යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභය නිදහසයි

යුද ජයග්‍රහණයට වසර තුනක්‌ සම්පූර්ණ වී ඇතත්, එහි ප්‍රතිලාභ ජනතාවට අත්වී නොමැත යන චෝදනාව එල්ලවී ඇත. මෙම චෝදනාව එල්ල කරනු ලබන පුද්ගලයන් මෙහිදී ප්‍රතිලාභ යනුවෙන් අදහස්‌ කරන්නේ, යුද්ධය සඳහා වැය වූ මහා ධනස්‌කන්ධය දැන් ඉතිරිවී ඇති බැවින් එම ධනයෙන් ජනතාවට ප්‍රතිලාභ අත්වී නොමැති බව, අවතැන් වූ ජනතාව තවදුරටත් කඳවුරුවල ජීවත්වීම, අධිආරක්‍ෂිත කලාප පවත්වාගෙන යැම, උතුර සහ නැගෙනහිර ප්‍රදේශ හමුදාකරණය වී ඇත යන චෝදනාවන්ය.

බැලූ බැල්මට මෙම චෝදනාවන් තුළ ජනතාවාදී ස්‌වරූපයක්‌ දැකගත හැකි වුවත් මෙම චෝදනාවල සැබෑ ස්‌වරූපය දැක ගැනීමට නම් මෙම චෝදනාවන් දෙස පමණක්‌ නොව එම චෝදනාවන් එල්ල කරන පුද්ගලයන් දෙස ද බැලිය යුතුය. මෙම චෝදනාවන් එල්ල කරන පුද්ගලයන් දෙස බැලූ විට එක එල්ලයේම දැකගත හැකි පොදු ගුණාකාරය වන්නේ මෙම පුද්ගලයන් පසුගිය දශක තුන පුරාම යුද විරෝධීන් ලෙස කටයුතු කරමින් බෙදුම්වාදීන්ට ජයග්‍රහණය අත්කර දීම වෙනුවෙන් කටයුතු කර ඇති පුද්ගලයන් වන බවයි.

ඒ සමයේදී එනම් 2009 මැයි මස 19 වැනි දිනට පෙර මෙම පුද්ගලයන් ප්‍රකාශ කර සිටියේ එක සතයක්‌, එක මිනිසෙක්‌, මෙම කාලකන්නි යුද්ධය සඳහා නොදිය යුතු බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙම පුද්ගලයන් යුද්ධය සඳහා වැය වන වියදම එක දිනකට පමණක්‌ නොව එක විනාඩියකට පවා ගණනය කර ජනතාව අතර ප්‍රචාරය කරමින් කොටි ත්‍රස්‌තවාදයට එරෙහි මෙහෙයුම් නවතා දමා කොටි සංවිධානයට ජයග්‍රහණය අත්කර දීමේ ෙච්තනාවෙන් කටයුතු කළහ. මොවුනගේ ස්‌ථාවරය වී තිබුණේ කොටි සංවිධානයට පැවැති බලය ඒ ආකාරයෙන්ම පිළිගනිමින් ඇති කරගන්නා ඊනියා විසඳුමකි.

එසේ වුවත් අවසානයේදී මොවුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් 2009 මැයි මාසයේ 18 සහ 19 යන දින වන විට කොටි පාලන ප්‍රදේශවලත්, කොටි සංවිධානයේත්, ප්‍රභාකරන්ගේත් අවසානය සිදු විය. එම ඓතිහාසික ජයග්‍රහණයත් සමගම මෙරට ජනතාවට බොහෝ ප්‍රතිලාභ අත්වූ බව නොරහසකි. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියදී දකුණේ පමණක්‌ නොව උතුරේ පවා මිනිසකු සිය නිවසින් දොට්‌ට බැස්‌සේ යළි නිවසට ගොඩවීමට හැකිවේ දෝ යන දෙගිඩියාවෙන් යුතුවය. එකම දුම්රියක ගමන් කළත් සැමියා සහ බිරිඳ ගමන් කළේ එකම දුම්රියේ මැඳිරි දෙකකය. ඒ ප්‍රභාකරන්ගේ බෝම්බයකින් සිය ජීවිතය කොයි මොහොතක හෝ උදුරා ගනීවිය යන සැකයෙන් යුතුව ඔවුන් ජීවත්වූ බැවිනි. හාවුන්, මීමින්නන් සේ ජීවත් වූ කාලය අවසන් කර මිනිසුන්ට, මිනිසුන් ලෙස ජීවත්විය හැකි කාලයක්‌ උදාවීමම විශාල ජයග්‍රහණයක්‌ වුවත්, මෙම ඊනියා ප්‍රතිලාභ ගැන ප්‍රශ්න කරන පුද්ගලයන්ට එම ජයග්‍රණයන් පෙනෙන්නේ නැත. මෙම පුද්ගලයන් යුද්ධය පැවැති සමයේ දී ප්‍රකාශ කර සිටියේ මෙම කාලකන්නි යුද්ධයට එක මිනිස්‌ ජීවිතයක්‌ හෝ නොදිය යුතු බවයි. 2009 මැයි 19 වැනි දිනයෙන් අනතුරුව දැන් උදාවී තිබෙන්නේ ද යුද්ධය නිසා එක්‌ ජීවිතයක්‌ හෝ අහිමි නොවන පරිසරයක්‌ වුවත් යුද්ධයේ ඊනියා ප්‍රතිලාභ පිළිබඳව විමසන පුද්ගලයන්ට නම් එම ප්‍රතිලාභය ද පෙනෙන්නේ නැත.

