කටුනායක පාතාලයේ ඉතිරි කොටස...

පළාතම ගිනි තියන කටුනායක පාතාලය

වර්තමානයේ පොලිසියේ අධිකාරි ධුරයක්‌ දරණ එකල මිනුවන්ගොඩ පොලිසියේ සිටි එක්‌තරා පොලිස්‌ නිලධාරියකු මෙම සිද්ධියේදී අධිකරණය වෙත යන්නට වූ ජපන් ඩීල්ට සිය නිල රථය ලබාදී ආරක්‍ෂාව පවා සපයා ඇත්තේ නිර්ලඡ්ජිත ලෙසිනි.

ජපන් ඩීල් තරුණයකු මරා ඉන් ගැලවී යැමේ කථාව එසේ වෙද්දී අසිතගේ සොයුරෙකු වූ සඳුන්, දේවක ඇතුළු පිරිසක්‌ද පාතාලයේ අත්පොත් තබමින් සිටියේ තවත් කතා පෙළක ආරම්භය සටහන් කරමිනි. එසේ කරලියට පැමිණි සඳුන් සහ දේවක එකල සිදු කළ ම්ලේච්ඡම ඝාතනයක්‌ ලෙස අදටත් ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රකටව ඇත්තේ වලාන දේවාලයේ කපු මහතා මරා දැමීම විය.

ජපන් ඩීල්ගේ තවත් සුවච කීකරු ගෝලබාලයන් පිරිසක්‌ වූ සුසන්ත කල්ලියේ සාමාජිකයකු වන පොට්‌ටයාගේ පියාට වලාන දේවාලය තුළ පාවාහන් පැළැඳ යැමට ඉඩ නොදීම කපු මහතාට මෙසේ ජීවිතයෙන් වන්දි ගෙවීමට හේතුව වී තිබිණි.

මෙම සුසන්ත කල්ලියද අද ප්‍රදේශය පුරා භීෂණය වපුරන බිහිසුණු කල්ලියක්‌ බව රහසේ සඳහන් කරන්නේ මෙකී පාතාලයන්ගේ ම්ලේච්ඡත්වයට බියේ මිරිකී සිටින ප්‍රදේශයේ අසරණ ජනතාවමය.

මේ අතරේ අසිත ඉලක්‌ක කර ගම්පහ ප්‍රහාරය එල්ල කෙරුවේ මෙකී පාතාලයන්ට එරෙහිව පෙරට ආ මාදූවේ පොඩි සාගර විසින් බව පසුව කියෑවෙන්නට වූ අතර මෙම ප්‍රහාරයත් සමග හීනටියන අසිතට මරණ බිය හොඳින්ම දැනී තිබුණු තිබූ බවට ඒ දිනවල මීගමුව බන්ධනාගාරයේ තැනින් තැන කියෑවුණු කතාවක්‌ද විය.

මෙම සිද්ධියත් සමග මාදූවේ පොඩි සාගරටද බන්ධනාගාරගත වන්නට වූයේ ගම්පහ ප්‍රහාරයේ සැකකරුවකු ලෙසිනි. එය අසිතගේ සිතටද සැනසුමක්‌ ගෙන දෙන්නක්‌ වී තිබිණි. ඒ සමගම ක්‍රියාත්මක වූ අසිත සිය සොයුරා යොදවා කටුනායක ප්‍රදේශයේ කප්පම් ගැනීමේ ජාවාරමක්‌ද දියත් කළේය.

බන්ධනාගාරගත අසිත මෙහෙයවූ මෙම කප්පම් ගැනීමේ ජාවාරමේදී සහ පෙර කළ වැරදි හමුවේ අසිතගේ මල්ලී වූ දේවකටද පසුව නොසිතූ පරිදි බන්ධනාගාරය තුළට යන්නට සිදු වූයේ කළ පව් පල දීමේ දහමට අනුවය. බන්ධනාගාරයට ගිය අසිතගේ සොයුරාද එහි නවාතැන කර ගත්තේ අසිත සිටි කුටියේම කොටසකි.

