හොරකම් කරන උන් මෙහෙමත් රැකේවිද?
පැරකුම්බාහු ප්‍රතිමාවත් ගිලීවීද?

හිසට මළකඩ සහිත තහඩු වහලෙකි. දිරාපත් යකඩ කණු මත සවිවී ඇති එම මුඩු පෙනුම සහිත මඩුවේ ඉදිරිපස කණු දෙකට පටලැවූ මළ කෑ කටුකම්බි දෙපටක්‌ පෙනේ. ගංජා ගසා නන්නත්තාර වී දඩාවතේ ගොස්‌ අසුවූ ගර්හාවට පත් මහල්ලෙක්‌ නින්දිත ලෙස සිරකර දැමුවා සේය. උපදින්නේ මහා වේදනාවකි.

පරාක්‍රම සමුද්‍රය තුළ ගිලී සැඟවීගිය පුරාණ තෝපාවැව මත්තෙන් සුළං පොදක්‌වත් හමා එන්නේ නැත. වියළී රිදුම්දෙන දුහුවිලි වැකි ගල්තලාව මත හිඳ ආයාසයෙන් බලා හිඳිමු. මේ දකින්නේ ඉතිහාසයේ අප්‍රමාණ පූජාවට ලක්‌වන මහා පැරකුම්බාවන්ගේ යෑයි කියෑවෙනා උත්තුංග ප්‍රතිමාව ඊට හිමිකම් ඇති ජාතිය විසින් ලෝකයට දක්‌වනා ආකාරයදැයි වටහාගත හැකි නොවේ. මහා විශ්වයේ පතල දැනුම ඤාණනය කළ ප්‍රභාමත් අගස්‌ති හෝ පුලතිසි හෝ කපිල ඉසිවරයාගේ යෑයි පැවසෙන සම්භාව්‍ය ප්‍රකාශනයේ ජාතික තක්‌සේරුව මෙයමදැයි වටහාගත හැකි නොවේ. මධ්‍යකාලීන යුගයේ නිර්මිත අනූන කලාත්මක බවින් යුතු, සම කළ හැකි නිදර්ශන තවත් නොමැති හෙයින් අද්විතීය වූ මහා අනර්ඝ කලාකෘතියක සෝචනීය දැකුම හිත කඩා කුඩුපට්‌ටම් කර දමයි.

එය රටටම වැදී ඇති හෙණයේ සංක්‌ෂිප්ත ප්‍රකාශනයක්‌ වැන්න. මේ ඒ දැකුම සටහන් වන ආකාරයයි. මෙම සේයා රූ පෙළ අපට බොහෝ දේ කියමින් හි`දී. අප මේ දකින්නේ හි`ගාකන ජාතියක විලිලඡ්ජා නැතිකමය. හම්බකරගෙන කන දේ නිසි ආකාරව නඩත්තු කරගැනීමවටත් සූදානම් නැති ජරපත් වීදි ගණිකාවකගේ තත්ත්වයට පත්වූ ජාතික කාලකණ්‌ණිකමය. අප මේ තරම් නින්දාසහගත අඩියකට විහින්ම වැටී ඇත්තේ කුමක්‌ නිසාදැයි වටහා ගතහැකි නොවේ.

පොළොන්නරුව පොත්ගුල් වෙහෙර නඩත්තු වන්නේ සංස්‌කෘතික ත්‍රිකෝණය මගිනි. සංස්‌කෘතික ත්‍රිකෝණය පුණ්‍ය ආයතනයක්‌ නොවේ. පොළොන්නරුවේදී මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ දෛනික ආදායම රුපියල් මිලියන ගණනකි. පසුගිය වසර තුළ පමණක්‌ පොළොන්නරුවට පැමිණ මේ කලාකෘතිය නැරඹූ විදේශිකයන්ගේ ගණන එක්‌ලක්‌ෂ තිස්‌හතරදාස්‌ තුන්සිය පනස්‌ අටක්‌ වූයේය. දේශීය සහෘදයන්ගේ ගණන මිලියන කීපයක්‌ ඉක්‌මවා යන්නේය. එය ගණන් බලා නැත.

