වසර තුනක්‌ ඇවෑමෙන් යුද ජයග්‍රහණය සහ ආර්ථික යුද්ධය

යුද ජයග්‍රහණයට වසර තුනක්‌ සම්පූර්ණ වී තිබේ. යුද ජයග්‍රහණයට පෙර රට හමුවේ පැවැති දැවැන්ත අභියෝගයන් දෙකකි. එකක්‌ නම් කොටි ත්‍රස්‌තවාදය පරාජය කොට රටට සාමය උදාකර ගැනීමයි. දෙවැන්න රටේ ආර්ථිකය දියුණු කිරීමයි. ආර්ථිකය දියුණු කිරීමට පැවැති ප්‍රධානතම බාධාව වූයේ ද කොටි ත්‍රස්‌තවාදයයි. එහෙත් මීට තෙවසරකට පෙර එනම් 2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්‌තවාදය පරාජය කොට රටට සාමය උදා කරදීමට වීරෝදාර ආරක්‍ෂක හමුදාවෝ සමත් වූහ. දශක තුනක්‌ තිස්‌සේ කිසිදු රජයකට කළ නොහැකි වූ ඒ දෙය මහින්ද රාජපක්‍ෂ රජයට වසර හතරකින් කළ හැකි විය. ඒ වූ කලී සාමූහික ජයග්‍රහණයකි. එනම් ඒ යුද ජයග්‍රහණයේ කොටස්‌කරුවෝ බොහොමයකි. කෙසේ වෙතත් යුද ජයග්‍රහණයෙන් පසු අප කියා සිටියේ මේ රටේ ආර්ථිකය දියුණු කර ගැනීමට හොඳම අවස්‌ථාවක්‌ උදා වී ඇති බවත් එම අවස්‌ථාව පැහැර නොහැර ඉන් උපරිම ප්‍රයෝජන ගෙන රට දියුණු කළ යුතු බවයි. එහෙත් මේ දෙය එයාකාරයෙන්ම සිදුව තිබේද? යුද ජයග්‍රහණයෙන් පසු රටේ ආර්ථිකය දියුණු කිරීමට ලැබුණු හොඳම අවස්‌ථාවෙන් අප උපරිම ප්‍රයෝජන ගෙන තිබේද? යුද ජයග්‍රහණයෙන් පසු තමන්ට සහන සැලසෙනු ඇතැයි මහජනතාවද අපේක්‍ෂා කළහ. ඒ නිසා අද මහජනතාව ප්‍රශ්න කර සිටින්නේද "යුද ජයග්‍රහණයෙන් පසු ආර්ථික සහන කෝ?" යනුවෙනි. මේ පසුබිම තුළ යුද ජයග්‍රහණයෙන් තෙවසරකට පසු ආර්ථිකය ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.


