පනාමුරේ ඇතුට මනුසත්කමේ
පුෂ්පෝපහාරයයි...



ඇත් රජු තම වර්ගයා රැක ගැනීමට
දුහුවිලි අවුස්‌සමින් රණබිමට පිළිපන් මොහොත....

ශ්‍රී ලංකාව අලි ඇතුන්ගෙන් පොහොසත් රටකි. අලි ඇතුන්ගේ නිජබිමක්‌ වන මෙහි අලි පිළිබඳ කතාන්දර කප්පරකි. එහෙත්a අලි මිනිස්‌ ගැටුම ගැන කතා නොකර අලින් ගැන මේ කොයි කතාන්දරය කිව්වත් ඵල රහිතය. ඒ ගැන කතා කළහොත් අසහාය හස්‌ති විරුවකු වූ පනාමුරේ ඇතා ගැනද කතා නොකරම බැරිය. ඇතා යෑයි කීවද හේ අලියෙකි. එහෙත්, නිර්භීත බව අතිනුත්, තම වරිගයා වෙනුවෙනුත් දිවි හිමියෙන් ක්‍රියාකළ උත්තුංග ගුණ සහිත සත්වයෙකි.

එනිසාම "පනාමුරේ ඇතා" ගැන ඉතිහාසයේ පිටුවක්‌ වෙන්වී ඇත. ඒ මතුද නොව, හෙල ගී සාහිතේ" "පනාමුරේ ඇත් රාජා" ගැනද පරිච්ඡේදයක්‌ම සනිටුහන් වී තිබේ.

තමන්ට දිවි ගෙවීමට වෙන්ව තිබූ වන අරණට ගිනිබට හා අනෙකුත් රුදුරු ආයුධ සමග වැද භීතියෙන් මුළු වන අඩවියම කළඹා තම වරිගයේ උන් දැවැන්ත ලී පවුරකට කොටුකර මිනිස්‌ සත්වයා විසින් අල්ලා නොරටට ගෙන යැමට සැරසෙද්දී ඊට නොබියව මුහුණදී රැළේ නායකත්වය ගෙන තනිවම සටන් කර ඒ දඬු වැට කඩා සහපිරිවර මුදා ගනිද්දී මිනිසත් බවටත් නිගාදුන් මෘගයකු බඳු මිනිසකුගේ රුදුරු වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මේ දැවැන්තයා මියගියේය.

එදා ඉදිකළ ඇත් වැටේ
මෙම කණුව අදටත් ඉතිරිව ඇත.

 

1950 වර්ෂයේ අගෝස්‌තු මස 9 වැනිදා ලක්‌ දෙරණ තලය සිපගත් ඒ හස්‌ති රාජයාගේ අනුවේදනීය කතාන්දරය කිසිදා මෙරට වන සත්ව ලෝලීන්ගේ හදවත් තුළින් අකාමකා දැමිය නොහැකිය. එදිනෙන් පසු මෙරට මෙවැනි අලි ගාල් තැනීම හා අලින් වනයෙන් අල්ලා ගැනීම නීතියෙන් තහනම් කිරීමට පනාමුරේ ඇත්රාජා මරණ මංචකයේ සිට මෙරටට ලබාදුන් සුවිශේෂ ජයග්‍රහණයකි. එවන් අභීත හස්‌තිරාජයකු වෙනුවෙන් පය ඔසවන්නට, හඬක්‌ නගන්නට මෙරට ජනයා ක්‍රියා නොකරතියි කෙසේ සිතන්නද? පනාමුරේ හස්‌aතිරාජයාගේ වියෝවෙන් වසර 62 ක්‌ ගෙවී යන මේ මොහොතේදී එවන් ගුණගරුක මිනිසුන් කිහිපදෙනකුගෙන් සැදුම්ලත් පනාමුර ඓතිහාසික හස්‌තිරාජ පදනම පනාමුර ඇත්රාජා වෙනුවෙන් පමණක්‌ නොව රටට අමිල සම්පතක්‌ බඳු මෙරටේ සියලු අලි ඇතුන් අනුස්‌මරණය වෙනුවෙන් ක්‍රියාකිරීමේ මහඟු පිංකමට දායක වී ඇති බව අප දැනගත්තේ මෙම හස්‌තිරාජ පදනමේ අධ්‍යක්‌ෂ හොරණ පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා සමග කතාබහ කිරීමෙනි. සමන් රත්නායක මහතා සමග මුලින්ම මට කතා කරන්නට අවස්‌ථාවක්‌ උදාවූයේ මීට ප්‍රථම අලින් පිළිබඳව "දිවයින ඉරිදා සංග්‍රහය" මගින් ලබාදුන් ටැබ්ලොයිඩ් පුවත්පතක්‌ සංස්‌කරණය කිරීමේදී ඊට පනාමුර ඇතා ගැනද පරිච්ඡේදයක්‌ ඇතුළත් කරන්නට මා ගත් උත්සාහයේදීය. එදින මෙම හස්‌තිරාජ පදනම ගැනත්, පනාමුරේ ඇත්ගාල තිබූ භූමියේ ඉදිකෙරෙන හස්‌ති කෞතුකාගාරය ගැනත් ඔහුගෙන් අපට දැනගන්නට ලැබිණි.

