ගඩොල් පෝරණුව ඇඬුවත් අපෙ දුකට
මහත්වරුන්ගෙන් නැත කිසිවිට පිහිට


නියඟය පටන් ගන්නට ප්‍රථම සීතාවක පහළ හංවැල්ලට වැටී තිබුණු කුඩා වැහි වැල්ලෙහි දෙකෙහි සලකුණකුදු දකින්නට නොතිබුණේය. ගිනියම් හිරුගේ අකාරුණික කිරණ සැරෙන් පිළිස්‌සී දැඩි වී ගිය මහ පොළොවෙන් නැගී ආවේ දුඹුරු දුහුවිලි වලා කැරලි සමුදාවලියකි. ගස්‌ කොළන් පිසගෙන හමා ආ උණුසුම් වියළි සුළඟ අතර සිටි අපට පෙනුණේ, මේ ප්‍රදේශය දිළිඳු බවින් මිරිකුණු ජීවිත ඇති මිනිසුන් වෙසෙන පෙදෙසක්‌ බවයි.

පහළ හංවැල්ලෙ වැඩිහිටියන් බහුතරය කුලීකාරයෝ වූහ. ඔවුන්ගේ වෘත්තිය කවරේදැයි ඇසුවහොත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර වූයේ මැටි ගඩොල් කැපීමය. එහෙත් ඇත්තවශයෙන් නම් ඔවුන්ට තම ජීවිත වඩාත් සැපදායක කර ගනු පිණිස සිත් වේදනාවන්ගෙන් තොරව ගඩොල් කැට ටිකක්‌ සකසා ගත හැකි වූයේ අදින් අවුරුදු විස්‌සකට පමණ ඉහතකදීය. එකල ඔවුහු ඉහිංකනිං දාඩිය පෙරාගෙන ගඩොල් කැපීමට මැටි කැපූවේත්, ඒ මැටි අනා පදම් කොට අච්චුවට දැම්මේත් හිත අරා පුරා හඳක්‌ මෙන් නැඟුණු සතුටු සිතිවිලි අතරිනි. එහිදී විඩාව, නිදිමත මහන්සිය වෙනුවට ඇත්තෙන්ම ඔවුන්ගේ හිත පුරා ප්‍රීතිය වාං දමමින් තිබුණේය. එහෙත් අද දවසේ පහළ හංවැල්ලේ ජීවත් වෙමින් මැටි ගඩොල් කර්මාන්තය ජීවිතය කොටගත් මේ මහලු වැඩිහිටියන්ගේ ඒ තුටු පහටු සිතිවිලි සරින් උපන් සතුටු කඳුළු අතුරුදන්ව තිබුණේ හිරු දුටු පිනි කඳුළු මෙන්ය.

කාලය හෙමින් හෙමින් ගලා යන්නේ අලසව ගලා යන ගඟුලැල්ලක්‌ පරිද්දෙනි. හෙමි හෙමින් ගලන ඒ කාලයත් සමග සිදු වන වෙනස්‌වීම්වලට අප කාහට වුවද මුහුණදීමට සිදු වේ. සොබාදහමේ නියමයක්‌ වන එයට පිටුපාන්නට කිසිවකුටත් නොහැකිය. අනාදිමත් කාලයක පටන් සීතාවක පහළ හංවැල්ල ප්‍රදේශවාසීන්ගේ ගඩොල් කර්මාන්තයට එක්‌ අතෙකින් කණ කොකා හැඬුවේ සොබාදහම මගින් ඔවුන්ගේ ජීවිත ඉදිරියට ගෙනැවිත් දැමූ නොයෙක්‌ හේතූන් ද නිසාය. බොර වතුරට දහඩිය කඳුළු ද එක්‌කොට මැටි අනා සකස්‌ කරනු ලබන ගඩොලු කැට පරිපූර්ණත්වයට පත් වන්නේ ඒවා පෝරණු ගසා ගිනි දමා පිළිස්‌සීමෙන් පසුය. මැටි ගඩොල් පිළිස්‌සීම සඳහා අදින් එහා අවුරුදු පහළොවකට පමණ ඉහතදී ඇති තරම් දර සොයාගැනීම මහ අමාරු කාරියක්‌ වූයේ නැත. එතෙකුදු වුවත් වර්තමානයේ ගඩොල් කර්මාන්තයේ නියෑළෙන දුප්පත් මිනිස්‌සු බොහොමයක්‌ දර සොයා සපයා ගැනීමට අපහසු වූ මේ ප්‍රශ්නයෙන් දුක්‌දොම්නස්‌ රාශියකට මුහුණපා සිටිති. සීතාවක පහළ හංවැල්ලේ මේ දිළිඳු ග්‍රාමීය කර්මාන්තකරුවන්ට ද මේ විසඳාගත නොහැකි ප්‍රශ්නය ඉතා තදින් දැනී තිබේ. එදා දර යාරයක්‌ රුපියල් දෙතුන් සියයකට ගත හැකි වුවද අද එය රුපියල් දෙදහසද ඉක්‌මවා යන තැනකට පත් කර ඇත. සීමාවක්‌ නැතිව නිරන්තරයෙන් ඉහළ යන තෙල් මිල ආදී ප්‍රශ්නත් නිසා අමාරුවෙන් හෝ දර කැබලි ටිකක්‌ හොයා ගත්තද ඒ දර ටික සිය ගඩොල් පෝරණු වෙත අරගෙන එන්නට ජීවිතය උදෙසා සටන් වදින මේ අසරණ මිනිසුනට ඊටත් වඩා වැඩි මුදලක්‌ දිය කර හරින්නට සිදු වේ.

