කැලණියේ කාන්තාවෝ දහසක්‌ විභීෂණ දෙවියන් ඉදිරියේ පොල් ගසා අවනඩුව කියති

අද මුළු රටම දන්නවා, මාධ්‍යයනුත් දන්නවා කැලණියට වෙලා තියෙන්නේ මොකක්‌ද කියලා. විභීෂණ දෙවියන් ජීවමානය කියල අපි දන්නවා. වැරැදි කාරයන්ට දඬුවම් ලබා දෙන බව අපි දන්නවා. ඒ නිසයි කාන්තාවන් දහසක්‌ එක්‌ වෙලා විභීෂණ දෙවියන් ඉදිරියේ පොල් ගෙඩි දහසක්‌ ගහලා අපේ අවනඩුව කියන්නට ආවේ යනුවෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනියක වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශාන්ති කුමුදිනි මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ (14 වැනිදා) පෙරවරුවේ කැලණි රජ මහා විහාරයේ විභීෂණ දේවාලය ඉදිරිපිටදී පොල් ගෙඩි දහසක්‌ ගැසීමට එක්‌වෙමින් අනතුරුවය.

"කැලණියේ උපන් අපි කැන්ඩි ලමිස්‌සියන්ට ගැඩවිල්ලුන්ට සමාන කරලා හෑල්ලු කළා. විහාර මහා දේවිය සිටි මේ පින් බිමේ එතුමියගේ දූ දරුවන් වන අපට අපහාස කරන පුද්ගලයන්ට අපේම ප්‍රාදේශීය සභාවේ සහෝදරයන්ට මරණ තර්ජන කරන මැරයන්ගෙනුත් කැලණිය බේරාගන්නට අසාධාරණ බලපෑම් වලින් තොරව කැලණිය ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක්‌ ඇතිකර දෙන ලෙස විභීෂණ දෙවියන් වහන්සේගෙන් අපි අද ඉල්ලුවා. ඒ වගේම ජනාධිපතිතුමනි, ඔබතුමන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා කැලණිය ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත්වන්නට ඉඩ සලසා දෙන්න" යනුවෙන්ද පැවසුවාය.

මෙම අවස්‌ථාවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, උප සභාපති චමිල දුමින්ද, නදීක සම්පත්, චතුර ධනුෂ්ක, ලංකා විජිත කුමාර, ඔෂන් නන්දසිරි, හසිත මඩවල, මිල්රෝයි පෙරේරා යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද එක්‌ව සිටියහ.

විභීෂණ දේවාලය වෙත පොල් රැගෙන කාන්තාවන් පැමිණි අයුරු සහ දේවාලය ඉදිරිපිට පොල් ගසන පිරිසද ඡායාරූපයේ දැක්‌වේ.

සටහන - වාසල සේනාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.