ජනප්‍රිය සිනමා තාරකාවන්ට රංගන පාසලක්‌ වූ සුබෙයිදා

ඉන්දියාවේ ධනවත් මහරජා පවුලකට අයත් වූ ඇය නිහඬ සිනමාවේ සිට හඬ සහිත සිනමාව දක්‌වා රංගනයේ යෙදුණු විශිෂ්ට රංගන ශිල්පිනියක සේ සැලකේ. හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමා තාරකාවන් රැසකට රංගනය පිළිබඳව උපදෙස්‌ සැපයූ ඇයගේ ජීවිත කථාව 2001 වසරේදී සිනමා පටයකට පෙරළිනි. "සුබෙයිදා" නම් වූ එම චිත්‍රපටයට පසුබිම් වූයේ ඉහතින් සඳහන් කළ රංගන ශිල්පිනියගේ ජීවිත කථාවයි. මෙම ශිල්පිනිය නමින් සුබෙයිදා බෙගම්ය.

ඉන්දියාවේ සුරත්හි පදිංචිව සිටි ධනවත්, වංශවත් මහරාජා පවුලක කුමාරිකාවක්‌ වශයෙන් 1911 වසරේදී උපත ලැබූ සුබෙයිදා ගේ පියා සචින් හි නවාබ් වූ අතර ඉන්දීය සිනමා ක්‍ෂේත්‍රයෙහි ප්‍රථම චිත්‍රපට අධ්‍යක්‍ෂවරිය මෙන්ම රංගන ශිල්පිනියක වූ µdතිමා බෙගම් ඇයගේ මව වූවාය. රංගන ශිල්පිනියන් වූ ෂාසාඩ් බෙගම් හා සුල්තානා බෙගම් සුබෙයිදාගේ සහෝදරියන් විය.

සුබෙයිදාගේ ළමා කාලය බෙහෙවින් සුන්දර එකක්‌ වූ අතර ඇයට සිය නිවසේදී අමතනු ලැබුයේ "චෝටෙ නවාබ්" යනුවෙනි. ළමා කාලයේ සිටම සුබෙයිදා මෙන්ම ඇයගේ නිළි සහෝදරියන් දෙදෙනා රූමත් වූ අතර ඒ නිසාම ඇයට වයස අවුරුදු 12 ක්‌ වන විට සිනමාවට පිවිසීමට හැකි වූවාය. මුලදී පියා ඔවුන් තිදෙනාව සිනමාවට එක්‌ කිරීමට අකමැති විය. ඇයගේ ප්‍රථම චිත්‍රපටය වූයේ "කොහිනූර්" චිත්‍රපටයයි. එය නිහඬ චිත්‍රපටයක්‌ (සයිලන්ට්‌ මූවි) විය.

අනතුරුව 1920 දශකය පුරාම සුබෙයිදා ඒ වන විට ඉන්දීය සිනමාවේ රූමත් ප්‍රධාන රංගන ශිල්පිනියක බවට පත්ව සිටි ඇයගේ සහෝදරිය වූ සුල්තානා සමග චිත්‍රපටවල රඟපෑවාය. ඔවුන් දෙපල එකට රඟපෑ චිත්‍රපටයක්‌ ලෙස 1924 වසරේදී තිරගතවූ "කල්‍යාන් කජීනා" ප්‍රකටය. අනතුරුව වසර දෙකකට පසුව තිරගත වූ සුබෙයිදා රඟපෑ ප්‍රථම දැවැන්ත සිනමා නිර්මාණය වූ "වීර් අභිමාන්යු" චිත්‍රපටයෙහිද ඇයගේ සහෝදරියද රඟපෑවාය. එම චිත්‍රපටයෙහි ඔවුන්ගේ මව වූ µdතිමා බෙගම්ද වැදගත් චරිතයක්‌ රඟපෑවාය.

1925 වසරේදී සුබෙයිදා රඟපෑ චිත්‍රපට නවයක්‌ තිරගත කෙරුණු අතර "කලා චෝර්", "දේව් දාසි" "දේශ් කා දුෂ්මන්" ඒවා අතර විය. ඔවුන් රඟපෑ "බාබුරාඹි ක්‍රිෂ්ණ රාඕ මිස්‌ටරි චිත්‍රපටයට ලන්ඩනයේ වෙම්බ්ලි ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණි.