යුද ජයග්‍රහණයේ උපරිම ප්‍රතිඵල උදා කර ගැනීම ගැන අප කතා කළත් යුද ජයග්‍රහණයට වසරක්‌ සම්පූර්ණ වූ මොහොතේ එම යුද ජයග්‍රහණයේදී හමුදාවට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා මහතා සිටියේ හමුදා අත්අඩංගුවේය. ඉන් පසු ලැබුණු අධිකරණ තීන්දු හේතුවෙන් ඔහුට සිරගත වන්නට ද සිදු විය. මෙය මුලින් කිසිවෙක්‌ අපේක්‍ෂා නොකළ මහා දෛවෝපගත සිදු වීමක්‌ ද විය. රට ගැන සිතීමේදී මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා අතර මේ විරසකය ඇති නොවිය යුතුව තිබූ එකක්‌ බව අපේ හැඟêමයි. අප කැමති වුවත් නැතත් මේ විරසකය රටේ ඉදිරි ගමනට අහිතකර ලෙස බලපෑ බවට කිසිම සැකයක්‌ නැත. යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂත්, එම යුද්ධයේදී යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකාත් විරසක නොවී එක්‌ මගක ගියේ නම් එය රටේ ඉදිරි ගමනට මහඟු ශක්‌තියක්‌ වන්නට තිබුණි. එහෙත් රටේ අවාසනාවට, යුද ජයග්‍රහණයෙන් රටේ ඉදිරි ගමනට ලැබුණු ශක්‌තිය දුර්වල කිරීමට මේ විරසකය දිගින් දිගටම, හේතු වෙමින් තිබිණි. එහෙත් සරත් ෆොන්සේකා නිදහස්‌ කරන බවට වූ ආරංචිය පසුගිය දිනවල බලවත් ලෙස පැතිර ගියේය. මේ බවට මාධ්‍ය වාර්තා ද දිගින් දිගටම පළ විය. මේ ලිපිය ලියමින් සිටින අවස්‌ථාවේ ආරංචි වූයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස්‌ කරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබාගත් බවයි. ඒ අනුව මේ ලිපිය ඔබ කියවන මොහොත වන විට ඒ දෙය සිදුව තිබෙනවා විය හැකිය. එසේම පෙරේදා (18) කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවෙන්ද ඔහු ඇප පිට නිදහස්‌ විය. සරත් ෆොන්සේකාගේ දේශපාලනයට අකැමැති බොහෝ දෙනෙක්‌ පවා ඔහු සිරගතව සිටිනු දැකීමට අකැමැති වූහ. ෆොන්සේකා මහතාට කැමැති දේශපාලනයක්‌ කිරීමට ඉඩ තිබිය යුතු වුවත් යුද ජයග්‍රහණය පසුපසට අදින මේ විරසකය දැන්වත් සමනය වන්නේ නම් එය රටට හොඳය. ඒ සඳහා මේ දෙපාර්ශ්වයේම සිත් නම්‍යශීලී වනු දැකීම අද දිනයේ බොහෝ දෙනෙකු අපේක්‍ෂා කරන දෙයකි.

යුද ජයග්‍රහණයෙන් පසු අප කතා කළේ ආර්ථික යුද්ධය ජය ගැනීම ගැනයි. දශක තුනක්‌ තිස්‌සේ කොටි ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳි ජනයාට ආර්ථික සෞභාග්‍යය උදා කර දිය යුතුය. ආර්ථික සෞභාග්‍යය ඉබේම පහළ වන්නක්‌ නොවේ. එය කැපවීමෙන්, මහන්සියෙන් සැලසුම් සහගතව උදා කර ගත යුත්තකි. ඒ නිසා අප නිතරම කීවේ රට හැදුවොත් මිස ඉබේ හැදෙන්නේ නැති බවය. යුද ජයග්‍රහණයෙන් පසු රටට බොහෝ ආර්ථික ප්‍රතිලාභ ලැබී තිබුණත් යුද ජයග්‍රහණයේ උපරිම ප්‍රතිඵල උදා කර ගැනීමට අප ක්‍රියා කරමින් සිටින්නේ ද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ. රජයේ පසුගිය වසර තුනේ ගමන්මග තුළ අපට මේ ප්‍රශ්නය බොහෝ අවස්‌ථාවලදී මතු වූවකි. ඒ පිළිබඳ අපේ විවේචනය රට වෙනුවෙන් දිගින් දිගටම අප ඉදිරිපත් කළ බවද කිව යුතුය. එනම් යුද ජයග්‍රහණය අවස්‌ථාවේදී රටේ ඉදිරි ආර්ථික සංවර්ධනය පිළිබඳව ඇතිව තිබූ ඉහළම අපේක්‍ෂාවන් ඇතැම් රජයේ, ක්‍රියාකාරීත්වයන් තුළින්ම නොයෙක්‌ අවස්‌ථාවලදී පළුදුවීමට ලක්‌ වූ බවය.

