පමා නොවී එළකිරි බොමු මෙයින් මතූ...

අපේ රටේ කිරි ආහාර
සංස්‌කෘතියක්‌ ගොඩනැඟීමට නම්...



ආචාර්ය ආර්. එම්. සී. දේශප්‍රිය

පසුගිය දිනවල අන් කවරදාකටත් වඩා වැඩියෙන් අපි මේ රටේ කිරි නිෂ්පාදනය ගැන කතා බහ කරන්නට පටන් ගත්තෙමු. ඊට හේතුව වූයේ පිටරටින් මෙරටට කිරිපිටි ගෙන්වන සමාගම් විසින් යළිත් වතාවක්‌ ජනතාවට දැනෙන මිලකින් කිරි පිටි මිල ඉහළ දමා තිබීමයි.

මේ නිසා කලබලයට පත්වූ පාරිභෝගිකයෝ සිතුවේ දැන්නම් අපි කිරිපිටි බීවා හොඳටෝම ඇති කියාය. ඒ ඇවිලෙන ගින්නට පිදුරු දමමින් රජයේ ඇතැම් වගකිවයුතු අංශ කියා සිටියේ වහාම මේ රටේ ජනතාව පිටරටින් ගෙන්වන පිටිකිරි වර්ග බීම නවතා මේ රටේ කිරි ගොවියා නිපදවන දියර කිරි පානයට ගැනීම ආරම්භ කළ යුතු බවයි.

ඒත් සමගම කිරි ප්‍රශ්නය ගැන රටේ ලොකු කතිකාවක්‌ ඇතිවිය. ඉතා දිගු කලක්‌ තිස්‌සේ හුරුපුරුදුව සිටි කිරිපිටි භාවිතය හිටි හැටියේ නතර කළ හැකිද, කිරි පිටි භාවිතය නතර කළ විට ඒ හිස්‌තැන පිරවීමට තරම් රටේ දියර කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් වේ ද. ඉල්ලුමට සරිලන සැපයුමකට යා හැකිද. දියර කිරි ලබාගන්නේ කොහෙන්ද? ඒ කෙසේද යනාදී වශයෙන් මේ කතිකාව තුළ ප්‍රශ්න පත්තරයක්‌ම පැන නගින්නට පටන් ගෙන තිබිණි.

ඉල්ලුමට සරිලන කිරි නිෂ්පාදනයක්‌ රටේ නැතැයි යන අදහස තහවුරුවෙමින් තිබෙන අතර කොටගල ප්‍රදේශයේ කිරි ගොවියෝ මහ අලකලංචියකට මුහුණ පෑහ. ඔවුහු ඔවුන්ගේ නිෂ්පාදනය විකුණා ගත නොහැකිව තම කිරි නිෂ්පාදනය පාරවල් දිගේ ගලා යන්නට හරිමින් ජන මාධ්‍ය වල අවධානය දිනාගන්නට උත්සාහ කළේ තමන් නිපදවන කිරි මිලදී ගන්නට හෝ රටපුරා බෙදා හරින්නට සුදුසු ක්‍රමවේදයක්‌ නැති බව රටේ ජනතාව වෙත සන්නිවේදනය කරවමිනි.

දැන් අපේ කතිකාව අලුත් මාවතකට ප්‍රවේශ වී තිබේ. හිතුවක්‌කාර ලෙස කිරිපිටි මිල වැඩිකරන තරමට ඊට අවනතව හැමදාම පිටරටින් ගෙන්වන කිරිපිටිම බොන්නට ජනතාවට හැකියාවක්‌ නැත. ජනතාව විකල්පයක්‌ තෝරාගත යුතුව තිබේ. නැතහොත් විකල්ප මගක්‌ තෝරාගත යුතුව තිබේ. එක්‌කෝ කිරිපිටි බීම අතහැර දැමිය යුතුය. නැත්නම් ලංකාවේ නිෂ්පාදිත අඹේවෙල කිරි පිටි වර්ගයකට හෝ පැල්වත්ත කිරි පිටි වර්ගයකට හුරුවිය යුතුය. එත් නැත්නම් දියර කිරි පානය කිරීමට හිත හදා ගත යුතුය.