පසුගිය වසරේ පොළොන්නරුවට පැමිණි එක්‌ලක්‌ෂ තිස්‌ හතරදාස්‌ තුන්සිය පනස්‌ අටක්‌ වන විදේශිකයන්ගෙන් පොළොන්නරුව මධ්‍යම සංස්‌කෘතික අරමුදල ලද ආදායම රුපියල් හතලිස්‌ එක්‌කෝටි අනූඅට ලක්‌ෂ හැටඅටදාස්‌ හත්සිය පනහකි. මේ වටපිටාව තුළ සංස්‌කෘතික සංචාරක කර්මාන්තය විසින් බිහි කරනු ලබනා වෙළෝදපළේ ඉහළම මිලක්‌ පොත්ගුල් වෙහෙරේ මේ විශ්ව කලාකෘතියට තිබේ. අඩුම තරමින් මේ කලාකෘතියට ලැබී ඇති විකිණුම් මිලට ගැළපෙන ලෙසවත් එයට ගෞරව කිරීමේ වගකීමක්‌, එය නඩත්තු කිරීමේ වගකීමත් මධ්‍යම සංස්‌කෘතික අරමුදල සතුව ඇත. එසේ කළ නොහැකිනම් මේ තරම් හි`ගන ආකාරයට එය ප්‍රදර්ශනය නොකර, මෙබ`දු සුළු කාරණාවලදී පවා ලෝකය හමුවේ ජාතිය නිරුවත් කිරීමේ පාපකර්මයට දායක නොවී හි`දීමේ වගකීම මේ ආයතන සතුව තිබේ. පොත්ගුල්වෙහෙරේ ප්‍රතිමාව ලක්‌ෂ ගණනක විජාතිකයන්ට ප්‍රදර්ශනය කර ඇති ආකාරයේ විලිලඡ්ජා නැතිකම ඉන් උපයන ලද රුපියල් කෝටි ගණනට වඩා වැඩි බව ආත්ම ගෞරවයක්‌ සහිත ඕනෑම සබුද්ධික මිනිසෙක්‌ වටහාගනු ඇත.

එහෙත් ෙ€දවාචකය අප දකිනවාටත් වඩා ඔබ්බට ගිය අවාසනාවන්ත එකකි. මහාවංශයේ දැක්‌වෙන පොළොන්නරුවේ විජය නගරය මෙයනම් මේ පුණ්‍යභූමිය අතීතයේ උග්‍ර තපස්‌දම් රක්‌ෂා කළ සුශීල මහා සඟ පරපුරකට සෙවණ දුන් කපිලවෙහෙර මේ භූමිය වියහැකි බව මහැදුරු සිරි ගුණසිංහයෝ පවසති. මේ පින්සාර බිම්පෙත් තුළ අතීත ගැමියෝ ජීවමාන වූහ. ඒවායේ කෞතුක වටිනාකමින් ඔබ්බට ගිය මහා හරයක්‌ සජීවීව තිබුණේත් යුගයෙන් යුගයට මනාකොට රක්‌ෂා වී පැවතුනේත් ඒ ගැමි බෞද්ධයන්ගේ අධ්‍යාත්මය හා මෙම පුදබිම් ඒකාත්මිකව තිබූ බැවිනි.

ඒ අධ්‍යාත්මික බැඳීම සහිත සංස්‌කෘතිය තවදුරත් මේ සමාජයේ නැත. දැන් පොත්ගුල් වෙහෙර පමණක්‌ නොව රුවන්වැලි සෑයේ ධාතු ගර්භයත් ශ්‍රී දළදාවහන්සේත් අනාරක්‌ෂිතය. බෙහෙවින්ම අනාරක්‌ෂිතය. මේ මොහොත වනවිට පොත්ගුල් වෙහෙරට මායිම්වන රක්‌ෂිතය සල්ලාලයන් ස්‌වකීය ලිංගික අවශ්‍යතා සපුරාගන්නා ගුබ්බෑයමකි. බේබද්දන් විසින් සුරා මඩමක්‌ කරගත් තිප්පළකි.

