SME ක්‍ෂේත්‍රයෙහි මූල්‍ය සාක්‍ෂරතාව වර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව සහ කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්‍ෂරතාව වර්ධනය කරලීමේ වැඩමුළු මාලාව යටතේ පැවැති තවත් වැඩමුළුවක්‌ පසුගියදා තඹුත්තේගමදී පවත්වනු ලැබීය.

මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ උතුරුමැද පළාත් කාර්යාලයේ නිලධාරීහු ද කොමර්ෂල් බැංකු නියෝජිතයෝ ද ඇතුළුව ව්‍යවසායකයෝ 60 දෙනකු පමණ සහභාගි වූහ.

වැඩමුළුව සඳහා සහභාගි වූ කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන් විසින් බැංකු සේවා, ඉතිරි කිරීම සහ ණය කළමනාකරණය යන අංශ පිළිබඳව ශාස්‌ත්‍රීය ඉදිරිපත් කිරීම සහිතව රැස්‌ව සිටි පිරිස දැනුවත් කරන ලදී.

මෙම ඉදිරිපත් කිරීම්වලට අමතරව වැඩමුළුව සඳහා සහභාගි වූවන් කණ්‌ඩායම් වශයෙන් සහ තනි පුද්ගල ක්‍රියාකාරකම් වශයෙන් මෙම මාතෘකා පිළිබඳව දැනුවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.

මෙම වැඩපිළිවෙළ යටතේ පැවැත්වූ ප්‍රථම වැඩමුළුව වෙන්නප්පුව ප්‍රදේශයේදී පැවැති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ කලාපීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ එම්. එස්‌. කේ. ධර්මවර්ධන, කලාපීය සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි දිළිඳු බව තුරන් කිරීමේ මූල්‍ය ව්‍යාපෘතියෙහි විශේෂඥ පුහුණු කිරීමේ නිලධාරි ගාමිණී සිරිනන්දන යන මහත්වරුන්, කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් සහ නාත්තන්ඩිය, කොච්චිකඩේ, දංකොටුව යන ප්‍රදේශ ඇතුළුව වෙන්නප්පුව ප්‍රදේශය නියෝජනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ රැසක්‌ මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.