කන්ට අදින්ටා පිටරට ආලේ!
සිංහල හාලේ බත ඉවරයි රාලේ



සහල් නිෂ්පාදනයේදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය සතුටුදායකය. රටේ ආහාර අවශ්‍යතාව හැකිතාක්‌ රට තුළින්ම තෘප්ත කර ගැනීම, රටේ ස්‌වාධීනත්වයටද වැදගත් කාරණයකි. රජය විසින් අඛණ්‌ඩව පොහොර සහනාධාරය ලබාදීමත්, ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් පසු රටට හිමිවූ විශාල බිම් ප්‍රදේශයේ වී වගාවට ලැබුණු ඉඩත්, හේතුවෙන් සහලින් ස්‌වයංපෝෂිත වීමේ හැකියාව ශ්‍රී ලංකාව අත් කර ගත්තේය. 1952 වර්ෂයේදී මෙටි්‍රක්‌ ටොන් 604 ක්‌ වූ රටේ වී නිෂ්පාදනය, 1980 වනවිට මෙටි්‍රක්‌ ටොන් 2134 ක්‌ද 2000 වර්ෂයේදී මෙටි්‍රක්‌ ටොන් 2860 ක්‌ ද විය. එය 2010 වර්ෂයේදී මෙටි්‍රක්‌ ටොන් 4528 ක්‌ වූ අතර 2011 දී මෙටි්‍රක්‌ ටොන් 3995 ක්‌ විය.

වසර ගණනාවක්‌ පුරා ශ්‍රී ලංකාවට තිබූ අභියෝගයක්‌ වූයේ, තමන්ගේ ප්‍රධාන ආහාරය වන බත්, එතෙරින් නොගෙන තමන් විසින්ම සම්පූර්ණයෙන් නිපදවා ගැනීමය.

අභියෝගය ජය ගනිමින් රටේ සමස්‌ත සහල් පරිභෝජනය ද ඉක්‌මවා යන තැනකට නිෂ්පාදනය ගෙන එන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. සියලු බර දරා එම අභියෝගය ජයගත් පසු කළ යුත්තේ එය රට තවදුරටත් වාසි දායක වන ආකාරයකින් කළමනාකරණය කර ගැනීමය. ශ්‍රී ලංකාවේ වී ගොවියා මූලික වශයෙන් ම සිsටින්නේ යෑපුම් කර්මාන්ත අවධියේය. තමන්ගේ යෑපීමට පමණක්‌ සහල් නිපදවා ගන්නා තැනක සිටි ඔහු, එයින් ඉදිරියට පැමිණෙන්නේ දැන්ය. එය ආසියාවටම පොදු වූ තත්ත්වයකි. වී ගොවීහු මිලියන 250 ක්‌ ආසියාවේ වාසය කරන අතර ඉන් වැඩිදෙනෙක්‌ හෙක්‌ටයාර එකකට වඩා අඩු වගා බිමක හිමිකරුවෝ වෙති. ලෝකයේ සහල් නිෂ්පාදනයෙන් හා පරිභෝජනයෙන් 90% කට වැඩි කොටසක්‌ හිමි ආසියාවේ වී නිපදවීමද මූලික වශයෙන් තිබෙන්නේ යෑපුම් කර්මාන්ත මට්‌ටමකය. අධික ආහාර වියදම හමුවේ වී වගාව සඳහා දිරිදෙන ප්‍රතිපත්තියක්‌ එම රජයන් විසින් ඇති කිරීමත් සමඟ යෑපුම් මට්‌ටම ඉක්‌මවා නිෂ්පාදය කරන තැනකට, එහි ගොවියා ද පියවර තබමින් තිබේ. ශ්‍රී ලංකාවේ ගොවියාද එම ඉදිරි පියවරට දැන් යොමුවෙමින් සිටියි.

නමුත් රටක්‌ ලෙස ශ්‍රී ලංකාව තවම සිටිනුයේ යෑපීම සඳහා පමණක්‌ සහල් නිපදවා ගන්නා තැනකය. සහල් අතිරික්‌තයක්‌ නිපදවීමට රට සමත් වීමත් සමඟ, සහල් කර්මාන්තයක්‌ රට තුළ වර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය පියවර කරා රට දැන් ළඟා විය යුතුය. නැතහොත් සිදුවන්නේ සහල් අතිරික්‌තයක්‌ නිපදවීම තෙක්‌ රට පැමිණි ගමන "තල මල පීදීමක්‌" බවට පත් වීමය. අතිරික්‌තයට සරිලන වෙළෙඳපොළක්‌ නිර්මාණය නොවුවහොත් එමගින් නිෂ්පාදන මිලටත් වඩා අඩු වටිනාකමක්‌ වෙළෙඳපොළ තුල සහල් සඳහා හිමි වීමට ඉඩ තිබේ. දිගින් දිගටම එවැනි තත්ත්වයක්‌ ඇති වුවහොත්, වර්ධනය වූ සහල් නිපැයුම අනිත් පිට පෙරලී පල්ලම් බැසීමේ ඉඩකඩ වැඩිය. මූලික ඉලක්‌කය වූ සහලින් ස්‌වයංපෝෂිත වූ වහාම කර්මාන්තයක්‌ ලෙස සහල් වගාව කළමනාකරණය කරන තැනකට රට පත්විය යුතුය.

