සංස්‌කරණය : නාරද නිශ්ශංක

"ජීවන විල මැද" නෙළුම් පොකුණෙහි රැව්දෙන
සුජාතා ගී රාවය

2012 මැයි මස 18 වන සිකුරාදා
එනම් අද නෙළුම් පොකුනෙහි (සවස 6.30) පැවැත්වෙන සුජාතා අත්තනායකගේ "ජීවන විල මැද" සංගීත ප්‍රසංගය වෙනුවෙන් මෙම ලිපිය පළවේ.

ගායකයා හෝ ගායිකාවගේ හඬ ඇසුරෙහි මනෝරංජනය වන රසිකයාගේ හැඟීම් සමුදායන් සිය ජීවිත සුපුෂ්පිත කරගනුයේ ඒ ඇසුරෙහි බිහිවන රසභාවයන්ගේ ශක්‌තියේ මහිමයෙනි. එහෙත් ගීතයක සැබෑ රසභාවයන් නිර්මාණය කළ හැකිවනුයේ වාසනා ගුණයත් සතත අභ්‍යාසයෙන් ළඟා කරගත් පුහුණුවත් ව්‍යqත්පත්තිය හරහා මතුවන සංගීත ඥනයත් ඇසුරෙහි බිහිවන හඬකට පමණි. සුජාතා අත්තනායක යනු මෙම ත්‍රිවිධ අංශයන් හීම විශාරදත්වයත් හිමිකරගත් ගායන වේදිනියකි.

විවාහවූ දා....

සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ සුජාතා අත්තනායක භූමිකාව අංශ කිහිපයකින් වැදගත් වේ. ඇය කිසිදු සීමාසහිතවූ ගුරුකුලයක්‌ නියෝජනය නොකරන ලද ගායිකාවක්‌ වූවාය. ඇය හින්දි තනු වෙනුවෙන් නිර්මාණය කරන ලද සිංහල ගීත ගායනා කළාය. ස්‌වතන්ත්‍ර ගීත ගැයුවාය. සිංහල චිත්‍රපට ගී ගැයුවාය. ගුවන් විදුලි නාටක ගී ගැයුවාය. එපමණකින් නොනැවතුනු ඇය හින්දි, දමිළ, වංග, උර්දු මරාඨි නේපාලි ඇතුළු භාෂා අටකින් පමණ ගී ගැයීමේ දක්‍ෂතාවය ප්‍රකට කළාය. හින්දි තනුවකට ගැයූ සිංහල ගීතයක්‌ වේවා වෙනත් භාෂාවකින් ගායනා කරන ලද ගීතයක්‌ හෝ වේවා ඒ සෑම ගීතයක්‌ම රසාලිප්ත ආකාරයෙන් ගැයිමේ දක්‌ෂතාවය ලද ඇය ගීතයකට එකතු කරනු ලබන අලංකාර ප්‍රශස්‌තය, සිය හඬ මගින් සාධාරණයක්‌ ඉටු කළ හැකි යෑයි ඇය සිතන ඕනෑම ශෛලියක ගීතයක්‌ ගැයීමට ඇය නොපැකිල වූවාය.