මෙතනදී මතුවන අනෙක්‌ බරපතල ප්‍රශ්නය වනුයේ පහසු මිලට දියර කිරි ලබාගැනීමට ලංකාවේ පාරිභෝගිකයන්ට නිසි මාර්ගයක්‌ නොවීමය. විවිධ සුපිරි වෙළෙඳ සල්වල විවිධ වෙළෙඳ නාම යටතේ හොඳ දියර කිරි වර්ග වෙළෙඳපොළේ තිබෙන බව සැබෑය. නමුත් ඒවායේ මිල ඉහළය. එම කිරි වලට ගෙවන මිල හා ඒවා ඒකක වශයෙන් පරිභෝජනය කළ හැකි කාලය සස¹ බලන විට බැලූ බැල්මට පේන්නේ සුපර් මාර්කට්‌ වලින් දියර කිරි ගන්නවාට වඩා කිරිපිටි භාවිතය බොහෝ සේ ලාභදායී බවය. පහසු බවය.

රජයත් යම් යම් වගකිව යුතු ආයතනත් දියරකිරි භාවිතය මේ රටේ ප්‍රචලිත කළ යුතු බව කියන්නේ මෙන්න මේ පසුබිමේ රට තිබියදීය.

මේ ගැන කතා කරන්නට ගිය අපට මේ රටේ කිරි කර්මාන්තය පිළිබඳ උගතුන් කිහිපදෙනකු කීවේ පළමුව අපි මේ රටේ එළකිරි පරිභෝජන සංස්‌කෘතියක්‌ ආරම්භ කළ යුතු බවය. ඒ තුළ ජනතාව එළකිරි භාවිතයට හුරුපුරුදු වූ පසුව දියර කිරි ප්‍රචලිත කිරීම අපහසු නැති බව ඔවුහු කියති.

සැබැවින්ම අප රටේ ගව සම්පත හා බැඳුණු සංස්‌කෘතියකට මහජනතාව හුරු පුරුදුව සිටියේ ඉස්‌සරය. එදා සෑම ගෙදරකම ගවයකු සිටින්නට ඇත. අතීතයේ ජනයා ආහාර පිසින්නට ගත්තේද පොල්කිරි හෝ පොල්තෙල් නොව එළකිරි හා ගිතෙල්ය. අපේ රටට පොල් ගෙඩිය ආවේද පොල් භාවිතය හඳුන්වා දුන්නේද මෑතකය.

රුවන්වැලිසෑය ඉදිකරන සමයේ දුටුගැමුණු රජතුමා ශ්‍රමිකයන්ට සංග්‍රහ කළ ආහාර ලැයිස්‌තු පිළිබඳ අභිලේඛන ඇත. ඒවායේ පරිදි ශ්‍රමිකයන්ට "කඡ්ජා බොඡ්ජා ලෙයියා පෙයියා" ලෙස ආහාර වර්ග 4 ක්‌ දී ඇත. විකා කන්නට සපා කන්නට ලෙවකා කන්නට හා බොන්නට දී ඇති මේ බොහෝ ආහාර සාදා තිබුණේ එළකිරි භාවිතයෙනි. පොල් කිරි එදා අහලකවත් තිබූ බවට සාක්‍ෂි නැත.

අපේ රටේ අතීතයේ සිට පැවත එමින් තිබූ එළකිරි සංස්‌කෘතිය අප කෙරෙන් ඈත්ව ගියේ යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයත් සමගය. අපේ තිබූ සාම්ප්‍රදායික සරල පරිභෝජන රටාව වෙනස්‌ වූයේ ඔවුන් නිසාය. පසුකලෙක එළකිරි වෙනුවට පිටි කිරි අපට හුරුකළේද ඔවුන්මය. අද අපි සිටින්නේ සුද්දොa අපට පුරුදු කළ දේවල් වලින් මිදෙන්නට බැරිවය.

