීමේ සිද්ධියෙන් පසුව වව්නියාවේ ද, අනුරාධපුර ගල්ගමුවේද, පොළොන්නරු ශිව කෝවිලද, කුරුණෑගල ස්‌ථාන ගණනාවක ද නිධන් හෑරීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

නිධන් හෑරීම සහ පුරාවස්‌තු කොල්ලය රැල්ලක්‌ සේ රට පුරා හමා යන නමුත් ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමටත්, වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමටත්, මේ ක්‍රියාවලිය වහාම නතර කිරීමටත් පොලිසිය අසමත් වීමෙන් හෙළි වන්නේ මේ පිටුපස ආණ්‌ඩුව සිටින බවයි.

පොළව යට තිබෙන වටිනා වස්‌තූන් පිළිබඳව සොයා බැලිය හැකි අධි තාක්‍ෂණික උපකරණ තොගයක්‌ මේ වන විට රටට ආනයනය කර තිබෙනවා. මේ අධිතාක්‍ෂණික උපකරණ තොගය ආනයනය කළේ කවුරුන්ද? හදිසියේම මේ උපකරණ ආනයනය කළේ කුමක්‌ සඳහා ද යන්න පිළිබඳව රටට හෙළි කළ යුතුයි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කර නිදහස්‌ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටින බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිවරයා අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් කෙතරම් ඉහළ ප්‍රතිඵලයක්‌ ලැබුවත් ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරු වීමට නොහැකි වන ලෙස චක්‍ර ලේඛ නිකුත් කර පොඩි පන්තියේ මිනිහාගේ දූ දරුවන්ට අධ්‍යාපනය වශයෙන් ඉහළට යන්න තිබූ සියලු අවස්‌ථා අහිමි කර තිබෙනවා.

බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිවරයා සාමාන්‍ය සහ අහිංසක පොදු ජනයාගේ දූ දරුවන්ගෙන් පළිගැනීමට ඉදිරිපත් කළ මේ විකාර චක්‍රලේඛය නිසා අනුරාධපුර මැදවච්චියේ ජාතික පාසලේ අවම පහසුකම් යටතේ ඉගෙන ගන්නා කිරිබණ්‌ඩලාගේ සහ පුංචි බණ්‌ඩලාගේ දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක්‌ ගෙන රාජකීය, ආනන්ද සහ නාලන්ද ආදී විද්‍යාලයන්ට ඇතුළුÊවී රටේ ඉහළට යන්න තිබූ අවස්‌ථාව අහිමි වුණා.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී සහ කැස්‌බෑව එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක නිරෝෂන් පාදුක්‌ක මහතා ද මේ අවස්‌ථාවට එක්‌විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.