මේ වන විට දේවක ඇතුළු පිරිස එක්‌වී කළ අපරාධ රැසක්‌ද පොලිස්‌ පොත්වලට පමණක්‌ සීමා වී තිබූ අතර රුපියල් ලක්‍ෂයක කප්පමකට කෙහෙල්බද්දර අමිල මරා දැමීම, ජයවීර නමත්තකුගේ මස්‌සිනා කෙනකු ඝාතනය කිරීම ඒ අතරේ ඉදිරියෙන්ම විය.

ගත වූයේ කෙටි කාලයකි. මීගමුව බන්ධනාගාරය තුළම රඳවා සිටි සැකකරුවකු මාරාවේෂ වූවකු ලෙසින් පිටතින් රහසේ ලැබුණු ගිනි අවියක්‌ යොදා ගෙන ඉකුත් 2009 වසරේදී එල්ල කළ වෙඩි වරුසාවක්‌ මැද අසිත සහ ඔහුගේ සොයුරාට මීගමුව බන්ධනාගාරය තුළදී ජීවිතයෙන් සමුගෙන යන්නට සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. එය ජපන් ඩීල්ද භිරාන්ත කරවන්නක්‌ විය.

මෙම ප්‍රහාරය එල්ල කෙරුවේ මාදූවේ පොඩි සාගරගේ අවශ්‍යතාව මත මීගමුව ප්‍රදේශයේ ප්‍රකට පාතාලයකුව සිටි ෆේරෝස්‌ගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වූ චමින්ද නමැත්තකු බව මේ වන විට කියෑවෙමින් තිබෙන කතාවක්‌ වන්නේය.

මෙම ප්‍රහාරය එල්ල කළ චමින්ද එදිනම මීගමුව බන්ධනාගාරය තුළදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරු වැළඳ ගැනීමද මෙහිදී වූ තවත් සිදුවීමකි.

අසිතගේ මරණයත් සමග කටුනායක, හීනටියන සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල ජනතාව මාදූවේ පොඩිසාගර හඳුන්වන්නට වූයේ සරදියෙල් ලෙසිනි. පොඩි සාගර යනු පාතාලයට එරෙහිව නැගී සිටි චරිතයක්‌ සේ ප්‍රදේශවාසීන් අතර ප්‍රකටව සීටීම ඊට හේතු වී තිබිණි.

අසිතගේ මරණයත් සමග ජීවිතය බේරා ගැනීමේ උපක්‍රමයක්‌ සෙවූ ජපන් ඩීල් එහිදී කරනු ලැබුවේ කලකට ඉහත තමන්ගේම ගෝලබාලයන් විසින් මරා දැමූ ආනන්ද කණ්‌ඩායමේ ඉතිරිව සිටි එකම සාමාජිකයා වූ ජයතිලක සොයා ගොස්‌ සමාදානයට සාකච්ඡා කිරීම විය.

එහෙත් මෙහිදී ජයතිලක අවංකවම ජපන් ඩීල් සමග සමාදාන වීමට ඉදිරිපත් වුවද ඩීල් සිටියේ හක්‌කේ බුදුරැස්‌ බොක්‌කේ දඩමස්‌ න්‍යාය අනුගමනය කරමිනි. එහි ප්‍රතිඵලය වූයේ අද වන විට ජපන් ඩීල්ගේ පාතාල සගයන් අතර පෙරමුණේ සිටින ජීවන, සංඛ සහ මාතලන් නමැත්තන් විසින් ජයතිලක මරා දැමීම විය.

මෙකී පාතාල සගයන්ට රුපියල් ලක්‍ෂ දහයක මුදලක්‌ දී ජපන් ඩීල් මෙම ඝාතනය සිදු කරවූ බවටද අද කියෑවෙමින් තිබෙන කතාවකි. හීනටියන පාතාලයේ අලුත්ම නරුමයන් පිළිබඳ කතාව කරලියට එන්නේ මෙතැන් පටන්ය.

