සමන්ත රාජපක්‍ෂ AMW හි කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරයට


AMW ඨරදමච හි කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස සමන්ත රාජපක්‍ෂ මහතා පත් කරනු ලැබ ඇති බව AMW හා ඩුබායිහි Al-Futtaim ඔටෝ මෝටිව්ස්‌ යන සමාගම්වල සභාපති ලෙන් හන්ට්‌ මහතා නිවේදනය කරයි.

රාජපක්‍ෂ මහතා යනු උපාය මාර්ගික සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය මෙන්ම සංවිධාන සංශෝධන කළමනාකරණය ඇතුළු වසර 25 කට වැඩි කාලයක්‌ දේශීය හා විදේශීය වශයෙන් විවිධ ව්‍යාපාරික ආයතනවල වගකීම් උසුලමින් ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට සමත් වූ වෘත්තිකයෙකි.

"සමන්ත මහතා අපගේ ආයතනය සමග එක්‌වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාව තුළ අප ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය පුළුල් කිරීමේ දැවැන්ත වැඩසටහන ඇතුළු ක්‍රියාකාරකම් ඔස්‌සේ AMW Group ආයතනය ඉහළ තලයකට ඔසවා තැබීමට ඔහුට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා" යෑයි හන්ට්‌ මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සාමාජිකයකු මෙන්ම එක්‌සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ මෙන්ම එක්‌සත් රාජධානියේ අලෙවිකරණ වරලත් ආයතනයේ ද සාමාජිකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ MBA උපාධියකට ද ඔහු හිමිකම් කියයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වන රාජපක්‍ෂ මහතා Ernst & Young ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්‌ස්‌ ඉන්ටර්නැෂනල් හි අධ්‍යක්‍ෂ / සාමාන්‍යාධිකාරි, CF වෙන්චර් ෆන්ඩ් හි අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරි, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්‌ පී.එල්.සී. සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ, AT & T Inc. USA ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු සහ ක්‌ෂත්‍රිය හෝල්ඩින්ස්‌ පී. එල්. සී. සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ යන තනතුරු ඔහු හොබවා තිබේ.

ඔහු මෑතක නිරත වී සිටි අවසන් රාජකාරිය වූයේ "නොකියා" බෙදාහැරීමේ කාර්යභාරය හා සමූහ ව්‍යාපාරයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ වගකීම පැවරෙන සොෆ්ට්‌ලොජික්‌ ගෲප් හි සමූහ අධ්‍යක්‍ෂ ධුරය / සොෆ්ට්‌ලොජික්‌ කොමියුනිකේෂන්ස්‌ ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරි යන තනතුරෙහි කටයුතු කිරීමයි. සොෆ්ට්‌ලොජික්‌ කැපිටල් පී.එල්.සී. සහ සොෆ්ට්‌ලොජික්‌ ෆයිනෑන්ස්‌ පී.එල්.සී. යන සමාගම්හි අධ්‍යක්‍ෂ මණ්‌ඩලවල කටයුතු කරන අතරතුරදීම සොෆ්ට්‌ලොජික්‌ ක්‍රෙඩිට්‌ ලිමිටඩ් ආයතනයේ සභාපති ධුරය ද ඔහු දැරීය. ආසිරි හොස්‌පිට්‌ල්ස්‌ හෝල්ඩින්ස්‌ පී.එල්.සී. සහ ආසිරි සර්ජිකල් හොස්‌පිටල් පී.එල්.සී. ආයතනවල අධ්‍යක්‍ෂ මණ්‌ඩලවල ඔහු ඉදිරියට ද සාමාජිකත්වය දරනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.