ගතවන පැයේදී ලෝකයේ අත්‍යන්ත ගෞරයට පාත්‍රවන පොත්ගුල් විහාරයේ ප්‍රතිමාව පිහිටා ඇති ගල්තලාව නිධන් සොයා යන අවලමුන් විසින් වනසා දමමින් සිටී. ගල්තලාවේ එක්‌ පෙදෙසක්‌ උග්‍ර ඇසිඩ් විෂක්‌ යොදා වනසා දමා ඇත. තවත් තැනෙක ගල් කුඩු කරමින් යමක්‌ සොයා ඇති අයුරු පෙනේ.

මෙබඳු පරිසරයක්‌ තුළ පුරා තුන් මසක්‌ තිස්‌සේ මේ භූමිය ඇත්තේ අඳුරේය. අහිංසක මධ්‍යම සංස්‌කෘතික අරමුදලට විදුලි බිල් ගෙවාගත නොහී පොත්ගුල් වෙහෙරේ විදුලිය විසන්ධි වී ඇතැයි පැවසිනි. මේ අන්ධකාරය සහිත අක්‌කර ගණනාවක්‌ පැතිරීගිය භූමිය රැකවල් කරන්නට යොදා ඇත්තේ එක්‌ රැකවල්කරුවෙක්‌ පමණි. ඒ මේ රටේ සංස්‌කෘතිය හා උරුමය හසුරුවනු ලබනා උන්ට මේ ඓතිහාසික භූමීන් පිළිබඳව ඇති වගකීමේ ප්‍රමාණයය. මේ පරිසරයේදී පරාක්‍රමබාහු ප්‍රතිමාව මෙපමණකින් හෝ ඉතිරිවී තිබීමේ ආශ්චර්යය අප විසින් විඳින්නේ දැඩි කම්පනයක්‌ සහිතවය. මෙබඳු අනාරක්‌ෂිත තත්වයකට පොත්ගුල් වෙහෙර පත්කර අනතුරුව මේ ප්‍රතිමාවටත් කුළුගෙඩි පහරක්‌ වැදුණු දිනයක මුන්ට කියන්නට ඇත්තේ මොනවාදැයි අපට වැටහෙන්නේ නැත.

සංස්‌කෘතිය මගින් උපදවන මානසික වාරණයන් රහිත සමාජක දී මේ පුදබිම් සුද්දෙකු හෝ සංචාරකයකු ඉලක්‌ක කරගෙන යමක්‌ විකුණාගත හැකි වෙළෙඳපළවල්ය. මිනිස්‌සුන්ගේ අධ්‍යාත්මය හා බැඳුණු වටිනාකම් වලින් ඈත් වූ පසු මේ වෙහෙර විහාර සොහොන් කොත් වලට වඩා ගැඹුරු හැඟීමක්‌ කිසිවෙක්‌ තුළ උපදවන්නේ නැත. වේ තුඹසක්‌ බිඳිනවාට වඩා ඔබ්බට ගිය හැඟීමක්‌ පුරාණ දාගැබක ගර්භයක්‌ දැදුරු කිරීමට යන අවලමෙක්‌ තුළ නූපදින්නේ එබැවිනි. පොත්ගුල් වෙහෙරේ මේ අද්විතීය ප්‍රතිමාව කළු ගලකින් වෙන්කර ගැනීමට මුන්ට නොහැකි වන්නේ එබැවිනි.

මේ සුළං වැපිරූ සමාජයක්‌ අස්‌වැන්න නෙළා ගන්නා කාලයයි. ඒ අස්‌වැන්න ලැබෙමින් ඇත්තේ සුළිසුළං වලිනි.

ජානක ලියනආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.