මේ දිනවල වඩාත්ම කතා බහට ලක්‌ව ඇති සිදුවීමක්‌ වන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමේ ගනුදෙනුවයි. මේ ගැන ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු වූ අතර පසුව මුදල් අමාත්‍යාංශයෙන් එම අවදානම් සහගත කොටස්‌ ගනුදෙනුව සඳහා නියමිත ගෙවීම නොකිරීමට එම බැංකුවට උපදෙස්‌ ලබා දී තිබුණි. මේ ගැන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පළ කර තිබූ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක සඳහන් වූයේ මෙම ආයෝජනය මගින් සුවිසල් ප්‍රතිලාභ අත්නොවන බව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට පෙනී ගිය හෙයින් මෙම ගනුදෙනුවට නියමිත ගෙවීම සිදු නොකිරීමට තීරණය කරන ලද බවයි. මහජන මුදල් තැන්පතු සම්බන්ධ වන බැවින් මෙවැනි අවදානම් සහගත ගනුදෙනුවක්‌ සිදුවීමට ඉඩ නොදීම ගැන අප විසින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මහාභාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරු ගත් පියවර අගය කළ යුතුය. මේ සිද්ධියේදී එකී බැංකුව සිය මූලික ක්‍රියාකාරකම්වලින් ඈත් නොවිය යුතු බවත්, බැංකුව අවදානම් සහිත පැතිකඩවලට නිරාවරණය නොකොට මහජන විශ්වාසය දිගින් දිගටම පවත්වා ගනිමින් ප්‍රමුඛ පෙළේ ඉතිරිකිරීමේ බැංකුවක්‌ ලෙස ප්‍රවර්ධනය කරන ලෙසත් මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා වැඩි දුරටත් උපදෙස්‌ ලබා දී තිබුණි. මෙවැනි පියවරක්‌ ජනාධිපතිවරයාට සහ මහාභාණ්‌ඩාගාර ලේකම්වරයාට මැදිහත්ව ගැනීමට සිදු වූයේ අනිවාර්යයෙන්ම මේ ගනුදෙනුව තුළ වරදක්‌ තිබූ නිසාය. එසේ නම් වැරදිකරුවන් කවුද? ජනාධිපතිතුමනි, මෙම සිදුවීමේදී ඔබගේ මැදිහත්වීම අප ඉතා අගය කරන නමුත් මේ නාටකය අවසන් වන්නේ කිසිවෙක්‌ වරදකරුවෙකු නොවන ආකාරයටදැයි මහජනතාව විමසිල්ලෙන් සිටින බවද මතක්‌ කළ යුතුය. මේ කොටස්‌ ගනුදෙනුවට අදාළ ගෙවීම නැවැත් වූයේ ඒ තුළ වරදක්‌ තිබූ නිසා නම් ඊට වගකිව යුත්තන්ද සිටිය යුතුය. ඔවුන් රකිමින් වරදක්‌ ඇති එහෙත් වරදකරුවන් නැති ගනුදෙනුවක්‌ ලෙස මේ නාටකය අවසන් වේද? ඒ ගැන මහජනතාව බලා සිටින බව අපි ජනාධිපතිවරයාට රට වෙනුවෙන් මතක්‌ කර සිටිමු.

ඉතා මෑතකදී සිදුවූ මේ ගනුදෙනුවට අමතරව ආර්ථික යුද්ධය ජයගැනීමේ ජනතා අපේක්‌ෂාවන් පළුදු කළ තවත් අවස්‌ථාවන් බොහොමයකි. තෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුම් ගැනද මෙහිදී අපට සිහිපත් වේ. එම හෙජින් ගිවිසුම් වලින් රටට වන හානිය සෑහෙන දුරට අවම කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම නිසා දැන් හැකි වී තිබුණද, එම ගිවිසුම්වලට වගකිවයුත්තන් සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ ගත්තේ නැත. රජය තුළ සිටින ඇතැම් නාස්‌තිකාර ඇමැතිවරු ගැනත් එම ඇමැතිවරුන්ගේ නාස්‌තිකාර වැඩ ගැනත් එසේම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන කොතෙකුත් වංචා දූෂණ සහ අක්‍රමිකතාවන් ගැනත් පළවූ මාධ්‍ය වාර්තා කොතකුත් අප දැක තිබේ. ඇතැම් අමාත්‍යංශවල කිsසිදු වැඩක්‌ නැතිව ජනතා මුදලින් පඩි කකා සිටි අමාත්‍යාංශ උපදේශකවරුද දුසිම් ගණනින් වූහ. මේ අය පඩි නඩි හා වරප්‍රසාද භුක්‌ති වින්දා හැරෙන්නට ලබාදුන් උපදේශයක්‌ද නැත. ආණ්‌ඩුවේ වැරදි ගැන රජයට දැනෙන විරෝධයක්‌ පළ කරන්නට තරම් ශක්‌තිමත් විපක්‌ෂයක්‌ ද අද රටේ නැත. අද විපක්‌ෂයට තිබෙන ප්‍රධාන රාජකාරිය රජයේ වැරදි සහ අඩුපාඩු ගැන ක්‍රියාකරනවාට වඩා එම පක්‌ෂයේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කිරීමය.