සුද්දා අපිට කළ දේම ඉන්දියාවටද කරන්නට උත්සාහ කළේය. එහෙත් ඒ වෑයම ඉන්දියාවේ අසාර්ථක වූයේ ඉන්දියාව තුළ ඇටුවම් බැහැගෙන තිබූ ශක්‌තිමත් සංස්‌කෘතිය නිසාය. ගවයා ඒ සංස්‌කෘතියේ දෙවියකු දේව දූතයෙකු බඳු වීය. ඒ නිසා ඒ ගවයාගේ කිරට ලැබුණේද පූජනීයත්වයකි. අමාවට මෙපිට ඇති වෙනමම ආකාරයක වටිනාකමකි.

මේ නිසා එළකිරි අද ඉන්දියාවේ ප්‍රධානතම පානයකි. එළකිරි මගින් සාදන නොයෙකුත් ආහාර ප්‍රධානතම ආහාරයි. ඉන්දියාවේ කිරිවලින් නිපදවන ආහාර වර්ග බොහෝය. ඒ නිසාම අද ලෝකයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදිතයා වී ඇත්තේද ඉන්දියාවයි. ඉන්දියාවේ සියල්ලටම වඩා වඩාත් කැපී පෙනෙනුයේ ජාතික කිරි නිෂ්පාදනය සෑම ගෙදරකටම බෙදාහැරිය හැකි යාන්ත්‍රණයක්‌ ඒ රටේ ක්‍රියාත්මකව තිබීමය.

ඉන්දියාව වගේ වීමට ඊට ආසන්නම රට වන අපිට බැරි ඇයි?

මේ ප්‍රශ්නයට උත්තර දෙමින් අපේ රටේ කිරි ආහාර සංස්‌කෘතියක්‌ ගොඩනඟන අයුරු ගැන මා සමග කතා බහ කළේ ලංකාවේ සත්ත්ව පාලනය පිළිබඳ විද්වතෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සත්ත්ව පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්. එම්. සී. දේශප්‍රියයි. ඔහු මෙසේ සිය අදහස්‌ ප්‍රකාශ කරන්නට පටන් ගත්තේය.

මුලින්ම කියන්න ඕන. අපේ රටේ දියර කිරි බොන සංස්‌කෘතියක්‌ ඇති කිරීමට නම් මේ විදියට බැහැ. පහසුව නිසාත් ලාභය නිසාත් පහසුවෙන් ලබාගත හැකි නිසාත් අපේ රටේ ජනයා අද කිරි පිටි බොන්න පුරුදුවෙලායි ඉන්නේ. මුලින්ම කරන්න ඕනදේ තමයි මේ අයව දේශීය කිරි පිටි වර්ගයකට පුරුදු කරන ඒක. අද ලංකාවේ අඹේවෙල පැල්වත්ත වගේ තැන්වල දේශීය කිරි පිටි හදනවා. පිටරටින් ගේන කිරි පිටි වලට වඩා ඒවා ගුණයි. µeට්‌ එක හෝ අනෙකුත් යහගුණයක්‌ ඉවත් කරලා නැහැ. පිටරටින් ගේන පිටි කිරි වලට වඩා හුඟක්‌ ලාභයි.

අන්න ඊට පස්‌සේ අපට පුළුවන් පිටරටින් ගේන කිරි පිටි නතර කරන්න. හැබැයි රටේ අවශ්‍ය ඉල්ලුමට සරිලන කිරි පිටි නිෂ්පාදනයක්‌ මේ රටේ ඇතිකළ යුතුයි.

දියර කිරි වුණත් රටේ හැම දෙනාටම සරිලන ලෙස ඉල්ලුමට සමාන සැපයුමක්‌ දෙන්න හැකිවේදැයි කියලා අපට කියන්න අමාරුයි. මොකද අපේ ගණන් මිනුම් වලට අනුව ලංකාවේ කිරි ගවයන් ඉන්නේ ලක්‍ෂ 6 ක්‌ 7 ක්‌ විතර. ඉනුත් කිරි ගන්නා තත්ත්වයේ ගවයෝ ඉන්නේ ලක්‍ෂ 3 ක්‌ 3 1/2 ක්‌ විතර බව අපි දන්නවා. ඒ වුණාට අදාළ රාජ්‍ය ආයතනයේ බලධාරීන් කියනවනේ මේ රටේ කිරි ජාතික අවශ්‍යතාවෙන් 45% ක්‌ සම්පූර්ණ වෙලා තියනවා කියලා. එහෙමනම් අපට පුළුවන් මේ තියන කිරි නිෂ්පාදනය දෙගුණ කරලා මුළු රටටම සෑහෙන ප්‍රමාණයකට කිරි නිෂ්පාදනය වැඩිකර ගන්න.

