ඓතිහාසික විජයග්‍රහණය අර්ථවත් කිරීම

විජයග්‍රහණයේ තෙවැනි සැමරුම ලෙස ඉකුත් 19 වනදා අවසන් වූයේ ශ්‍රී ලංකාවේ දෙවන නිදහස්‌ සටනේ තෙවර්ෂ පූර්ණ උළෙල බව අපි අභිමානයෙන් සඳහන් කරමු. ඒ වූකලී සකල ශ්‍රී ලාංකිකයන්ගේම හදවත් දේශ ප්‍රේමයෙන්ද ජාති වාත්සල්‍යයෙන්ද ඔකඳ කළ ආශ්චර්යමත් ඓතිහාසික සිද්ධියක්‌ බවද අපි සඳහන් කරමු. තිස්‌ වසරකට අධිකව අපගේ මාතෘභූමිය වසා ගත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී ගනඳුර මුලිනුපුටා දමමින් අපට සැබෑ ජාතික නිදහස ලබා දුන් එම ඓතිහාසික දිනය අප පමණක්‌ නොව මතු මතුව මේ බිමෙහි උපදින්නාවූ සියලු ජන කොටස්‌ විසින්ම සදානුස්‌මරණය කළ යුතු උදාර නිමිත්තක්‌ බවද කිව යුතුය.

අපේ ජාතික නිදහස වෙනුවෙන් දිවි දුන් ඒ අභීත විරුවන්ට අපගේ උත්තමාචාරය පළ කරමු. ජීවිතයට වඩා මව්බිම උතුම් යෑයි අභීතව නැගී සිටි ඒ විරු දරුවෝ සුරලොව සුරඹුන් සුරත්හිම සුදිලෙත්වා· ඒ උදාර සටනට නන් අයුරින් දායක වූ සියලු දෙනාටමත් අපගේ ගෞරවයද ප්‍රණාමයද පළ කරමු. එසේම ඒ යුග මෙහෙවර සිහි නොකරන එයට හිස නමා ආචාරය පළ නොකරන අයෙක්‌ වෙත් නම් හේ ලක්‌මවගේ සුජාත පුත්‍ර ගනයෙහි ලා සැලකිය නොහැකි බවද අප අවධාරණය කරමු.

අද බොහෝ දෙනෙකුට ඒ අඳුරු අතීතය සිහි නොවන බවද අපි දනිමු. බියෙන් මුළු ගැන්වී ළයෙන් සුසුම් හෙළමින්, අවිනිශ්චිතව සැළෙමින් මුළුÊරටක්‌ම අකර්මන්‍ය කළ ත්‍රස්‌තවාදයේ තරම අද බොහෝ අයට අමතකය. ගම් නොගම් කළ ගම් නගර වෙනසක්‌ නැතිවම මළ සොහොන් බිම් බවට පත් කළ තිස්‌ අවුරුදු ශාපයකින් රට මුදා ගත් වගක්‌ද සමහරුන්ට අමතකය.

එල්. ටී. ටී. ඊ. ය කිසිදිනක මැඬලිය නොහැකි බවට මේ රටේ රාජ්‍ය නායකත්වයට කාවැද්දූ ඒ පසුගාමී බටහිර චින්තනය ඉවත දා "අපි නැගෙමු එක්‌වෙමු එක්‌ව දිනමුයි" කියමින් රටම ජාතික අභිමානයකින් පුබුදු කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත්, ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‌ෂක ලේකම්වරයාටත් එයට එක්‌වූ සියලු දේශප්‍රේමී බලවේගයන්ටත් ත්‍රිවිධ හමුදා සෙන්පතිවරුන් ප්‍රමුඛ රණවිරුවන්ටත්, පොලිසියටත් ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුත්තේය.

2009 මැයි 19 වනදා මුලතිව් නන්දිකඩාල් කලපු තීරයේදී එල්. ටී. ටී. ඊ. µeසිස්‌ට්‌වාදී නායකත්වයේ හිස සිඳ ලූ නමුදු අදත් එහිම හිස්‌ බටහිර අධිරාජ්‍යවාදයේ සෙවණ යට එසවෙමින් තිබෙන බවද අප සිහි කළ යුතුය. එදා අප මව්බිම වනසාලීමට සෘජුව හා වක්‍රව උදව් දුන් දුෂ්ට බලවේගද සිය ඊළාම් හැව අතහැර අප අතරම සිට අගෙයි අගෙයි කියමින්ම ඔල්වරසන් දෙනුද පෙනෙයි. එහෙත් ඒ දුෂ්ටයන්ට යළි නොරැවටිය යුත්තේය.

