ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 ක්‌
නාම ලේඛනය ඇමැති අනුමැතියට

සුසිල් ප්‍රේමලාල්

ලබන ජුනි 9-12 වකවානුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 15 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කිරීමට සුදුසු යෑයි ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පෙරේදා (15 දා) නිර්දේශ කොට ඇත.

අදාළ තරගාවලිය ඉලක්‌ක කොටගෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යෝග්‍යතා සීමා ප්‍රකාශකොට තිබු නමුදු ගතවු සති අන්තයේ පැවැති අවසන් තේරීම් තරගාවලියේදී (55 වැනි ජාතික ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය) ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට එම ඉලක්‌කය සපුරාලීමට නොහැකිවීම නිසා ඉන් බැහැරව කණ්‌ඩායම තෝරා ගැනීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි 'දිවයින' ට වාර්තා වෙයි.

තරග ඉසවු 22 කින් (දෙඅංශයෙන්) සමන්විත ආසියානු ශූරතාව සඳහා ක්‍රීඩකයන් 76 දෙනෙකුද ක්‍රීඩිකාවන් 68 දෙනෙකුද ඒ අනුව ජාතික තේරීම් කමිටුව නිර්දේශ කොට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට භාරදී තිබේ.

අදාළ තේරීමේදී ජාතික මලල ක්‍රීඩා කනිෂ්ඨ ශූරතාවට අමතරව ගතවූ වකවානුවේ පැවැති ජාත්‍යන්තර තරග දක්‍ෂතාද කෙරෙහි තේරීම් කමිටුව අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාව අදාළ තරගාවලියේ සත්කාරක රට හෙයින් සෑම තරග ඉසවුවකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව 'දිවයින' ට පැවසූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා, එහෙත් තරග ඉසවුවේ දක්‍ෂතාව අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම කිරීමටද යෝජිත බව පැවසීH.

15 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා අවසන් අයෑදුම්පත (නම් සහ ඉසවුව සටහන) භාර ගැනීම මෙම 24 දායින් අවසන් කෙරෙනු ඇත.

තේරීම් කමිටුව නිර්දේශිත නාම ලේඛණය අද හෝ හෙට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත.

සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති උපාලි කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මලල ක්‍රීඩා තේරීම් කමිටුවට ඒ. ප්‍රේචන්ද්‍ර, ධම්මිකා මැණිකේ සහ කේ. ඥනපාල යන මහත්ම මහත්මීහු අයත් වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.