කොමර්ෂල් බැංකුව ප්‍රථම කාර්තුවේ
රුපියල් බිලියන 4.145 ක
බදු පෙර ලාභයක්‌ වාර්තා කරයි


ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව 2012 දී මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව සඳහා ඉහළ මූල්‍ය ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත්ව සිටින අතර ණය හා අත්තිකාරම් මත ඉපැයූ පොලී ආදායමේ වර්ධනයත් විදේශ විනිමය ගනුදෙනු තුළින් ලද ආදායම් මෙම මූල්‍ය ප්‍රතිඵලයට හේතු වූ බව බැංකුව පවසයි.

2012 වසරේ මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මාස තුන සඳහා බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 4.145 ක්‌ වූ අතර එය 2011 මූල්‍ය වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී සියයට 40 ක වර්ධනයක්‌ පෙන්නුම් කරයි. එමෙන්ම මෙම මාස තුන සඳහා බදුවලට පසු ලාභය රුපියල් බිලියන 2.843 ක්‌ වූ අතර එය සියයට 38 ක වර්ධනයක්‌ ලෙස වාර්තා විය.

පොලී ආදායම රුපියල් බිලියන 2.422 කින් හෙවත් සියයට 27.43 කින් වර්ධනය වී රුපියල් බිලියන 11.25 ක්‌ ලෙස වාර්තා වීමට විශේෂයෙන්ම ණය හා අත්තිකාරම් මත උපයන පොලී ආදායම පසුගිය මූල්‍ය වසරේ පළමු කාර්තුව සමග සසඳන විට සියයට 42.44 ක ඉහළ යැමක්‌ සමගින් රුපියල් බිලියන 9.075 ක්‌ වීම ඉවහල් විය.

මෙම මූල්‍ය ප්‍රතිඵලයන්ගෙන් පෙන්නුම් කරන්නේ අභියෝග සහිත වෙළෙඳ පොළ තත්ත්වයන් හමුවේ වුවද 2011 වසරේ සිට අප විසින් අත්පත් කර ගත් වර්ධනය එලෙසම පවත්වාගෙන ඇති බවයි" යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රවී ඩයස්‌ මහතා පැවසුවේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළමු කාර්තුව තුළ ණය වර්ධනය ස්‌ථායි මට්‌ටමක පැවතු නමුත් වසරේ ඉදිරි කාර්තුවලදී එළැඹෙන ප්‍රධාන අභියෝගය අරමුදල්වල පිරිවැය එලෙසම පවත්වාගෙන යැමයි" යනුවෙනි.

2012 මාර්තු 31 වන දිනට බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 351.040 ක්‌ ලෙස සටහන් වූ අතර එම ප්‍රමාණය 2011 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට දැක්‌වුණේ රුපියල් බිලියන 318,461 ක්‌ ලෙසටය. ඒ අනුව මෙම කාල සීමාව තුළ මුළු තැන්පතු ප්‍රමාණය සියයට 10.23 කින් වර්ධනය වී තිබිණි. දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 308,670 ක්‌ ලෙස සටහන් වූ අතර එහි වර්ධනය දැක්‌වුණේ සියයට 7.19 ක්‌ ලෙසින්ය. කොමර්ෂල් බැංකුවේ පළමු කාර්තුවේ අතුරු මූල්‍ය වාර්තා අනුව 2012 වසරේ මාර්තු 31 වන දිනට බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය දැක්‌වුණේ රුපියල් බිලියන 474,952 ක්‌ ලෙසිනි. එමෙන්ම 2011 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 441.099 ක මට්‌ටමක පැවැති අතර මේ අනුව ගතවූ කාල සීමාව තුළ බැංකුව තම මුළු වත්කම් ප්‍රමාණය සියයට 7.62 කින් වර්ධනය කර ගැනීමට සමත්ව සිටී.

අනෙකුත් ප්‍රධාන දර්ශකයන් පිළිබඳව සඳහන් කරන කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා පැවසුවේ ශුද්ධ පොලී ආදායම සියයට 17 කින් වර්ධනය වී රුපියල් බිලියන 5,065 ක මට්‌ටමකට පැමිණ ඇති බවයි. මේ අතර පොලී නොවන ආදායම්වල (කොමිස්‌, ආයෝජන ආදායම්, විදේශ විනිමය සහ අනෙකුත් ආදායම්) රුපියල් බිලියන 1,927 ක්‌ හෙවත් සියයට 130 ක ඉහළ යැමක්‌ පෙන්නුම් කරමින් රුපියල් බිලියන 3,406 ක්‌ ලෙස වාර්තා විය. මෙම වර්ධනය සඳහා ඩොලරයට සාපේක්‍ෂව රුපියල අවප්‍රමාණය වීමෙන් ඇති කෙරෙන පරිවර්තන මත ඉපැයීම බොහෝ සෙයින් ඉවහල් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.