ගිනිමද්දහනයට වැදී පාරට වැටුණු කසිකබල් යතුරුපැදියක්‌ පවන් රැලි අතරේ වේගවත් ගමනක යෙදී ඈතින් ඈත ඇදී විසිරී පැතිරී නැති වී ගියේය. පහළ හංවැල්ලේ ගඩොල් පෝරණුවක්‌ පවත්වාගෙන යන ජී.ජී. යසරත්න අප එහි යන විටත් සිටියේ ඒ අසල වූ ගස යට ඇන තබාගෙන හිස්‌ බැල්මෙන් හිස්‌ අහස දෙස බලාගත්වනමය. ඔහුගේ සිත හිස්‌ව ගොස්‌ සැඟවුණු පාළුවකින් මෙන්ම සාංකාවකින්ද වෙලී තිබෙන්නාක්‌ මෙන් අපට පෙනිණි..

"අදට එහා ඉස්‌සර අපි ගඩොල් පුළුස්‌සන්න දර යාරයක්‌ ගත්තේ රුපියල් තුන්සීයට. ඒත් දැන් දර මිලත් උහුල ගන්න බැරි විදිහට ඉහළ ගිහින්. ඒ නිසා අපේ ගමේ ගඩොල් කැපීමට යොමු වෙලා හිටපු හුඟක්‌ අය වෙන වෙන රැකියාවලට යොමු වෙලා. "ඔහු තම ජීවන කර්මාන්තය කරගෙන යැමට එරෙහිව මතු වී තිබුණු අලුත් ආගන්තුක සම්බාධක ගණනාවක්‌ ගැනම විස්‌තර කළේ ඒ අයුරිනි.

මේ මිනිසුන් අතින් හැඩ වැඩ වී කැපී පිළිස්‌සුණු ගඩොල්වලින් තැනුණු මහා මන්දිර බොහෝය. එහෙත් තමන් ගඩොල් නිපදවන්නන් අතර විශිෂ්ටයන් වුවද ඒ ගඩොල්වලින් තැනූ ජනෙල් වීදුරු විනිවිද සඳ එළිය සාලයට ගලා හැලී වැතිරුණු අවම පහසුකම්වත් ඇති සොඳුරු නිවහනක්‌ ගොඩනඟා ගැනීමට පහළ හංවැල්ලේ මේ දිළිඳු මිනිසුන් බොහෝ දෙනකුට හැකියාව ලැබී නැත. ඒ තරමටම ඔවුන්ගේ ජීවන බර ඔවුන්ගේ ඉහටත් උඩින් නැගී වැසී පැතිරී තිබුණු නිසාය. සැබවින්ම මොවුන්ගේ මේ ජීවන චිත්‍රයේ වර්ණ සංයෝජනය මීට වඩා බෙහෙවින් අලංකාරවීමට ආණ්‌ඩුවට කොතෙක්‌ නම් දේ කළ හැකිව ඇත්දැයි අපට සිතුණේ මේ අසරණ මිනිසුන් කළ කී දේවලට සවන්පත් යොමාගෙන සිටියදීය. ආණ්‌ඩුවක්‌ රටක තිබිය යුත්තේ ද ප්‍රපාතයට වැටුණු මෙබඳු ජන ජීවිත ඔසවා තබා ඉන් ඉක්‌බිතිව ඔවුන්ද රටේ, ජාතියේ සංවර්ධනය සඳහා දායක කරගැනීමට එහෙත් එහි සිදු වී තිබුණේ ඊට වඩා වෙනස්‌ අනුකම්පා විරහිත සිදුවීමකි. ගිනි ගහන අව්වේ වේදනාව අනුභව කරමින් තම පණ නල රැක දෙන පහළ හංවැල්ලේ තවත් ගඩොල් පෝරණුවකට අත් තබාගෙන මොහොතක්‌ නිසලව සිටි නන්දතිලක ඒ ගැන කතා කරන්නට පටන් ගත්තේ බිඳුණු හඬකිනි.