කාලාන්තරයක්‌ තිස්‌සේ පවතින විපක්‌ෂයේ අභ්‍යන්තර ගැටලු විසඳෙන පාටක්‌ ද නැත. ඒ නිසා අද ඇතැමුන් කියන්නේ රටේ විපක්‌ෂයක්‌ නැති බවය. තවත් අය කියන්නේ විපක්‌ෂයත් ආණ්‌ඩුවේ කියාය. ජනතා විමුක්‌ති පෙරමුණත් පාර්ශ්ව ගණනාවකට බෙදී ගොස්‌ බෙහෙවින් දුර්වල අඩියකට ඇඳ වැටී හමාරය. මේ නිසා ආණ්‌ඩුවේ කොතකුත් වැරදි තිබුණත් රටේ පාලනය භාරදීමට තරම් වෙනත් විකල්පයක්‌ද බහුතර ජනයාට ඇත්තේ නැත. ආර්ථික යුද්ධය ජයගැනීමේදී තිබෙන අභියෝග අතර රටේ බලවත් විපක්‌ෂයක්‌ නොමැති වීමේ අඩුපාඩුවද තිබේ. වංචා, දූෂණ හා අක්‍රමිකතාවලට අමතරව නිසි වෙලාවට නිසි තීන්දු තීරණ නොගැනීමේ ගැටලුවද ඇත. රුපියලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුලදී මහාභාණ්‌ඩාරයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් එක මතයක සිට ක්‍රියා නොකළ බව ප්‍රකට කරුණකි. අයවැයෙන් රුපියල බාල්දු කිරීමට සිදුවූයේද මේ නිසාය. රුපියලේ ලෙඩේ හංගාගෙන සිට ලෙඩේ වැඩි වූ නිසා අවසානයේ සිදුවූයේ ලෙඩ හොඳකර ගැනීම සඳහා තිත්ත කසාය බීමටය. මේ ගැනත් අපිබොහෝ කතා කර ඇත.

මේ නිසා ආර්ථික තීන්දු තීරණ ගන්නා ආයතන රටේ ආර්ථික කළමනාකරණයේදී එක මතයක සිට ක්‍රියා කිරීමද අවශ්‍යය. නැතහොත් මේවායින් පීඩාවට පත් වන්නේ රටේ බහුතර මහජනතාවමය. ඒ නිසා ආර්ථික යුද්ධය ජය ගැනීමට යන මේ ගමනේදී රජයේ වැරදි හැකිතාත් උපරිම මට්‌ටමක්‌ දක්‌වා අවම කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා වංචාවෙන්, දූෂණයෙන් තොර කාර්යක්‍ෂම රටක්‌ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණද නොබියව, අවප්‍රමාදව සහ තරාතිරම නොබලා ගැනීමද අවශ්‍යමය. දශක කීපයක්‌ තිස්‌සේ කුරිරු කොටි ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳි මහජනයාට ආර්ථික සෞභාග්‍යය උදාකර දීමට ලැබුණු මහඟු අවස්‌ථාව රජය විසින් කිසිසේත්ම පැහැර හැරිය යුතු නැති බව යුද ජයග්‍රහණයට වසර තුනක්‌ සම්පූර්ණ වන මේ මොහොතේ රජයට නැවතත් සිහිපත් කළ යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.