වෙසක්‌ සමයේ බෙදාහදා ගැනීම



පූජ්‍ය ගල්බොඩ සිරි ඤාණිස්‌සර නායක ස්‌ථවිර
(ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)

ලංකාවේ සියලු ජාතීන්, ආගමිකයන්, විදේශවලින් පැමිණෙන පිරිස්‌ එකට එක්‌ව නරඹන, නරඹා සතුටුවන, ආදර්ශයක්‌ ලබාගන්නා ආගමික උත්සව අතර පළමු තැන ගන්නේ වෙසක්‌ උත්සවයයි. ඒ වෙනුවෙන් ඉදිවන වෙසක්‌ තොරණ සහ සැරසිලියි.

මේ සඳහා යෙදෙන ක්‍රියාදාමය තුළින් ආර්ථික ලාභයක්‌ ලබන එකම පිරිස දුප්පත් ජනතාවයි.

සැරසිලිවලින් සහ කොඩි - තොරණ සහ කූඩුවලින් දුප්පත් ජනතාවගේ ශ්‍රමයට ලොකු ශක්‌තියක්‌ ලැබෙන බව බොහෝ අය නොදනිති.

දුප්පත් - පොහොසත් භේදයකින් තොරව ආහාර සහ විවිධ සංග්‍රහ තුළින් ඇති නැති භේදය අඩුවන අතර දුප්පත් ජනතාවට වේල් කිහිපයක්‌ හෝ නොමිලේ ආහාරපාන ලැබීම විශේෂත්වයකි.

තොරණ සහ වෙසක්‌ ප්‍රදර්ශන තුළින් යහපත් ජන ජීවිතයකට සම්බන්ධ තොරතුරු විස්‌තර කෙරෙයි. එමගින් රටේ ජනතාව තුළ හික්‌මීම, පුද්ගල සංවර්ධනය, ආර්ථිකය සහ ජීවන රටාව සකස්‌ කර ගැනීමට ලැබෙන පිටිවහල අතිමහත්ය.

කොළඹ නගරයේ එකම පෙරහැරක්‌වත් නොපැවැත් වුණ අවස්‌ථාවක 1979 වසරේ නවම් මහා පෙරහැර ආරම්භ විය. පිටකොටුවේ එළවළු සහ මාළු මාර්කට්‌ වැනි ස්‌ථානවල තිබූ තොරණ ද පසු කලෙක අභාවයට පත්විය.

එම්. ඩී. ගුණසේන පොත් සාප්පුවේ අයිතිකරු නැති වුණේ වෙසක්‌ සමයකය. එදා සිට ගුණසේන සමාගමේ තොරණ ද නතර විය.

සුළු තොරණ කිහිපයක්‌ පමණක්‌ ඉතිරි විය. එවන් සමයක ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය අරඹා ඒ දරුවන්ගේ ශ්‍රමයෙන් තොරණ ඉදිකර කොළඹ නගරයේ නැවත වෙසක්‌ සමයක්‌ ඇරඹීමට මුල් වූයේ ගංගාරාමයයි. ඉන් පසුව බොහෝ පන්සල් සහ පෞද්ගලික ස්‌ථාන වෙසක්‌ සැරසිලිවලින් අලංකාරවීම සතුටට කරුණකි.

මේ අයුරින් වෙසක්‌ සමය අර්ථවත් වී අද කොළඹ නගරයේ විවිධ ස්‌ථානවල ආරම්භ වූ වෙසක්‌ සැරසිලි නිසා ලංකාවේ ජනගහණයෙන් විශාල පිරිසක්‌ කොළඹට පැමිණ වෙසක්‌ නැරඹීම සමගියෙන් අහිංසක සතුටක්‌ ලැබීම ලංකාවේ අනාගත පරපුරට සිදුවූ විශාල යහපතක්‌ ලෙස පෙනේ.

විශේෂයෙන් බේරේ වැව ආශ්‍රිතව අතිගරු ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ අදහසක්‌ මත ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, බේරේ වැව සහ ගංගාරාමය මුල් කරගෙන "බුද්ධ රශ්මි" නමින් වෙසක්‌ වැඩසටහනක්‌ ඇරඹිණ. මෙවර 06 වැනි වරට පැවැත්වූ මේ වෙසක්‌ පිංකමට ඒකරාශී වූ ජනගහනය අති විශාලය. සියලු ජාතික, ආගමික පිරිස්‌ මේ සැරසිලි නිර්මාණ දැකබලා සතුටු වූහ.