කිරි නිෂ්පාදනය වැඩි කරල විතරක්‌ දියර කිරි රටේ ප්‍රචලිත කරන්න බැහැ. අපි ජනතාව තුළ කිරි බීමේ පුරුද්දක්‌ ඇති කරන්නත් ඕන.

අපේ හුඟදෙනෙක්‌ පුරුදු වෙලා තියෙන්නේ කිරි බොන්න නෙවෙයිනේ. තේ බොන්න. කරන්නේ තේ එකට පිටි හැඳි දෙකක්‌ සීනි හැදි දෙකක්‌ දාලා තේ එක රස කර ගන්න එක විතරයි. හැබැයි අපි කිරි බොනවා කියන එකෙන් අදහස්‌ කරන්නේ නම් ඕක නොවෙයි.

ඉන්දියාවේ කිරි බොනවා කියල කියන්නේ තේ එකට කිරි ටිකක්‌ දාලා බොන එකට නොවෙයි. උදේ කිරි කෝප්පයක්‌ බොන එකට. ඒක හොඳ ආහාර වේලක්‌. අනෙකුත් බටහිර රටවලත් කිරි බොනවා කියන්නේ ඒකට. අපේත් ඒ පුරුදු ඇතිකර ගන්න ඕන. අපේ ගම්වල සමහර අය අදටත් ඔය විදියට කිරි බොනවා. ඉස්‌සර නම් හැමෝම බිව්වා. නමුත් ඒක පස්‌සේ කාලේ සහමුලින්ම නැති වුණේ සමහර අයගේ වැරදි උපදෙස්‌ නිසා.

සමහර දොස්‌තරලා අද කෙළින්ම කියනවානේ. එළකිරි බොන්න එපා කියලා. එළකිරි බිව්වාම සෙම කියල කියනවනේ. එයාලා බැඳිලා ඉන්නවා ජනතාව එළකිරි බොන එකෙන් වළකලා කිරි පිටි බොන්න පුරුදු කරවන්න.

ආචාර්ය දේශප්‍රිය කීවේ කටේ මසුරන් දැමිය යුතු කතාවකි. මේ රටේ දොස්‌තරලා බොහොමයක්‌ කරන්නේ රටට ජාතියට අවශ්‍ය දේ කිරීමට වඩා තමන්ව රැකබලා ගන්නා බහු ජාතික සමාගම්වල ඕනෑ එපාකම් ඉටුකිරීමයි. බහු ජාතික සමාගම්වලට වුවමනා රටේ ජනතාව කිරි බීමට පුරුදු කරවීම නොව පිටි කිරි බීමට හුරු කරවීමය. එම කටයුත්ත අපේ දොස්‌තරලා අකුරට ඉටුකරමින් සිටිති.

එපමණක්‌ නොව, අපේ රටේ ජනතාවට ඇඹුල් කෙසෙල්, කන්නට එපා කළේද දොස්‌තරලාය. දරුවන්ට ඇඹුල් කෙසෙල් දෙන්නට එපා, සෙම යෑයි කියන ඔවුන් වැඩකට නැති සීනි කෙසෙල් වර්ගයකට රට හුරුකර ඇඹුල් කෙසෙල් සංහාරයකට උරදී සිටින බව කියන්නේ වේදනාවකිනි. එසේම වරක්‌ ඔවුන් පොල්තෙල් වල කොලොස්‌ට්‍රොaල් ඇතැයි කියමින් ජනතාව µdම් ඔයිල් හෝ එළවළු තෙල් කන්නට හුරුකරවූ අයුරු අපට මතකය. දොස්‌තරලා තවත් විටෙක රටේ ජනතාවට බිත්තර කන්නට එපා කියන්නටද ගියහ. දැන් ඔවුහු ජනතාවට යෝගට්‌ කන්නට එපා කියති. කිරි පැණි ටිකක්‌ කන්නට එපා කියති. තව තව බොහෝ දේ කියති. එහෙත් අප ඒ සියල්ල දෙස බැලිය යුත්තේ කල්පනාවෙනි.

