මහවැලි නදියේ වැලි ටික ඇදි යේ

මහවැලි නදියේ
අසබඩ සැදි ඒ
මහියංගන ථූපේ
වඳිනට අපි යනවෝ
තොටියෝ.... තොටියෝ


ගං ඉවුර

කලකට ඉහතදී නිතර දෙවේලේ ගුවන් විදුලිය ඔස්‌සේ විකාශය වූ ඒ ගීයේ මිහිරියාව ඔබට මඳකට හෝ මතකද...? ඒ ගීය අප සවනත වැකෙද්දී මියුගුණ සෑය ගැන සේම නිසංසලව ගලා බසින මහවැලි නදිය පිළිබඳවත් ඔබ අප සිත් සතන් තුළ ගොඩනැඟුණා වූ සිත්තම කොතරම් නම් අපූර්ව එකක්‌ද...? සත්තකින්ම එය වදන් වලින් විග්‍රහ කළ හැකිනම්...? ඔබත් මමත් අප සියලු දෙනාමත් ඒ අපූර්වත්වය වදන් පෙළක්‌ ඔස්‌සේ විචිත්‍රවත් ලෙස දිග හරින බවට තව කවරනම් කථාද...?

ඒ ඔරුවක නැගී ගඟ තරණය කළ යුගයයි. මහවැලි නදිය තරණය කොට එගොඩට ගොස්‌ මියුගුණ සෑය වඳින්නට නම් එදා පාරුවෙන් ඔරුවෙන් යැම අත්‍යවශ්‍යම එකක්‌ විය. ඔවුහු මෙගොඩ ගොඩේ සිට එගොඩ ගොඩේ සිටින තොටියාට යළි මෙගොඩට පැමිණෙන ලෙස ඇරයුම් කරන්නේ මහවැලි නදිය හා ඒ අවට චමත්කාරයද නෙතට හසුකර ගනිමින්ම හෙමින් සීරුවේ ගඟ තරණය කොට එගොඩට ගොස්‌ මියුගුණ සෑය වන්දනා
මාන කරන්නටය. ඒ එදාය. එනමුදු අද වන විට ඔරුවක නැඟී නොව විසල් පාලමක්‌ ඔස්‌සේ කිසිත් උපද්‍රවයකින් තොරවම ගඟෙන් එගොඩට ගොස්‌ මියුගුණ සෑය වඳින්නට පමණක්‌ නොව මුළු නගරය සිසාරාම පියමං කරන්නටද කාට කාටත් ඉඩ හසර විවර වී ඇත. ඇත්තෙන්ම හොඳය...· එහෙත්, නොදියුණු යෑයි කී එදාට සාපේක්‍ෂව දියුණු යෑයි සම්මත අද දවස වන විට මියුගුණ පුදබිමේ සේම මහවැලි නදියේද චමත්කාරය අමු අමුවේම වනසා දමන මහා ව්‍යසනයක්‌ දැන් දැන් මේ පෙදෙසේ හිස ඔසවමින් පවතින බැව් ඔබ මොහොතකට හෝ දැන සිටියෙහිද...?


ගඟට එන මාර්ගය

සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් පෙදෙස පුරා පැතිර යමින් තිබිණි. සිරි පොද වැස්‌ස කාටත් නොදැනී මහා වැස්‌සක්‌ වී තොර තෝරංචියක්‌ නැතිව හෝරා ගණනාවක්‌ම කඩා පාත්වෙද්දී සතර අතින්ම ගලා ආ ජල දහරාවෝ තම තුරුළට ගත් මහවැලි ගං කොමළිය චණ්‌ඩ ලෙස රළ නංවමින් වේගයෙන් ගලා බසින්නට වුණේ සිත් පිත් නැත්තවුන් විසින් ඕ හට කරනු ලබන කෙණෙහෙලිකම්වලට විරෝධය පාන්නට මෙනි. වැලි ටිපර් හා බැකෝ යන්ත්‍ර තවත් බර වාහන රැසක්‌ ධාවනය වීමෙන් විශාල ලෙස නිමැවී ඇති අගල් ඔස්‌සේ පහළට ඇදුණු ජල දහරාවන් සමග මුසුව පාෂාණ ස්‌ථරද අමු අමුවේම ගං දිය හා මුසුවන යුරු දුටු කලී ඇතිවූ වේදනාවද හද තුළ දරාගෙනම වේරගංතොට (Weragantota) ගම්මානය මැද්දෙන් වැටී ඇති මං ඔස්‌සේ තවත් කිහිප දෙනකු හා එක්‌ව මමද ඇවිද ගියේ සිදුවෙමින් පවතින ව්‍යසනයේ තතු හැබැහින්ම දැක ගන්නටය. දැකගෙන ඒ පිළිබඳ රටටම තතු කියන්නටය.