මේ ජපන් ඩීල් රුපියල් කෝටි ගණනක වංචාවක්‌ කරමින් නීතියෙන් බේරීම සඳහා විදේශයකට පැන යැමේ කතාවක්‌ද ඉකුත් කාලයේ කියෑවෙන්නට වූයේ සියලු සිදුවීම් මෙසේ සිදු වෙමින් තිබෙන අතරතුර විය.

රජයේ මන්ත්‍රිවරයකුටද කොලේ වසා ගැසූ එම ගේමේදී ජපන් ඩීල් කළ වංචාව රුපියල් කෝටි දොළහක්‌ පමණ බවද සඳහන්ය. මෙසේ දහසක්‌ කෙරුම් හමුවේ අද වන විට ප්‍රකෝටිපතියකු ලෙස දිවි ගෙවන ජපන් ඩීල්ගේ අලුත්ම පාතාල සගයන් වී සිටින්නේ කවුරුන්ද?

දීප්ත, සුසන්ත නොහොත් පොට්‌ටයා, මෙන්ඩියා, දේවක, ඔලන්ගා, ජීවන, රනිල්, සංඛ, චූකා සහ මාතලන් යන්වුන් එකී නරුම පිරිසට අයත් වෙති. මොවුන් මේ වන විට කර ඇති මිනිස්‌ ඝාතන ඇතුළු භිහිසුණු අපරාධ රැසක්‌ද වේ. ඒ අතරේ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඇති පදම් කප්පම් ගැනීම ජයටම කෙරෙන බවද පැහැදිලිවම සඳහන් වන්නකි.

ජීවිත ආශාව නිසාම මෙකී පාතාල කප්පම් ජාවාරම හමුවේ ඔවුන් නිහඬව සිටියද ප්‍රදේශයේ සැරිසරා රහසේ කරුණු විමසීමේදී තමන්ගේ අනන්‍යතාව සුරකින ලෙස ඉල්ලමින් එම ව්‍යාපාරිකයන්ම ඒ බව අපට කියා සිටියේ දුක්‌ මහන්සියෙන් උපයා ගන්නා තුට්‌ටු දෙක පාතාලයට පිදීමට සිදුව තිබීමේ කරුමයෙන් මීදීමේ මගක්‌ සොයන්නාක්‌ මෙන්ය.

කරන අපරාධ හමුවේ මොවුන්ගෙන් සමහර දෙනක්‌ මේ වන විට බන්ධනාගාරගතව පසුවන අතර සෙස්‌සන් අදටත් තවත් අපරාධ රැසකට කුරුමාණම් අල්ලමින් නිදැල්ලේ සිටී. එකී අපරාධ අතරේ මොවුන්ට එරෙහිව විමර්ශන රැසක්‌ සිදු කළ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරියකු ඝාතනය කිරීම ඇතුළු මිනිස්‌ ඝාතන කිහිපයක සැළසුමක්‌ තිබෙන බවද පොලිසියෙන්ම වාර්තා වේ.

මීට කලකට ඉහත මිනුවන්ගොඩ නිවාඩු නිකේතනයකදී හීනටියන පාතාලයේ වෛරක්‌කාරයකු යෑයි සැලකෙන පස්‌පොඩ්ඩා යෑයි රැවටී අහිංසක පුද්ගලයන් තිදෙනකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියක්‌ පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ පවත්වා අපරාධකරුවන් හඹා යැම ඉහත පොලිස්‌ නිලධාරියා මරා දැමීමට සැලසුම් කිරීමේ ප්‍රබල සාධකය වී තිබෙන බවද සඳහන් වේ.