ඇස්‌ පනාපිට ඇති මෙම ප්‍රතිලාභ නොදකින පුද්ගලයන් කෙසේවත් උතුරේ ජනතාවට දකුණේ ජනතාව මෙන්ම නියම මිලට භාණ්‌ඩ මිලදී ගැනීමට අවස්‌ථාව උදාවීම, උතුරේ ගොවියාට තම මිදි ටික, රතු ළුEනු ටික දකුණේ වෙළෙඳපොළට නිකුත් කිරීමට උදාවී ඇති අවස්‌ථාව මෙන්ම ප්‍රභාකරන්ගේ යකඩ සපත්තුවට පෑගී ඔහුට කප්පම් ගෙවමින් සිටි දෙමළ ජනතාව අද ගෙවන නිදහස්‌ ජීවිතය කොහෙත්ම පෙනෙන්නේ නැති බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ ද නැත. උතුරේ සාමාන්‍ය ජනතාවට පමණක්‌ නොව උතුරේ දේශපාලනඥයන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්‌ථාව උදාවී ඇති බව සත්‍යයක්‌ වුවත් ඒ පිළිබඳව ද කතා කරන්නේ නැත. තමිල් සෙල්වම් ජීවතුන් අතර සිටියදී කිලිනොච්චියට ගොස්‌ ඔහුගෙන් දේශපාලන ටියුෂන් ලබාගත් ආකාරය වර්තමානය වන විට ඊනියා යුද්ධයේ ප්‍රතිලාභ ගැන විමසන පුද්ගලයන්ට පමණක්‌ නොව දෙමළ දේශපාලනඥයන්ට පවා අමතක වූ සෙයකි. උතුරේ දේශපාලනඥයන්ට පමණක්‌ නොව දකුණේ දේශපාලනඥයන්ට ද එම රෝගයම බෝ වී ඇති බව පසුගිය කාලය තුළදී අවස්‌ථා කිහිපයකදීම අපට දැකගත හැකි විය. 2002 පෙබරවාරි 22 වැනි දින ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වවුනියාවේ හමුදා බංකරයක්‌ තුළට රිංගා දුරදක්‌නයකින් උතුර දෙස බැලූ දේශපාලනඥයන් අද ප්‍රභාකරන් මිනී මරමින් සැඟවී සිටි බංකරය ළඟට ගොස්‌ උතුරේ සංවර්ධනය පිළිබඳව ද විමසන්නේ ද එම රෝගයම නිසාය.