ගොඩනැඟිලි ඉදිකිරීමට යොදා ගන්නා වැලි අතර "මහියංගනයේ වැලි" වලට කා අතරත් ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. "ඉල්ලුමට සැපයුම" යන ආර්ථික න්‍යායේ පිහිටා කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාව තුළ පාරිසරික සංවේදීතාව අබමල් රේණුවක තරමින්වත් නැති නිසාදොa... වේරගංතොට ගම්මානය හා ඒ ආශ්‍රීත මහවැලි ගඟේ පරිසර පද්ධතියට සිදුව ඇති විනාශය නම් පරිසර හිතකාමීන් ගේ හද පාරවන එකකි.

අපි කෙමෙන් කෙමෙන් ඉදිරියටම ඇදුණෙමු. "ඩ්ර්ම්... "ඩ්ර්ම්... "ඩ්ර්ම්"... යන හඬක්‌ ඈතින් ඇසුණෙන් ආපසු හැරී බැලූ කලී වේගයෙන් ඉදිරියට ඇදී එනු දුටු බැකෝ යන්ත්‍රයක්‌ අප පසුකර ඉගිල ගොස්‌ ඈත කෙළවරේ වූ වැලි තොටුපළක්‌ කරා සේන්දු වනයුරු හොඳ හැටි දිටිමු.

වැලි ගොඩදමන බැකෝ යන්ත්‍රයක්‌.....

"ඕං බලන්නකෝ මහත්තයෝ... මේකේ ඉන්න වුන් පුළුවන් කාරකමට කරන වැඩ තමයි ඕවා. ගඟ ඉවුරට ගිහින් හොරෙන් වැලි පුරවාල එන ගමනක්‌ තමයි ඔය. ගඟ ඉවුරට ගිහින් බැකෝ වලින් වැලි පුරවන එක සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක්‌. ඒක ඔය වැරදි වැඩේ කරන එවුනුත් දන්නවා. දැන දැනත් ඔය වැඩේම තමයි කරන්නේ." අප හා එක්‌වූ පිරිස අතරින්ම එක්‌ තරුණයෙක්‌ එලෙස කියා සිටියේය. ඔහුගේ හෙඬේ ගැබ්ව තිබූ වේදනාව පරිසරයට වින කරන්නවුන්ගේ නොපනත්කම් සියෑසින් දැක හඬා වැටෙන සමස්‌ත පරිසර හිතකාමීන්ගේම වේදනාව මනාව කියා පාන්නක්‌ වැන්න.

අපි තවදුරටත් ඉදිරියටම ඇදුණෙමු. වැලි ලොරි ධාවනයත් සමග ඇතිවූ තෙරපුම හේතු කොටගෙන ඒ අවට මාර්ග සියල්ලම අද වන විට අබලන් වෙලාය. වැසිදාට ඒ මාර්ග සියල්ලම "වාරි මාර්ග" බවට පත්වේ. මේ මාර්ගවල නිමැවී ඇති දිය අගල් තුළ එකතු වන ජලය මතින් වාහන ධාවනයේදී ඇතිවන තෙරපුමෙන් අවට නිවාස සේම, මග තොට යනෙනවුන් ද හොඳ හැටි නැහැවී යන මුත් ඒ කිසිත් මායිම් නොකරන රියෑදුරෝ මහේශාක්‍ය ලීලාවෙන් හිස උදුම්මාගෙනම රිය පදවති. හොඳ හැටියට පායන කාලවලදී මේ පළාතම එකම දුහුවිලි විමානයකි. එහෙව් වටාපිටාවක්‌ තුළ හරිහැටි හුස්‌මක්‌වත් ගත නොහැකි බැව් කියන්නේ අපි නොව පෙදෙස්‌වල ජීවත්වන අහිසංක මිනිසුන්මය.

ලොකු කුඩා සැමටම එකසේ සුවදායකව ජීවත් වීමට නිමැවී ඇති මේ පරිසරය කොතෙක්‌ නම් සොඳුරුද...? එහෙත් තම පටු අරමුණු පමණක්‌ම මුදුන්පත් කරගනු රිසින් තවත් පිරිසකගේ ජීවත්වීමේ නිදහස පවා අහිමිකරන්නට කවරෙකු වුව පෙළඹෙනවා නම් ඔවුනට පාදඩයෝම පව්කාරයෝම කියනු හැර වෙන කුමක්‌ නම් කියන්නද...?

හෝරා කිහිපයක්‌ම එක දිගට ඇදහැලුණු වර්ෂාව කෙමෙන්... කෙමෙන් තුරන්ව යන්නට විණි. වැහි අන්ධකාරය නිසා මුළු පරිසරයම අඳුරු ස්‌වරූපයක්‌ ඉසිලුවද ඒ අඳුරට අභියෝග කරමින් මෙන් වටා පිටාවේ වූ විදුලි පහන් එකිනෙක දැල්වෙන්නට විණි. ගඟ දිය ඉතා චණ්‌ඩ ලෙස ගලා බසී. එදසුන් දැක දැකම අපි සියලු දෙනාම ගං ඉවුර කරා තවදුරටත් සේන්දු වුණෙමු. ඉද්ද ගැහුවක්‌ මෙන් තිබුණු ගං ඉවුරට බට කලී මෑත සිට ඈත දක්‌වාම එක සීරූවට ඇති වැලි තොටුපළවල් අප නෙත ගැටිණි. පෙන බුබුළු නංවාලමින් ගලා බසින නදියේ ඒ මේ අතට පැද්දෙමින් තිබුණු බෝට්‌ටු කිහිපයක්‌ද ඒ අතර විණි.

