පහළොස්‌ හැවිරිදි දියණිය පියා විසින් ගැබිනියක්‌ කරලා
සැකකාර පියා අත්අඩංගුවට

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

පියා විසින් ලිංගික අතවරයකට ලක්‌කර ඇතැයි කියන පහළොස්‌ හැවිරිදි දියණිය ගැබිනියක්‌ බවට පත්ව ඇතැයි තිස්‌සමහාරාම මූලික රෝහලේදී සිදුකරනු ලැබූ වෛද්‍ය පරීක්‌ෂණයකින් අනාවරණය වේ.

තිස්‌සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයෙහි පාසලක දහවන වසරෙහි ඉගෙනුම ලබන මෙම අතවරයට ලක්‌ව ඇති දැරිය හදිසියේ අසනීප වීම නිසා රෝහලට ඇතුළත් කර ඇත. එහිදී දැරියගේ රෝග ලක්‌ෂණ අනුව රෝහලෙහි වෛද්‍යවරු විසින් සිදුකරන ලැබූ වෛද්‍ය පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඇය මාස එක හමාරක දරු ගැබක්‌ ඇති ගැබිනි මවක්‌ බවටය.

මේ පිළිබඳ රෝහල් පොලිසියට වෛද්‍යවරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තිස්‌සමහරාම වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක එස්‌. ඡේ. බී. සුවාරිස්‌ මහතාගේ මූලිකත්වයෙන් සිදුකරන ලද පොලිස්‌ පරීක්‌ෂණයේදී මෙම අපරාධය තමන්ට පියා විසින් සිදු කළ බව දැරිය ප්‍රකාශ කර තිබේ.

මාස කිහිපයක සිට අවස්‌ථා කිහිපයකදී සැකකාර පියා විසින් දැරිය දූෂණයට ලක්‌කර ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලින් අනාවරණය වේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාගේ සහ තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සී. ඊ. විදිසිංහ මහතාගේ සහ හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරි උපාලි සේනාරත්න මහතාගේ උපදෙස්‌ මත සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වන දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තිස්‌සමහරාම කොහොඹගහ පැලැස්‌ස ප්‍රදේශයෙහි පදිංචි හේවාපතිරණගේ ශාන්ත ප්‍රියලාල් නමැති තිස්‌ තුන් හැවිරිදි පස්‌දරු පියෙකි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සහ වැඩිදුර පරීක්‌ෂණ කටයුතු තිස්‌සමහරාම පොලිසියේ අපරාධ අංශයෙහි ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‌ෂක ලියනගමගේ පො.සැ. 28030 සමන්, පො.කො. (38002) ප්‍රදීප්, කා.පො. සැ. 5655 විනිතා යන පොලිස්‌ නිලධාරීන් විසින් සිදුකරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.