ඇයගේ ගීත සමුච්චය තුළ බුදු ගුණ ගීත, මව්ගුණ ගීත, දේශාභිමානී ගීත, විරහගීත, ප්‍රේමගීත ශාස්‌ත්‍රිය ගීත ඇතුළු සෑම අංශයක්‌ම නියෝජනය වී තිබුණු අතර එම සෑම ගීතයකින්ම රසික සහෘදයා ආනන්දයට පත් කිරීමට ඇය සමත් වුවාය. බොහෝ ගායක ගායිකාවන් ඉතා වෙහෙස මහන්සියෙන් ගායනා කරනු ලබන ගීතයක්‌ පවා ඇය ගායනා කරනුයේ ඉතා පහසුවෙනි. බොහෝ ගායිකාවනට ගායනා කළ නොහැකි ඉහළ ස්‌වර ස්‌ථාන ඇයගේ හඬ හා මුසුවෙනුයේ ඉතා පහසුවෙනි. උපතින් හිමිකරගත් වාසනා ගුණයත් සතත අභ්‍යාසයෙන් ළඟා කරගත් හඬ පුහුණුවක්‌ ව්‍යqත්පත්ති ගුණයෙන් ළඟා කරගත් සංගීත ඥනයත් යන ත්‍රිවිධ අංශයන්ගෙන්ම උපරිම ඵල නෙලාගත් ඇය ප්‍රවීණ හෝ ආධුනික හෝ යනුවෙන් වර්ග කිරීමකින් තොරව අන්‍ය නිර්මාණවලට නොපැකිලව සහයෝගය දුන්නාය. එම අතදීම ඔවුනගේ නිර්මාණ ලෝකය එළිපෙහෙළි කළා පමණක්‌ නොව එම ශිල්පීන් අතිශය ජනප්‍රියවයට ද පත් විය. ඉහළ ස්‌වරයද මන්ද්‍ර ස්‌වරයද මධ්‍ය ස්‌වරයද නිවැරදිව හා රසත්ව ගායනා කිරීමේ හැකියාව පමණක්‌ නොව සිය හඬ නිදහසේ ගලා යැමට අවශ්‍ය ස්‌වර පරාසය මෙන්ම ස්‌වර ඥනයද ඇය සතුවූවාය. "අහසෙ ගෑවෙන සිතු විමනේ" ගීතය පමණක්‌ වූවද එයට දියහැකි කදිම නිදසුනකි. "ඈත දියඹ වැන්නේ" "ශෝකය ගීතයක්‌" "දෙතැනක පිපුණත් එකමල්" "සූරියවංශේ සිංහල පුතුනේ" "සඳමුතුමල්දම්" "පෙම්වත තරහවෙලා" "මංගල කසීසළු" "පුංචි දවස්‌වල" "දුනුකෙයියා මලක්‌ වගේ" "බොලං පොඩි නංගි" ආගන්තුක කුරුල්ලා" "අද හවසට මා" "හතර වටින් කළු කරගෙන" "සාධු දන්තදා" වැනි ගීත ඇය ගැයූ දහස්‌ ගණන්වූ සරල ගී අතර ඉතා රසවත් ගී සමුදායෝ වෙති. "වැස්‌සට තෙමි තෙමි මා යන ලස්‌සන" ගීතය වැස්‌ස ඇසුරෙහි උපන් කන්කළු ගීතයකි.

ඇය ගැයූ යුග ගායනාද සිංහල ගීතාවලිය ආලෝකවත් කළ අතර ආචාර්ය වික්‌ටර් රත්නායක සමග ගයන "සඳුන් සිහිල්" "ආදර පූජාසනේ" "කුදිර කාර මාමා" ගීතයද සංගීත් නිපුන් සනත් නන්දසිරි සමග ගායන "කොහෝ කොහෝ" ගීතයද අබේවර්ධන බාලසූරිය සමගින් ගයන "බොද මීදුම් කඳුරැල්ලේ" ගීතයද එච්. ආර්. ජෝතිපාල සමග ගායනා "චන්ද්‍රdමේ රෑ පායා ආවා" "ආශාරැලි" "ඝන අන්ධකාරයෙන්" ඇතුළු බොහෝ යුග ගීතද හරුන් ලන්ත්‍රා සමග ගැයූ "පිරුනා හද සන්තානේ" හංසරානී ආදරේ" ගංගාවේ නීල ජලේ" "හදමල් පඳුරේ" ඇතුළු තවත් ගීතද ආර්. මුත්තුසාමි සමග ගැයූ "මධුරයාමේ" ගීතයද මිල්ටන් පෙරේරා සමග ගැයූ "පෙර ආත්මයක" වැනි යුග ගීත මේ අතර ප්‍රමුඛ ස්‌ථානයේ පසුවේ. නාරද දිසාසේකර සමග ගයන "පුෂ්ප මකරන්දය මාගේ" ගීතයද මේ අතර සුවිශේෂි ගීතයකි.