ඊළඟට මම ආචාර්ය දේශප්‍රියගෙන් ඇසුවේ එළකිරි වල සෙම යෑයි කියන කතාව බොරුවක්‌ ද කියාය.

ඒක සාපේක්‍ෂයි. ඉස්‌සර අපි එළකිරි වීදුරුවක්‌ උදේට බිව්වානේ. දවසම එළකිරි සමග හුරුවුණ ආහාර රටාවක්‌ භුක්‌ති වින්දා. ප්‍රශ්නයක්‌ නැහැ.

නමුත් අද එක පාරටම කෙනෙක්‌ එළකිරි වීදුරුවක්‌ බීල දවල්ට මුදවපු කිරි ටිකක්‌ එහෙම කෑවාම යම් යම් සංකූලතා ශරීරයේ ඇතිවන්න පුළුවන් සමහරුන්ට. එළකිරි වල තියෙනවා "ලැක්‌ටෝර්ස්‌" කියලා සංඝටකයක්‌. සමහරුන්ට එක පාරටම එළකිරි බිව්වාම ඒ සංඝටකය ජීර්ණය කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය ශරීරයේ නැතිවෙන්න පුළුවන්. එහෙම අයට තරමක්‌ බුරුලට බඩ එළිය යැම, සෙම ආසාදන ඇතිවීම වගේ ක්‍ෂණික වෙනස්‌කම් ශරීරයේ ඇති විය හැකියි. හැබැයි දිගටම ඒකට දින ගණනක්‌ හුරු වුණොත් ශරීරය ඒකට හැඩ ගැහෙනවා. මේක එළකිරි වලට විතරක්‌ නොවෙයි. ඕනම දේකට එහෙමයි. ඒක නිසා එළකිරි බිව්වාම බඩ එළිය යනවා. සෙම හැදෙනවා කියන කතා විහිළු. අපි ඒකට හුරු වෙන්න ඕන.

අපට ප්‍රශ්නය තියෙන්නේ ඒක නොවෙයි. කොහොමද දියර කිරි නිෂ්පාදනය වැඩි කරලා රටපුරා ග්‍රාමීය මට්‌ටමෙන් බෙදා හරින්නේ කියන එකයි.

ඊළඟ කාරණය තමයි එළකිරි නිෂ්පාදනය තුළ දියර කිරි වලට විතරක්‌ ගිහිල්ලා මදි. එළකිරි යොදවලා හදා ගන්න විවිධ කිරි ආහාර තියෙනවා. බිස්‌කට්‌ වර්ග තියෙනවා. ඉන්දියාවේ විවිධ අතුරුපස තියෙනවා. බයිට්‌ වර්ග තියෙනවා. අපි අන්න ඒ වගේ නිෂ්පාදන වලටත් යන්න ඕන. චීස්‌, බටර්, යෝගට්‌ වගේ දේවල් වලට හා මුදවපු කිරි වලට අමතරව.

ඉන්දියාව කිරි යොදාගෙන විශාල අතුරුපස ප්‍රමාණයක්‌ අතුරු ආහාර නිෂ්පාදන ප්‍රමාණයක්‌ හදනවා. එහේ තියෙනවා. පන්නීර්, දගී, ලසී, ගුලාබ්, ජමාට්‌, කෝහා වැනි අතුරු පස වර්ග ඉතාම ගුණයි. ඒවගේම මිහිරි රසින් යුක්‌තයි. මේ හැම දෙයක්‌ම කරන්න ඉන්දියාවේ පහසුකම් තියෙනවා. පර්යේෂණ ආයතන ඉන්දියාවේ තියෙනවා. ජාතික ක්‍ෂීර තාක්‍ෂණ පර්යේෂණ ආයතනය කියල එකක්‌. හරිම වැදගත් ආයතනයක්‌ මේ ආයතනය. විශ්වවිද්‍යාලයක්‌ වගේ. පර්යේෂණ කරනවා විතරක්‌ නොවෙයි. උපාධිධාරීන් හා පශ්චාත් උපාධිධාරීන් බිහි කරනවා.