ඇත්රුව නිර්මාණය කරමින්...

 

ඉන් අනතුරුව අපගේ කතා බහ මඳකට සීමා වුවත්, පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා අලින් පිළිබඳව ඉතාමත් මානුෂිකව හිsතන පරිසරවේදියකු බව මොනවාට පසක්‌ කරමින් නිරන්තරයෙන් මා වෙත දුරකථනයෙන් කතාකර එක ඉල්ලීමක්‌ ඉටුකර දෙන ලෙස වාර ගණනාවකදීම ඉල්ලා සිටියේය. 1983 දී පටන් ඉරිදා දිවයින සංග්‍රහයෙහි පියසේන කහඳගම සූරීන් විසින් ලියන ලද පනාමුරේ ඇතාගේ කතාව නැවත පළකර දීමට කටයුතු කරන ලෙසයි ඒ. එහෙත් කාලයත් සමග මේ ඉටු නොවුණු ඉල්ලීම නැවතත් ඉෂ්ඨ කරගන්නට ඔහු පසුගිය දිනෙක අපගේ කාර්යාලයටම පැමිණ ඒ අවශ්‍යතාව අපගේ ප්‍රධාන කතුතුමා හා පරිපාලන කතුතුමාටද ඉදිරිපත් කළේය. අද මෙම පිටුවේ පහත එම පැරැණි ලිපිය පළවන්නේද එනිසාමය. එසේම හස්‌තියාගේ 62 වැනි සිහිකිරීම සිදුවන අගෝස්‌තු මස 09 වැනිදා පනාමුර ඇත්ගාල ස්‌ථාපනය කර එහි යෝජිත හස්‌ති කෞතුකාගාරය විවෘත කිරීමද, කලා ශිල්පී නවරත්න ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ඇත්ගාල භූමියේදී සජීවී නාද කාව්‍යයක්‌ හා ඒ හා සම්බන්ධ සංගීත සංයුක්‌ත තැටියක්‌ එළිදැක්‌වීමටත්, සංස්‌කෘතික කලා මංගල්‍යක්‌ පැවැත්වීමටත් කටයුතු යොදා තිබීමත් මීට තවත් හේතුවකි.