අද දරුස්‌මාන්ලාගේ අතින් ලියෑවෙන වාර්තාව පසු පසත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් නිල බල අස්‌සේත් සක්‍රියවී සිටින්නෝ එදා මේ රටට වින කළ ඊළාම්වාදීහු නොවෙත්ද? බටහිර අධිරාජ්‍යවාදීහුම නොවෙත්ද? උන්ගේ මානව හිතවාදයේ වෙස්‌මුහුණු යටින් සැඟව ඇත්තේ එකී බිහිසුණු ඊළාම්වාදයේ විෂ දළ නොවේද? උන් විෂ සඟවා සිනහා පාමින් අපට දිගු කරන සුරත ඇඟිලි නියග රැඳුණේද ඒ ඊළාම්වාදී විෂම නොවේද? අපට රතු පලස්‌ අතුරන ගෙලට මල්දම් පළඳවන ඒ දුෂ්ටයන් සමඟ අප පත්වන සීල සමාදානය කුමක්‌ද?

තතු මෙසේ හෙයින් විජයග්‍රහණය සැමරීම මෙන්ම එය සුරැකීමද අපගේ වගකීම බව සිහි කළ යුත්තේය. අද තන්හි තන්හි කෙරෙන විවේචන සියල්ල නිවැරැදි යෑයි අපි නොකියමු. එහෙත් ඒ තුළ සත්‍යයේ බිඳක්‌වත් නො මැති යෑයි කිව හැකිද? දූෂණය නාස්‌තිය, මිත්‍ර සංග්‍රහය පිළිබඳ නැගෙන හඬට කන් නොදී ඒ දෙස නොබලා යන ගමන ද රටට යහපත් නොවන බව අප පෙන්වා දිය යුතුය.

ජාතික සමගිය පිළිබඳ සැබෑ නොවූ සිහිනයක්‌ තවමත් අපට තිබේ. ඒ සිහිනය යථාර්ථයක්‌ බවට පත් කර ගැනීමට ද අපි අසමත්ව සිටිමු. ඉන්දියාවේ තමිල්නාඩුව අද මුළුමනින්ම අපට එරෙහිව ඇවිලවීමේ සාහසික වුමනාවක්‌ද බටහිරයන්ට තිබේ. ඒ එල්. ටී. ටී. ඊ. යත් එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්වත් වැනසූ වාඩුව ගන්නට පමණක්‌ නොව යළිත් මේ රට අරාජිකත්වයට පත් කරන්නට බවද අප තරව සිහියේ තබා ගත යුතුය.

දේශානුරාගය, වාත්සල්‍ය යනු ජන සභා මැද පුනරුච්චාරණය කරන වචන පමණක්‌ නොවේ. ඒ සඳහා ප්‍රතිරූප දේශයක්‌ද ගොඩනැංවිය යුතුය. ජාතිවාදයේ උන්මාදය රටට ව්‍යසනයක්‌ බව මෑතකදීත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර තිබිණි. මිනිසා මිනිසාට ගරු කරන සමාජවාදී සමාජයක්‌ ගොඩ නැගෙන තුරුම රටක්‌ දේශපාලන සමාජ ආර්ථික වශයෙන් ස්‌ථාවර නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අපගේ පරම අධිෂ්ඨානය විය යුත්තේද ඒ යහපත් සමාජය නිර්මාණය කිරීමය. අද අපගේ දේශපාලන න්‍යායපත්‍රයෙහි ප්‍රමුඛ අංකය බවට පත්විය යුත්තේද එයයි. දේශපාලනය යනු බලයමැයි අර්ථකථනය කළ කෞටිල්‍යවාදයට ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යටවීමට ඉඩ තැබිය යුතු නැති බව පමණක්‌ අපි අවධාරණයෙන් කියන්නෙමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.