ඉහතින් සඳහන් කරන ලද ජයග්‍රහණයන් යුද්ධයේ ප්‍රතිලාභ ලෙස පැහැදිලි ලෙසම සඳහන් කළ හැකි වුවත්, දකුණේ ජනතාව ප්‍රභාකරන්ගේ බෝම්බවලට මුහුණ දෙමින්, සැමියා සහ බිරිඳ එකම දුම්රියේ මැඳිරි දෙකක ගමන් කරමින් අපේක්‍ෂා කළ ජයග්‍රහණය එම ජයග්‍රහණයන්ට පමණක්‌ ලඝූ කිරීමට හැකි වන්නේ නැත. ඒ දකුණේ ජනතාව ඕනෑම මිලක්‌ ගෙවමින්, සියලු කැප කිරීම් කළේ ඊට වඩා විශාල ජයග්‍රහණයක්‌ වෙනුවෙන් වන බැවිනි. දශක තුනක්‌ පුරා පැවැති ගැටුම් අතරතුරදී දකුණේ ජනතාව නිරන්තරයෙන්ම කළ ප්‍රකාශයකින් එම ජයග්‍රහණය කුමක්‌ද යන්න අවබෝධ කරගත හැක. දකුණේ ජනතාවගේ මුවඟ නිරතුරුව රැව් දුන් ඒ ප්‍රකාශය වූයේ ගොඩබිමින් 1/3 ක්‌ සහ මුහුදෙන් 2/3 ක්‌ ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම යුද්ධය දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයට එරෙහිව සිදු කරන බවයි. කොටි සංවිධානය දශක තුනක්‌ පුරා කළ හැකි සෑම ම්ලේච්ඡ කමක්‌ම කරමින් උත්සාහ කළේ ව්‍යාජ ඉතිහාසයක්‌ මත පදනම් වී මෙරට භූමියෙන් 1/3 ක්‌ සහ මුහුදු සීමාවෙන් 2/3 ක්‌ බෙදා වෙන්කර ගෙන දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමටයි. ඒ සෑම ම්ලේච්ඡ කමකටම මුහුණදී 2009 මැයි මස 18 සහ 19 යන දිනවලදී ලැබූ ජයග්‍රහණය වන්නේ මෙරට භූමියෙන් 1/3 ක්‌ සහ මුහුදු සීමාවෙන් 2/3 ක්‌ ආරක්‍ෂා කරගැනීමයි. යුද්ධයේ සැබෑ ප්‍රතිලාභය යනු එයයි. කුමන කොන්දේසියක්‌ යටතේ වුවත් 2009 මැයි මස 19 වැනි දින අවසන් වූ යුද්ධයෙන් ඊට වැඩි ප්‍රතිලාභයක්‌ අපේක්‍ෂා කළ නොහැක. කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව කළ යුද්ධය වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් සියලු කැප කිරීම් කළ ජනතාව යුද්ධයේ ඊනියා ප්‍රතිලාභ පිළිබඳව නොවිමසන්නේ නම් අපේක්‍ෂා කළ ප්‍රතිලාභය 2009 මැයි මස 19 වැනි දින ලද බැවින් බව යුද්ධයේ ඊනියා ප්‍රතිලාභ පිළිබඳව විමසන පුද්ගලයන් අවබෝධ කරගත යුතුය. එසේ වුවත් එම තත්ත්වය අනවබෝධය නිසාම ඇතිවූ තත්ත්වයක්‌ බව අවධාරණය කළ යුතුය. මෙම පුද්ගලයන් කරන ප්‍රකාශ සහ කටයුතුවලින් පැහැදිලි වන්නේ මතු යම් දිනකදී හෝ මෙම භූමිය තුළ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා මෙම පුද්ගලයන් අවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ඒ බව හොඳින්ම පැහැදිලි වන්නේ මොවුන් යුද්ධයේ ප්‍රතිලාභ ලෙස ලැබිය යුතු සාධකයන් ලෙස පෙන්වා දෙන කරුණු කාරණා වලිනි. ඉහතින් ද සඳහන් කර ඇත ආකාරයට මොවුන් යුද ජයග්‍රහණයෙන් ලැබිය යුතු එක්‌ ප්‍රතිලාභයක්‌ සේ පෙන්වා දෙන්නේ යුද වියදම අඩුවීම සහ එලෙස ඉතිරි වන මුදලින් ජනතාවට සහන ලබාදීමයි. 2009 මැයි මස 19 වැනි දිනයෙන් පසුව හමුදා මෙහෙයුම් සිදු කිරීම නතර වී ඇතත් එතෙක්‌ දරන ලද වියදම් වූ පතුරම් සඳහා වැය වූ මුදල්, හමුදාවේ නිලධාරීන් සහ සෙබළුන් සඳහා ගෙවූ විශේෂ දීමනා හැර අනෙකුත් සියලුම වියදම් මේ දක්‌වා දැරීමට සිදුවන බව පැහැදිලිය. වාර්තා වන ආකාරයට විවිධ කොන්දේසි යටතේ මිලදී ගත් අවි ආයුධ සඳහා තවදුරටත් ගෙවීමට සිදුවීම සහ හමුදාව නඩත්තු කිරීම සඳහා විශාල මුදලක්‌ වැය වන බැවින් යුද්ධය අවසන් වුවත් තවදුරටත් ආරක්‍ෂක කටයුතු සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදුවන බව පැහැදිලිය. මෙම තත්ත්වය යටතේ තවදුරටත් ආරක්‍ෂක හමුදා සඳහා දරන වියදම අඩු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු වන්නේ විශාල වශයෙන් හමුදාවේ පිරිස්‌ බලය අඩු කිරීම සහ විශාල හමුදා කඳවුරු සංඛ්‍යාවක්‌ ඉවත් කරගැනීමට කටයුතු කිරීමය. දශක 3 නක්‌ පුරා දැවැන්ත ලෙස වර්ධනය වූ සංවිධානයක්‌ යුදමය වශයෙන් පරාජය කළ සැනින් ඒ හා සම්බන්ධ සියලු කටයුතු අහෝසි වී නොයන බැවින් තවදුරටත් ආරක්‍ෂක හමුදා ශක්‌තිමත්ව පවත්වාගෙන යැමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එම පසුබිම තුළ ආරක්‍ෂක හමුදා විශාල වශයෙන් අඩුකර, හමුදා කඳවුරු වසා දමා අධි ආරක්‍ෂිත කලාප සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කළහොත්, යළිත් කොටි සංවිධානයට හෝ ඒ වර්ගයේ සංවිධානයකට වර්ධනයවීම සඳහා සුදුසු බිමක්‌ නිර්මාණය වන බව පැහැදිලිය. නමුත් ඒ බව සඟවා යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ ලෙස යුද වියදම් අඩුවී එහි ප්‍රතිලාභ ජනතාවට අත්විය යුතු බවටත්, අධි ආරක්‍ෂිත කලාප ඉවත් කළ යුතු බවටත්, කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ යුද්ධයේ ප්‍රතිලාභ පිළිබඳ අවධාරණය කරනු ලබන පුද්ගලයන් ඊට මුවාවී යළිත් කොටි සංවිධානයට හෝ එබඳු වර්ගයේ ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ නිර්මාණයවීමට සුදුසු බිමක්‌ නිර්මාණය කරමින් සිටින බවයි.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.