"අපේ ගමේ මේ ගඩොල් කර්මාන්තය අද ඊයේ සිට පවත්වාගෙන එන එකක්‌ නොවෙයි. පරම්පරා ගාණක පටන් පවත්වාගෙන එන ග්‍රාමීය කර්මාන්තයක්‌. ඒත් දැන් මේකට ආණ්‌ඩුව තහංචි පනවන්න පටන් අරන්. භූ විද්‍යා හා පතල් කාර්යාංශය හඳුන්වාදීමට යන බලපත්තර ක්‍රමය ඒ එක තහංචියක්‌ තමයි. ඔවුන් මේ බලපත්තර ක්‍රමය හඳුන්වල දෙන්න යන්නෙ මැණික්‌ කර්මාන්තයයි ගඩොල් කර්මාන්තයයි දෙකම එකට අහුවෙන විදිහට. ආණ්‌ඩුවේ මේ බලපත්තරය ලබාගන්න නම් ගඩොල් කැපූ පරණ මැටි වළවල් වහලා අපි ආණ්‌ඩුවට පෙන්වන්න ඕනෑ. මේ මහ වළවල් වහන්න තවත් කොහෙන්හරි ඈතකින් අපි පස්‌ වාහනවල පටවාගෙන අරං එන්න ඕනෑ. එතකොට ඒ කපපු වළෙන් ලැබුණු ආදායමට වඩා හතර පස්‌ ගුණයක මුදලක්‌ මේ පරණ වළවල් වහන්න අපට වියදම් කරන්න වෙනවා. මෙහෙම කරන්න ගියොත් මේ ගඩොල් පෝරණු ඔක්‌කෝම වහල දාන්නයි අපට වෙන්නෙ."

කේ. ඒ. ඩී. එස්‌. ඒ. අතුකෝරල මහත්මියද ගඩොල් වැඩ සඳහා තම පෝරණුවට ඇදෙන්නේ හිරු නැඟෙන්නටත් කලින්ය. ඉන් පසුව උදේ රැඳි අව්රැල්ලේ පටන් සැඳෑ සමයේ තඹ පාට හිරු රැස්‌ ලෝකය ගිලගන්නා තෙක්‌ම පෝරණුවේ දහඩිය කඳුළු වගුරු වන ඇය පහළ හංවැල්ලේ ගඩොල් වැඩවලට හඬා ඇති කණකොකා ගැන කතා කළේ වේදනාබර ස්‌වරූපයකිනි.

"ස්‌වයං රැකියාවක්‌ විදිහට අපි පවත්වාගෙන ආ මේ පාරම්පරික කර්මාන්තෙ නවත්තන්න රජය අත්තනෝමතිකව බලපත්තර ක්‍රමයක්‌ හඳුන්වා දෙන්න යනවා. ඒකෙන් වෙන්නෙ මේ ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමි වෙන එක. අපි මේ ගැන සීතාවක ප්‍රාදේශීය සභාවට යෝජනාවක්‌ ඉදිරිපත් කළා. එය පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සම්මත වුණා."

කෙසේ වෙතුදු කලකට ඉහතදී මේ ප්‍රදේශයේ ගඩොල් පෝරණු සියයද ඉක්‌මවා තිබී ඇත. එහෙත් මේවා පවත්වාගෙන යැමට නොහැකි වන සේ කලින් කලට මතු වන විවිධාකාර උභතෝකෝටික ප්‍රශ්න නිසාත්, ඒවා නිරාකරණය කරදීමෙහිලා මැදිහත්වීමට වගකිවයුතු මට්‌ටමේ බුද්ධිමතුන් නැති නිසාත් එම පෝරණු අතළොස්‌සක්‌ බවට පත්වී ඇති අතර දහස්‌ ගණනකට රැකියාද අහිමි වී තිබේ. මෙවැනි තැන් ජාතික ප්‍රශ්න බවට පත් වන්නේ ඉන් ඉක්‌බිතිවය. එනම් සිය ගණනාවක්‌ව තිබුණු ගඩොල් පෝරණු මෙසේ අතළොස්‌සක්‌ වන විට ගඩොල් මිලද හිතූ හිතූ පරිදි තීරණය වනු ඇත. එයින් සිදුවන්නේ රටේ බොහෝ පිරිසකට ඇති කුඩා හෝ නිවහනක්‌ තනාගැනීමේ බලා පොරොත්තුවද සිහිනයක්‌ බවට පත් වීමයි.

සුගත් වීරසුරිය
පසුබිම හා ඡායාරූප - තල්දූව අංජුල නිශාන්ත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.