මුළු රාත්‍රිය පුරා දවස්‌ 07 ක්‌ මේ වෙසක්‌ සැරසිලි නැරඹූ පිරිස ලක්‍ෂ සංඛ්‍යාතය. නිර්මාණ ඉදිරිපත් කළ පිරිස 250 ක්‌ ඉක්‌ම වූහ. ඒ පිරිස්‌ විවිධ චරිත ඇති පුද්ගලයන්ය.

දෙදෙනකු ගහ බැණ ගැනීමක්‌ - කලකෝලාහලයක්‌ - සොරකමක්‌ - අනතුරක්‌ නැතිව මේ කටයුත්ත ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත් විය. දහවල් කාලය පුරා ද විදුලි අලංකාර නොමැතිව වෙසක්‌ සිරි නැරඹූ පිටිසර ජනතාව ද බොහෝ විය.

කෙසේ හෝ දුප්පත් 04 දෙනකුට කුඩා ලොරි රථ 02 ක්‌, ත්‍රිරෝද රථයක්‌ සහ යතුරුපැදියක්‌ තෑගි ලැබිණ. මේ සඳහා ඉදිරිපත් වූ සියලුම නිර්මාණකරුවන්ට ලක්‍ෂ 55 ක පමණ මුදලක්‌ ප්‍රසාද දීමනා ලෙස පිරිනැමිණ.

ශ්‍රීමත් ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේදී දුන් වෙසක්‌ දන්සලට පැමිණි පිරිස දිනකට පහළොස්‌ දහස ඉක්‌මවීය. එසේ දින 07 ක්‌ දුප්පත්-පොහොසත් භේදයකින් තොරව උදේ පහන් වනතුරු ආහාරයෙන් පමණක්‌ නොව එකට එක්‌වීමෙන් සතුටක්‌ ලැබූහ. ශ්‍රීමත් ජනාධිපතිතුමා තම අතින්ම ආහාර බෙදාදෙමින් ජනතාව සමග සතුටෙන් එක්‌වීම ද වැදගත් කරුණක්‌ විය. මේ වෙසක්‌ වැඩසටහන සාර්ථක කරලීම පිණිස නිර්මාණ සපයාදීමෙන් දිවා-රාත්‍රි වෙහෙස වී ක්‍රියා කළ පිරිස්‌ බොහෝය. ස්‌වෙච්ඡාවෙන් මෙම කටයුත්තට ඉදිරිපත් වූ පිරිස ඒ තුළින් විශාල තෘප්තියක්‌ ලැබූහ.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කොළඹ නගරයේ රජයේ සහ පෞද්ගලික පාසල්වල දරුවන්, කාර්මික විදුහලේ සිසු දරුවන් දිවා-රෑ කැපවීමෙන් ක්‍රියා කළහ. විදුලිබල මණ්‌ඩලය, කොළඹ මහ නගර සභාව, ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය මුළු කොළඹ නගරයේම වෙසක්‌ සැරසිලි හා තොරණ සාර්ථක කරලීම පිණිස දැක්‌වූ සහයෝගය අගය කළ යුතුව ඇත.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ උනන්දුව වෙනදාටත් වඩා මෙවර විශේෂ විය. ජාති-ආගම් භේදයකින් තොරව ඔවුන් මෙම කටයුතු සාර්ථක කරලීම පිණිස ඒකරාශී වූහ. රටේ ඉදිරිය ගැන සිතන විට එය අතිශයින් සුබවාදී යෑයි හැඟේ. වෙසක්‌ තුළින් ඇතිවිය යුත්තේ තරගයක්‌ නොව ඔවුනොවුන් අතර ඇති මේ සුහදශීලී සහජීවනයයි. වෙනත් වචනයකින් පවසන්නේ නම් බෙදා හදා ගැනීමයි. ඒ වෙනත් කිසිවක්‌ නොව සතුට හා සමගියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.