පනාමුරේ හස්‌තිරාජයාගේ හිස්‌ කබල

"මම දවසක්‌ මේ පනාමුර ඇත්ගාල භූමිය තිබූ තැන බලන්න ගියා. ඒත් එය එදා බොහෝම දුක්‌ඛදායක තත්ත්වයක තිබුණේ. පැරැණි දිය බුබුලත්, එදා පැරැණි ඇත්ගාලෙ කණුවකුත් විතරයි දකින්නට තිබුණේ. ඒවත් කැලෑවෙන් වැහිලා. අතීතයේ අක්‌කර හතරක භූමි ප්‍රමාණයක තිබූ මේ ඇත්ගාල අද කුඩා බිම් කොටසකට සීමා වී තිබෙන්නේ. මේ තත්ත්වය දැකලයි මම තීරණය කළේ මේ ඓතිහාසික ස්‌ථානය අනාගත පරපුර වෙනුවෙන් රැකතබන්න වැඩපිළිවෙළක්‌ යොදන්න ඕන කියල. ඊට පස්‌සෙ ප්‍රදේශයේ ප්‍රභූන්, නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ගවේශකයන් මේ සඳහා සම්බන්ධ කරගෙන තමයි අපි පනාමුර හස්‌තිරාජ පදනම ආරම්භ කළේ." සමන් රත්නායක මහතා පවසයි. ඉන්පසු ඇත්ගාල සංරක්‍ෂණය සඳහා කටයුතු සැලසුම් කෙරුණු අතර, පනාමුර ඇත්රාජාගේ සත්‍ය ඡායාරූප හා සත්‍ය හිස්‌කබලද යොදා ගනිමින් කෞතුකාගාරයක්‌ මෙහි ඉදිකරන්නට තීරණය විය. මෙම කෞතුකාගාරය දැනටමත් වැඩ නිමවෙන තත්ත්වයේ පවතින අතර, වැඩ නිමවීමෙන් පසු මෙය අලි ඇතුන් පිළිබඳව අධ්‍යයනය කරන්නට අවශ්‍ය පහසුකම් සලසන මධ්‍යස්‌ථානයක්‌ බවටත්, විවිධ අනතුරුවලට භාජනය වන මෙරට අලි ඇතුන් වෙනුවෙන් සේවා සපයන ස්‌ථානයක්‌ බවට පත්කිරීමටත් යොදාගන්නා බව පදනමේ විධායක අධ්‍යක්‍ෂ සමන් රත්නායක මහතා පවසයි. මෙය මෙරට අලි ඇතුන් පිළිබඳ සියලු විස්‌තර ඇතුළත් එකම කෞතුකාගාරය වනු ඇති බවටද ඔහු අප සමග පැවසීය.

මෙම භූමියේ පනාමුර හස්‌තියාගේ ජීවමාන ප්‍රමාණයේ රුවක්‌ තැනීමටත් දිය බුබුල සංරක්‍ෂණයට අමතරව පැරැණි ඇත්ගාලේ ආකෘතියට තැනෙන වැටේ කොටසක්‌ද මෙහි ඉදිකෙරෙන බවත් රත්නායක මහතා පැවසීය.

විවිධ දානපතීන් විසින් මේ දක්‌වා මෙහි සියලු කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ බවත්, තවදුරටත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා ගායන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් දා මහරගම යොවුන් රඟහලේදී පදනමට ආධාර පතා ගායන ප්‍රසංගයක්‌ පැවැති බවද රත්නායක මහතා පවසයි.

සැබැවින්ම මෙවන් සද්ක්‍රියාවකට මුල පුරා පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා සමාජයට මහත් ආදර්ශයක්‌ද, සත්ව අවිහිංසාව පිළිබඳ වැදගත් පාඩමක්‌ද කියා දී ඇති බව පෙනේ. එසේම ඔහු පෞද්ගලිකවම මේ මගින් මහා කුසලකර්මයක්‌ කරගෙන ඇති බවද මට හැඟේ. ඔහුගේ නොපසුබට උත්සාහය මත පනාමුර හස්‌තිරාජ පදනම බිහිවී එහි අනෙකුත් නිලධාරීන්ගේ හා ගම්වාසීන්ගේ සහායෙන් ඔවුන් බොහෝ දුරගොස්‌ ඇති බව එහි වත්මන් ප්‍රගතිය විමර්ශනයේදී අපට පැහැදිලි වේ. තවත් නොබෝ දිනකින් ඔවුන්ගේ ඒ උතුම් ප්‍රාර්ථනාවේ මල් පූදිනු පෙනේ. වැපිරූ ඵලයෙහි රන් අස්‌වනු පීදෙනු දැනේ. දැයක්‌ අවදි කළ නිර්භීත පනාමුර හස්‌තිරාජයාගේ ගුණකඳට මිනිසත් බවේ පුෂ්පෝපහාර පූජාව යෙදෙන දවස, අගෝස්‌තු 09 වැනිදාය. ඒ පනාමුර හස්‌තියා මියගොස්‌ වසර 62 ක්‌ ගෙවෙන දිනයයි. අපිදු ඒ උතුම් පූජාවේ කොටස්‌කාරයන් වන්නට අතැඟිලි ගනිමින් බලා හිඳින්නෙමු.

ජගත් කණහැරආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.