මෙකී නරුමයන් හීනටියන පාතාලයේ මේ මොහොත වන විටත් ජපන් ඩීල්ගේ අනුහසින් රජ කරමින් සිටින බව අද කටුනායක සහ මිනුවන්ගොඩ පොලිසිද දන්නේය. එහෙත් ප්‍රදේශවාසීන්ගේ කරුමයටදොa ඒවායේ සිටින නිලධාරින්ට කිසිවක්‌ නොපෙනෙන්නේය.

ඔවුහු "බ්‍රේල්" ක්‍රමයට පොලිස්‌ පුහුණුව ලද්දවුන් සේ ඔහේ නිහඬවම සිටින්නේය. මීට මාසයකට පමණ ඉහත මේ නරුමයන් ලබාගත් බව කියන තවත් කොන්ත්‍රාත්තුවකට අනුව ආඬිඅම්බලම ප්‍රදේශයේ තරුණයකු මරා දැමුවේ පොලිසිය එසේ බකන් නිලා සිටින අතරේය.

අදටත් එකී තරුණයා මරා දැමීමේ සිද්ධිය අභිරහසකි. එහෙත් බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සේම කැලණිය කොට්‌ඨාසයේ ඡේෂ්ට පොලිස්‌ අධිකාරිවරයාද ආඬිඅම්බලම ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයේ පදිංචිව සිටියදීත් ආඬිඅම්බලමේදී මෙසේ තරුණයකු මරාදමා එය අභිරහස්‌ ඝාතන ගිණුමකට බැරවීම පිළිබඳ ජනතාව තුළ නම් පැහැදීමක්‌ ඇත්තේම නැත.

මේ සියලු දේ හමුවේ ඔවුන් කියන කතා බොහොමයකි. ඒ අතරේ ජපන් ඩීල්ගේ නීති විරෝධී ව්‍යාපාර රැසක තොරතුරුද කරලියේ තිබේ. කලකට ඉහත එල්ටීටීඊ සංවිධානයට, බද්ධ කළ වාහන අලෙවි කිරීමේ ජාවාරමක්‌ පිළිබඳවද ඒ අතර වේ. ඒද නිකම්ම නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනයට කුමණ්‌ත්‍රණ කිරීමේ චෝදනා යටතේ දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රකට පොලිස්‌ ලොක්‌කෙකු වන ලක්‍ෂමන් කුරේගේ නමද සමගිනි.

සියල්ල එසේ තිබියදී මෙකී පාතාල තක්‌කඩියන් වෙනුවෙන් පෙනී සිටින තැන දක්‌වා ඇතැම් චීවරධාරින්ගේ ශාසනික මෙහෙවර කරලියට පැමිණ තිබීම බුද්ධ ශාසනයේ මෙන්ම ජාතියේම අවසානාවක්‌ වී ඇතැයිද මෙහිදී සඳහන් කළ යුත්තකි.

අද කටුනායක හීනටියන පාතාලයේ අලුත්ම කතාව සටහන් වෙමින් තිබෙන්නේ එසේය. ප්‍රදේශයේ දේශපාලක උතුමනි, මේ කරුමයෙන් ඔබට කතිරය ගැසූ ජනතාව මුදා ගැනීමට හැකියාවක්‌ නොමැති නම් ඔබගේ දේශපාලනයෙන් රටට සහ ප්‍රදේශයට ඇති ඵලය කුමක්‌ද?

එසේම පොලිසියේ මහත්වරුනි. මේ තක්‌කඩින්ට එරෙහිව නැගී සිටින්නට කොන්දක්‌ නොමැති නම් පොලිසියේ රාජකාරියට ඔබතුමන්ලා ගැලපේද?

අද මේ කරුමක්‌කාරයන් නිසා විඳවන හීනටියන, කටුනායක සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශයන්හි ජනතාව භීෂණයට බියේ හඬක්‌ නොනැගුවද රහසේ අසන පැනය එය වී ඇත්තේය. එකී ජනතා පැනයට පිළිතුරු දිය හැක්‌කේ කාටද?

පූජිත බණ්‌ඩාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.