1926 වසරේදී ඇය තම මව විසින් නිර්මාණය කරන ලද "බුල්බුල් ඊ පරිස්‌ටා" චිත්‍රපටයෙහි රඟපෑවාය. 1927 වසර සුබෙයිදාට අමරණීය වසරක්‌ වූ අතර එම වසරේදී "ලයිලා මඡ්නු" "නාන්ද් බෝජායි" "සැක්‌රිµයිස්‌" වැනි අති සාර්ථක සිනමා නිර්මාණවලට දායක වීමට ඇයට හැකිවීම මෙම තත්ත්වයට හේතු විය.

අතීතයේ සිට පැවත එන බෙංගාලයේ කාලි මෑණියන්ගේ කෝවිලට සතුන් බිලිදීමේ ක්‍රියාව විවේචනයට ලක්‌ කරමින් නිපදවූ "බලිදාන්" චිත්‍රපටයෙහි ද සුබෙයිදා රඟපෑ අතර රබින්ද්‍රනාත් තාගෝර්තුමා විසින් රචිත ලිපියක්‌ පදනම් කරගෙන තැනූ මෙම චිත්‍රපටයෙහි සුලෝචනා, මාස්‌ටර් විතාල් හා ජායි කම්බට්‌ටා රඟපෑහ. මෙම චිත්‍රපටය ඉන්දීය චිත්‍රපට කමිටුව විසින් හඳුන්වා දෙන ලද්දේ "අති විශිෂ්ට හා සත්‍ය වශයෙන්ම ඉන්දියානු නිර්මාණයක්‌ වූ චිත්‍රපටයක්‌ ලෙසයි. එම කමිටුවෙහි සිටි යුරෝපීය සාමාජිකයන් විසින් යෝජනා කරන ලද්දේ එම චිත්‍රපටය විදේශීය රටවලද තිරගත කළ යුතු බවයි. ඒ අනුව "බලිදාන්a" චිත්‍රපටය යුරෝපයේ තිරගත කෙරුණු ප්‍ර්‍රථම ඉන්දීය චිත්‍රපටය බවට පත් විය. එය සුපිරි ගණයේ නිර්මාණයක්‌ ලෙසින් දෙස්‌ විදෙස්‌හි ප්‍ර්‍රශංසාවට ලක්‌ විය.

වසර ගණනාවක්‌ නිහඬ චිත්‍රපටවල රඟපෑ සුබෙයිදා හට 1931 වසරේදී තිරගත වූ ප්‍රථම හඬ චිත්‍රපටය සේ සැලකෙන "අලම් ආරා" චිත්‍රපටයෙහි රඟපෑමට අවස්‌ථාව ලැබිණි. එම චිත්‍රපටයද වැඩි ආදයම ලබමින් සුපිරි ම චිත්‍රපටයක්‌ බවට පත්වීම නිසා ඇයට සිනමාවේ පැවති ඉල්ලුමද වැඩි වූ අතර ගෙවනු ලැබූ මුදලද ඉහළ දැමිණි. ඒ අනුව එම වකවානුවේ ඉන්දීය සිනමාවේ සිටි ඉහළ ආදායම්ලාභී රංගන ශිල්පිනියක බවට ඇය පත් වූවාය.

1930 හා 40 යන දශකවල ඇය ජායි ම(ර්)චන්ට්‌ සිනමා සමාගම සමග එක්‌ව මිථ්‍යා විශ්වාසයන් පදනම් කර ගත් "සුබාදා උත්තර හා දරුපදි" ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑ අතර එස්‌රා මීර් ගේ "සරීනා" හි ඇය හැඟීම්බර චරිතයක්‌ නිරූපණය කළාය. එහි අන්තර්ගත ඇතැම් දර්ශනයන් වාරණයට ලක්‌ විය යුතු බවටද උණුසුම් වාද විවාද මතු විය. "දේව්දාස්‌ (1937) හා මේරි ජාන් ඇය රඟපෑ තවත් ජනප්‍රිය චිත්‍රපට 2 කි.