අටුකොටු අස්‌වැන්නෙන් පිරී ඉතිරී ගොස්‌ තිබුණද, තවමත් ශ්‍රී ලංකාව එතෙරින් සහල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර නැත. සහල් ආනයනය සඳහා 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාව දරා තිබෙන වියදම, ඇ. ඩො. මිලියන 18 ක්‌ (රුපියල් කෝටි විසි දහස්‌ තුන්සිය පහකි) කි. 2010 දී එම බිල ඇ. ඩො. මිලියන 59 ක්‌ (රුපියල් කෝටි හැට හත්දහස්‌ හාරසිය දහයක්‌) විය. වර්ෂයක්‌ තුළ, බිල අඩු කර ගෙන තිබෙන අන්දම සතුටුදායක වුවත්, සහල් අපනයනය මුළුමනින්ම නතර කරනා ඉලක්‌කය සඳහා ඉක්‌මනින්ම ශ්‍රී ලංකාව යොමු විය යුතුය. ආනයනික සහල් ප්‍රධාන වශයෙන්ම භාවිතා වන්නේ සංචාර හෝටෙල් හා සුපිරි පරිභෝජන සඳහාය. මෙම ආනයනයෙන් බහුතරයක්‌ ශ්‍රී ලංකාවටම නිපදවිය හැකි අතර ඉතිරිය සඳහා ආදේශක ද නිපදවීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුය.

සංචාරකයන් සඳහා ලබා දෙන ආහාර වේලේ වැඩි පංගුවක්‌ ආනයනික ආහාර මගින් ලබා දෙන්නේ නම් සංචාරක කර්මාන්තයේ ආදායමෙන්, ශ්‍රී ලංකාව සත්‍ය වශයෙන්ම හිමිකර ගනු ඇත්තේ, ඔවුන් මෙහි ගත කරන කාලය සඳහා ලබාගන්නා බිම් කුලියක්‌ වැනි පංගුවක්‌ පමණකි. සංචාරක කර්මාන්තයේ වර්ධනය, රටේ සෙසු කර්මාන්ත වර්ධනය සඳහා ද දායක කර ගන්නේ නම් මෙවැනි පියවරයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කළ යුතුය. සංචාරකයන් සඳහා සිංහල සහල් වර්ග පිළිගැන්වීමද සිදු කළ හැකිය. රසායනික පොහොර භාවිතයෙන් තොරව, සම්ප්‍රදායික ලෙස පිළියෙළ වුණු එම සහල් ඖෂධීය ගුණයෙන්ද අනූනය. එතෙරින් ගෙන්වන සුපිරි බාස්‌මතී වෙනුවට ඊටත් වැඩි මිලකට සිංහල සහලින් සැකසූ බත් වේලක්‌ ලබාගැනීමට සංචාරකයා ද ප්‍රිය වනු ඇත. සම්ප්‍රදායික සිංහල සහල් සඳහා නව වෙළෙඳපොළක්‌ විවර වීම විසින් රටේ වී කර්මාන්තයේ වර්ධනය සම්ප්‍රදායික සහල් වැවීම දිරිමත් කරමින් සිදු වීම මගින්, සහලින් වැඩි දියුණු වූ සංස්‌කෘතියක්‌ සහිත රටක අනන්‍යතාවයට ද සහයෝගයක්‌ වන තැනකට ඉන් ඉඩ සැලසෙනු ඇත. සහල් අතිරික්‌තයට විසඳුමක්‌ ලෙසත් සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීම පිණිසත් වන වැදගත් පියවරක්‌ මෙමගින් තැබිය හැකිය.