ඉන්දියාව තුළත් කිරි පිටි කර්මාන්තය තියෙනවා. නමුත් ඒක අපේ රටේ තරම් ප්‍රචලිත නැහැ. ජනතාවගේ ලොකු ඉල්ලුමක්‌ නැහැ. ලංකාවෙනේ වෙළෙඳ දැන්වීම් වලින් ජනතාව රටට්‌ටන්නේ කිරි පිටි වර්ග වලින් රුව වඩවනවා ලස්‌සන පාට සමක්‌ ඇති කරනවා. මොළේ වඩවනවා කොන්ද ශක්‌තිමත් කරනවා කිය කියා ඉතින් මිනිස්‌සු රැවටෙනවා.

ආචාර්ය දේශප්‍රිය කියන්නේ දැන්වීම් වලින් පෙන්නන යහගුණ කිසිදු පිටි කිරක නැති බව නොවේද. එසේ නම් අපි පළමුවෙන්ම විමසා බැලිය යුතු කාරණය වන්නේ පිටරටවලින් ගෙන්වන කිරි පිටි වර්ග වල අපි අපේක්‍ෂා කරන යහගුණය තිබෙනවාද කියාය. අපි දන්නා පරිදි අපට කිරිපිටි ගෙන්වන පිටරටවල කිරි පිටි සාදන්නේ අපේ රටේ රජයේ ආපන ශාලාවල පොල්සම්බෝල සාදන ක්‍රමවේදයටය.

අපේ කැන්ටින්වල පොල් සම්බල් හදන්නේ පොල් ටික හොඳට හෝදලාය. පොල් සේදූ වතුර ටික කිරිබතට කිරිහොද්දට හෝ පරිප්පු හොද්දට දමන ඒ සූපවේදියෝ සෝදා පිරිසිදු කරගත් පොල් ටික යොදන්නේ පොල් සම්බලටය. කිරි ගතිය නැතිවූ පොල් රොඩ්ඩ රස කරවන්නේ රස කාරක යෙදීමෙනි.

ඒ අයුරින් කිරි නිෂ්පාදන කරන බොහෝ දියුණු රටවල් කිරි පිටි කියා අපේ රටට එවන්නේ කිරිවල රොඩ්ඩය. ඒ කිරෙහි ඇති යොදය හා යහගුණය චීස්‌ බටර් හා අනෙකුත් කිරි නිෂ්පාදන වලට වෙන්කර ගනියි. ඉතිරි වෙන රොඩ්ඩ කිරි පිටි ලෙස කුඩු කරන ඔවුහු ඊට යම් ගුණයක්‌ ලබා දීම සඳහා විවිධ සත්ත්ව මේද වර්ග එක්‌ කරති.

බොහෝ සත්ත්ව මේද එම රටවල තහනම් කරපු ඒවා බව අද හෙළවී තිබේ. අපේ උදවිය රස කර කර ගාණ වැඩියෑයි කියමින් උජාරුවෙන් බොන්නේ පිටරටවල් විසින් යහගු=ණ ඉවත්කර ඉවතලන රොඩ්ඩෙන් සාදන පිටි කිරිය. සමහර රුව ගුණ ඇති අම්මලාගේ දරුවන්ට පූස්‌ පැටවුන් පවා ලොකු සිංහයන් සේ මඤaඤං වී පෙනෙන්නේ එබඳු විපරිත කිරි බිව් විටය.

පූස්‌ පැටවුන් සිංහයන්ල වලසුන් සේ දරුවන්ට පෙනෙන විට අම්මලා ඉන් පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ දරුවන්ට උරන්නට දෙන්නට තියන කිරි ටික විවිධ රූපලාවන්‍ය බෙහෙත් බොමින් වියළා දමා විවිධ ව්‍යායාම කරමින් රුව රැක ගනිමින් පිටි කිරි සූප්පු වලට දමා පොවා සාදන දරුවන් තමන්ට උම්බෑ නොකීම ගැනය.....

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.