මේ වන විට ඇය හා සිනමා අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනකු අතර පවතින පෙම් හබ පිළිබඳ කථා පැතිර යැම නිසා සුබෙයිදාට තමනට ලැබුණු චිත්‍රපට කිහිපයක්‌ම වෙනත් නිළියනට ලබාදීමට සිදු විය.

1934 වසරේදී සුබෙයිදා, නානුබායි වකීල් සමග එක්‌ව "මහාලක්‍ෂ්මී මුවිටෝන්" යන සිනමා සමාගම පිහිටුවූ අතර එහි නිර්මාණයන් වශයෙන් එළිදැක්‌වුණු "ගුල් ඊ සොනොබාර්," "රසික්‌ ඊ ලයිලා" වැනි චිත්‍රපට බොක්‌ස්‌ ඔµSස්‌ වාර්තා බිඳලමින් තිරගත විය. මේ වන විට ජනප්‍රිය තරුවකව සිටි සුබෙයිදා 1935 වසර වන විට හින්දි සිනමාවේ සරාගී නිළියක බවට පත් වූවාය.

1949 වසර දක්‌වාම සුබෙයිදා වසරකට එක්‌ චිත්‍රපටයක හෝ දෙකක රංගනයෙහි නිරත විය. ඇය විවාහ වූයේ හයිද්‍රdබාද්හි මහාරාඡ් නර්සින්ගිර් ධන්රාඡ්ගිර් ග්‍යාන් බහදූර් සමගිනි.

මහරාඡ් නර්සින්ගර් සමග විවාහ වීමෙන් පසු ඇය විසින් හින්දු ආගම වැළඳ ගත්තාය. එම විවාහයෙන් සුබෙයිදාට හුමායන් ධන්රාඡ්ගිර් නමින් පුතෙකු සිටියේය. එහෙත් සුබෙයිදාගේ පියාගේ බලපෑම මත සිදුවූ එම විවාහය අසතුටුදායක එකක්‌ වූයේ විවාහයට පෙර ඔවුන් දෙපල එකිනෙකා දැක නොතිබීම හේතුවෙනි. කෙටි කලකින්ම එම විවාහය බිඳ වැටුණු බවත් අනතුරුව හඳුනාගනු ලැබූ පෝද්පුර්හි මහාරාජා කෙනෙකු වූ 20 හැවිරිදි හනුවන්ත් සිං සමගින් සුබෙයිදා පෙම් සබඳතාවක්‌ ඇතිකර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහෙත් මෙම පෙම් සබඳතාව ඇරැඹී කලක්‌ ගත වූ පසුව තමාට සුබෙයිදා හා විවාහවීමට අවශ්‍ය බවට හනුවන්ත් සිං තරයේ තම පවුල හමුවේ ප්‍රකාශ කළේය. ඒ වන විටද ඔහු විවාහකයකු වූ අතර සුබෙයිදාද අසාර්ථක විවාහයකට එළඹ සිටි අයෙකු වීමත් ඇය මුස්‌ලිම් ජාතික කාන්තාවක්‌ වීම හා නිළියක වීම යන කරුණු මත හනුවත් අයත් ජෝද්පූර්හි රාජකීය පවුල එම විවාහයට විරුද්ධ විය.

එහෙත් එම බාධක නොතැකූ හනුවත් සිං සුබෙයිදා හා විවාහ වූ අතර ඔවුනගේ පවුල්වල බලපෑම් මත එම දෙපලට තම මාලිගය අතහැර මෙහ්රන්ගාර් ෙµdර්ට්‌ වෙත යැමට සිදු විය. විවාහයෙන් කලකට පසු හනුවන්ත් ඉන්දියාව හා පාකිස්‌තානය රටවල් දෙකක්‌ වශයෙන් වෙන්වන විට පාකිස්‌තානය තම නිජබිම කර ගත්තේය.