"ජීවන විල මැද" "මාලිගාවේ මා රැජිනි" ඔන්චිල්ලාතොටිලි" "පායයිs මේ

රෑ සඳවතී" "පැන පැන එන සඳේ" "ගුවන් තොටිල්ලේ" "ආදරේ මන්දිරේ" "හෘර්දේ රස මාලිගේ" "සීතල රටේ" "ගංගාවේ ගංතීරේ" සඳ රැජිනියගේ" සීතල රටේ" "හද සල් ගසේ" "වංචල නුපුර" "දසතම නලවා" සුදොa මං ආදරෙයි" "මල් සුගන්දේ" වැනි අතිවිශාල චිත්‍රපට ගීත ගොන්නක හිමිකාරිය වූ සුජාතා අත්තනායකගේ චිත්‍රපට ගීත වංශයෙහි කූට ප්‍රාප්තිය සනිටුහන් කරනු ලබන ගීතය ඇය පරසතුමල් චිත්‍රපටය සඳහා ගායනා කරන ලද "පරවුනු මල්වල සුවඳ අතීතේ" ගීතයෙහි රසභාවයන්හා බැඳී පවතී. මහගමසේකරයන්ගේ පද වැල ලයනල් අල්ගම සංගීතවේදියානෝ සංගීතය හා මුසුකරවමින් ඇයගේ හඬින් උපරිම ප්‍රයෝජනය උකහා ගනුයේ එම ගීතය සිංහල චිත්‍රපට ගී වංශය තුළ කිසි දින පරනොවන කුසුමක්‌ ලෙස සනිටුහන් කරවමිනි. චිත්‍රපටයේ සමුදාර්ථය කැටිකොටගත් එම ගීතය පරසතුමල් චිත්‍රපටයට ලබාදුන් ආලෝකය ඉතා විශාලය. චිත්‍රපටයේ රූප රාමුව හා අත්‍යත්‍යයෙන්ම ඒකාත්මික වන සුජාතා අත්තනායකගේ ගායන ලීලාව චිත්‍රපට රූප රාමුවෙහි ගැඹුර අතිශයින් අවශේෂණය කර ගනියි. එම ගායනය සඳහා ඇයට එම වසරෙහි හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමිවන සරසවි සම්මානයද හිමි වූ අතර තවමත් එම ගීතයෙහි ජනප්‍රියතාවය පරපුරින් පරපුරට ගලායයි ඇය "කල්යානි ගංගා" චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරන ලද "පුතුනේ මේ අහගන්න" ගීතයද සම්මානයට පාත්‍ර වූ අතර එම ගීතයෙහි රසභාවයන් අදද අප නොමදව විඳිමින් පසුවෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව සතු විශිෂ්ට හඬවල් අතර විශිෂ්ඨතම හඬ ලෙස ඇය ගුවන් විදුලි හඬ පරීක්‌ෂණය හරහා තබා ඇති වාර්තාව අද වෙනතෙක්‌ කිසිවකු හට නොලැබුණු වාසනාවකි. සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපට සංගීතඥවරිය වන්නේද ඇයයි. "හරියට හරි" චිත්‍රපටය ඇයගේ චිත්‍රපට සංගීතයෙහි උදාහරණය වෙයි. "ආදරේ මන්දිරේ" "ජීවනවිල මැද" මල් මල් වනමල් මැද පිපි බිනරමලී" "මාලිගාවේ මා රැජිනි" "පරවුණු මල්වල" ඇතුළු ඇයගේ බොහෝ ගීත ආධුනික හා ප්‍රවීන ගායිකාවන් බොහෝ විට ගායනා කළද ඇයගේ මුල් ගැයුම අසලට හෝ ළඟාවීමට තවමත් කිසිදු ගායිකාවකට නොහැකි වී ඇත්තේ සුජාතා අත්තනායක සතු හඬෙහි නිම්නාද වන රසභාවයන්ගේ සුවිශේෂිතාවයෙහි ඇති අලංකාරයෙහි ශක්‌තියෙනි. සුජාතා අත්තනායකගේ මුල් ගැයුම් සැබවින්ම රසාලිප්තය. මධුරය. මනෝහරය. ඇය සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කිරිමෙහිලා ලබාදුන් සහාය අප දැන්වත් විචාරශීලීව අධ්‍යයනය කර ඒ සඳහා ඇයට මෙන්ම ඇයගේ නිර්මාණයන්ටද නිසි ගෞරවය ලබාදිය යුතුය.

සුලෝචන වික්‍රමසිංහ
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.