තරුණ පිරිස අතර වූ මාර්ගෝපදේශක තරුණයා යළිත් සිය හඬ අවදි කළේය.

"බලන්න මහත්තයෝ... මෙතැන ඉඳලා බැලුවාම පේන තෙක්‌ මානේ වැලි පොළවල්. ගඟ දැන් හොඳටම ගැඹුරු වෙලයි තියෙන්නේ. වතුර ටිකක්‌ නාගන්න ගඟට බහින එකත් හරි අවදානම්. ඉවරු ඔක්‌කොම කැඩි කැඩී ගඟට යනවා. හෙට අනිද්දාට චෛත්‍යයත් ඇවිත් ගඟේ තියෙයි. ඔහු කියාගෙන... කියාගෙන ගියේය. ඔහුගේ එම ප්‍රකාශය අන් කවරක්‌ හෝ නොව මතුයම් දිනෙක මේ පෙදෙස සිසාරාම සිදුවිය හැකි මහ විපතක පෙර නිමිති කියාපාන්නක්‌ වැන්න.

රෑ බෝවී ගෙන ආ නිසාම අපි සැවොම ගං ඉවුරෙන් මෑත්ව යළි ගම්මානය වෙතට පිවිසෙන්නට සැරසුණෙමු. කතාවෙන්... කතාවෙන්... අපි සියලු දෙනාම ගම්මානය කරා සේන්දු වෙමින් සිටියදී ගං ඉවුරේ එක්‌ තැනෙක මහා කුඹුරු යායක්‌ විලසින් වූ මඩ කඩිත්තක්‌ විණි. මෙතැන කොහොමද මේ වාගේ මඩ ගොහොරුවක්‌ හැදුණේ...? මම එක්‌වරම ඔවුන්ගෙන් විමසීමි. "වැලි පටවා ගෙන යන්න එන ට්‍රැක්‌ටර්, ලොරි විතරක්‌ නොවෙයි බැකෝ පවා හරවන්නේ මෙතැන මහත්තයෝ... බලන්නකෝ වෙලා තියෙන විනාසේ. මෙතැන ඉඳලා ඉස්‌සරහට තියෙන වැලි පොළවල් හැම එකක්‌ ළඟම තත්ත්වේ ඔය විදිහයි. මේ තැන්වල ඉස්‌සර නම් ලස්‌සන පරිසර පද්ධතියක්‌ තිබුණා. ඒවා හැම එකක්‌ම විනාශ කරල තමයි දැන් ඒ අය හිතුමතේට වැඩ කරගෙන යන්නේ..." එසේ කියූ ඔහු දිගු සුසුමක්‌ හෙළුවේය. ඒ සුසුම් පොද එගොඩගොඩේ ඇති වන අරණ මත ගැටී මුළු පරිසරය පුරාම ගිඟුම් දෙන්නාක්‌ මෙන් මට දැනිණි.

මොහොතකට සිතා බලන්න... ඉදිකිරීම් කටයුතු සඳහා "වැලි" අවශ්‍ය බව ඇත්තකි. එලෙස අවැසි වන වැලි ගොඩ දැමීම සඳහා යම් යම් පුද්ගලයන්ට බලපත්‍ර ලබාදී ඇති බවද ඇත්තකි. එහෙත් ඒ මත්තේ සොඳුරු පරිසරය වැනසී යනයුරු දෙස කෙළෙසක නම් අපි බලා සිටිමුද...? මොණර කොළ හා දේශපාලන හයිකාරකම් එක්‌වූ තැන මිනිසාගේ මතු නොව සතුන්ගේද ජීවත්වීමේ නිදහස අහිමි වන බැව් නොපැකිළිව කියන්න අපි තව කුමකට නම් ලතැවෙමුද...?

පරිසර ඇමැතිතුමනි...· මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමනි...·· මේ වන තුරුත් ඔබලා මෙහෙව් ව්‍යසනයක්‌ ගැන අබමල් රේණුවක තරම් දෙයක්‌වත් නොදැන සිටියා වන්නට පුළුවන. දැන දැනත් නොදැන මෙන් සිටියා දැයි අපි නොඅසමු. එනමුදු මේ අනාවරණයෙන් පසුව හෝ ඔබලාගේ දැස්‌ මෙදෙසට යොමුවිය යුතුව ඇති බැව් අපි අවධාරණය කරන්නෙමු. මන්ද සිදුවන ව්‍යසනය දැක දැකත් ඇස්‌ කන් පියාගෙන සිටියහොත් මතු පරපුරෙන් එල්ල වන්නා වූ දෙස්‌ දෙවොල්වලින් ගැලවී යැමේ හැකියාවක්‌ ඔබ අපි කවරෙකුට වුව ඇත්තේම නැති නිසාය.

අමිල දොළපිහිල්ල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.