අනෙක්‌ අතට 1950 වසර තෙත් වසරකට චිත්‍රපටයක්‌ හෝ චිත්‍රපට දෙකක රඟපෑ සුබෙයිදා නිර්දෝෂ් අබ්ලා චිත්‍රපටයෙහි රඟපෑමෙන් අනතුරුව සිනමාවෙන් සමුගත්තාය. එම චිත්‍රපටයෙන් අනතුරුව ඇයට රඟපෑම සඳහා චිත්‍රපට රැසක්‌ ලැබුණද එම සෑම ඇරයුමක්‌ම ඇය විසින් ප්‍රතික්‍ෂේප කර තිබිණි.

සිනමාවෙන් ඉවත් වුවද ඇය ගෙන් රංගනය පිළිබඳව ගුරුහරුකම් ලබා ගැනීමට පැමිණි සිනමා ශිල්පිනියන්ගේ සංඛ්‍යාව නම් අඩු නොවීය.

සුබෙයිදාගේ විශිෂ්ට ගණයේ රංගන ශෛලිය නිසාම ඇයගෙන් රංගනය පිළිබඳ උපදෙස්‌ පතා පැමිණි රංගන ශිල්පිනියන් අතුරින් එවකට ජනප්‍රිය නිළියක වූ සුරෙයියා ප්‍රධානය. 1945 වසරේදී ඇය සුබෙයිදා වෙත ගොස්‌ රංගනය පිළිබඳ උපදෙස්‌ ලබා ගෙන තිබිණි. අනතුරුව ජනප්‍රිය නිළියන් වූ මීනා කුමාරි, මධුබාලා, නාර්ගීස්‌, වහිඩා රෙහ්මාන් යන අයද සුබෙයිදා වෙත ගොස්‌ රංගනය පිළිබඳව ගුරුහරුකම් ලබාගෙන තිබේ. මීනා කුමාරි "පාකීසා" චිත්‍රපටයෙහි රඟපෑමේදී සුබෙයිදාගේ රංගන ශෛලිය අනුගමනය කළ බව පැවසේ.

සිනමාවෙන් සමුගැනීමෙන් පසු සුබෙයිදා නිහඬ දිවියක්‌ ගත කළාය. ඇයගේ සැමියා වූ හනුවන්ත් 1952 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක්‌ සභාවට තරග කර වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එයට තේරී පත් විය. ඔහු ගුවන් යානා පැදවීමට හපන්කම් දැක්‌වූ අයෙක්‌ වූ අතර ඔහු තමාට අයත් පුද්ගලික ගුවන් යානයකින් සුබෙයිදා හා මර්වාර් නමැති කාන්තාර ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්‌ව මිය ගිය බව පැවසේ. ඒ 1990 වසරේදීය. එහෙත් මෙම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව විවිධ මත පවතී.

ඇතැම් සිනමා සඟරා වාර්තා කර තිබුණේ සුබෙයිදා සිය අවසන් කාලය මුම්බායි හි ධන්රාඡ් මහල් මාලිගයේ ගත කළ බවයි. සුබෙයිදා ඉන්දීය සිනමාවේ මුල් යුගය වර්ණවත් කළ රංගන ශිල්පිනියකි. වත්මන් පරපුරෙහි වැඩි දෙනකු ඇයව හඳුනාගත්තේ ඇයගේ පුත් කාලිඩ් මෙහ්මුඩ් විසින් රචනා කොට ශ්‍යාම් බෙනගල් සිනමා ශිල්පියා විසින් අධ්‍යක්‍ෂණය කළ "සුබෙයිදා" චිත්‍රපටයෙනි. එය 2001 වසරේදී තිරගත වූ අතර වත්මන් ජනප්‍රිය නිළි කරිෂ්මා කපූර් සුබෙයිදාගේ චරිතය නිරූපණය කළාය.

සුබෙයිදා හනුවන්ත් සිං යුවළට ටුටු නමින් පුත්‍රයෙක්‌ සිටි බවද වාර්තාවේ. සුබෙයිදාගේ මුණුපුරු මිණිපිරියන් වනුයේ නිකිල් ධන්රාඡ්ගිරි, රියා පිල්ලේ හා කැරන් නිනාය. මොවුන් අතරින් රියා පිල්ලේ කලක්‌ ජනප්‍රිය නළු සන්ඡේ දත් හා විවාහ වී සිටියාය.


ඒමන්ති මාරඹේ
emanthim@gmail.com
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.