ශ්‍රී ලංකාවේ වී අස්‌වැන්නට පොහොර ලබාගන්නේ, පිටරටිනි. වී කිලෝවක්‌ සඳහා රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 12 කට ආසන්නය. 2011 දී පොහොර ආනයනය සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 44,992 (රුපියල් කෝටි හාරලක්‍ෂ හතළිස්‌ නවදහස්‌ නවසිය විස්‌සකි.) කි. පොහොර මෙටි්‍රක්‌ ටොන් දහස්‌ 801 එම මිලට ගෙන්වා තිබෙන අතර එම වසරේ වී වගාව සඳහා පමණක්‌ යොදාඇති පොහොර ප්‍රමාණය, මෙටි්‍රක්‌ ටොන් දහස්‌ 455 කට ආසන්නය. සමස්‌ත පොහොර ආනයනයෙන් අඩක්‌ වී වගාව සඳහා යෙදුනා යෑයි උපකල්පනය කළහොත්, ඒ සඳහා රට විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 22,496 (රුපියල් කෝටි දෙලක්‍ෂ විසි හතර දහස්‌ නවසිය හැටකි) කි. 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නිපදවා ඇති සමස්‌ත වී ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 95,807 (රුපියල්කෝටි නවලක්‍ෂ පනස්‌ අට දහස්‌ හැත්තෑවකි) කි. නිපදවා ඇති වී ප්‍රමාණයෙන් හතරෙන් එකකට ආසන්න වටිනාකමක්‌ එතෙරින් පොහොර ගෙන්වීම සඳහා රට විසින් වියදම් කර තිබෙන බව එයින් පෙනේ. වී සඳහා මෙතරම් පොහොර බිලක්‌ එතෙරට ගෙවීම සහල්, කර්මාන්තයක්‌ ලෙස වර්ධනය වීමේදී අවාසිසහගතය. වී වගාව සඳහා රසායනික පොහොර හා කාබනික පොහොර අනුපාතය 60( 40 ක්‌ යෙදීම ඉහළම ඵලදායිතාවය සඳහා කෘෂි විද්‍යාඥයන් නිර්දේශ කර තිබුණද එය භාවිතා කරන තැනක තවම අපේ වී ගොවියා නැත. නොදැනුවත්කම, මෙම මුසු කිරීම සඳහා උනන්දු නොවීම වැනි කරුණු එතැනදී ප්‍රධාන විය හැකිය. මේ නිසා දේශීය වශයෙන් නිපදවන කොම්පොස්‌ට්‌ පොහොර, අදාළ අනුපාතයට කළවම් කිරීමෙන් පසු වී ගොවියා වෙත ලැබෙන ක්‍රමයක්‌ සැකසුවහොත් වී වගාව සඳහා පොහොර ආනයනය 40% කින් අඩු කර ගත හැකි තත්ත්වයක්‌ නිර්මාණය කර ගත හැකිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය රසායන පොහොර රට තුළ නිපදවීම, රසායනික පොහාර නොමැතිව හෝ අවම වශයෙන් භාවිත වන වී ප්‍රභේද හා ගොවිතැන් ක්‍රම හඳුන්වාදීමද මෙම බිල තවදුරටත් අඩු කර ගැනීම සඳහා දායක කර ගත හැකිය.

අතිරික්‌ත සහල් නිෂ්පාදනය අපනයනය සඳහා වැඩපිළිවෙළක්‌ දැනටමත් රජය විසින් ආරම්භ කර තිබේ. රටේ පරිභෝජනය මූලික කර ගනිමින් නිපදවා තිබෙන සහල් ආනයනය දුෂ්කර බැවින්, අපනයනය කළ හැකි රටවල් ඉලක්‌ක කර ගනිමින්, එම රටවල් පරිභෝජනය කරන වී වර්ග වගා කිරීම සඳහා අපනයනය සහල් කලාප පිහිටුවීම දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. 2016 වනවිට සහල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ දෙකක්‌ අපනයනය කිරීම රජයේ ඉලක්‌කය වී තිබේ. අපනයනය සඳහා දිරිගන්වන අතරේම සහල් අතිරික්‌තය ආදේශයක්‌ ලෙස යොදා ගැනීමටද සැලසුම් සකස්‌ විය යුතුය. තිරිඟු ආනයනය සඳහා 2011 වසරේදී ශ්‍රී ලංකාව විසින් ඇ. ඩො. මිලියන 429 ක්‌ (රුපියල් කෝටි හාරලක්‍ෂ හැත්තෑ තුන්දහස්‌ අටසිය විස්‌සක්‌) වැය කර තිබේ. තිරිඟු පිටි සඳහා සහල් ආදේශකයක්‌ කරගත යුතුව ඇත්තේ මෙම වියදම රටට දැරිය හැකි සීමාව දැනටමත් ඉක්‌මවා යමින් තිබෙන නිසාය. එම කාර්යය සඳහා රජයට වැඩපිළිවෙළක්‌ නැති තරම් ම බව පෙනී යයි. සහල් පිටි හා තිරිඟු පිටි, 50:50 අනුපාතයට යොදමින් බේකරි කර්මාන්තය සඳහා යොදා ගත හැකි අයුරින් පිටි නිපදවන කර්මාන්ත ශාලාවක්‌ වේයන්ගොඩ ප්‍රදේශයේ, පෞද්ගලික අංශය විසින් පිහිටුවා ඇතත්, එය දිරිගැන්වන්නට හෝ රජය කටයුතු කර නැත. බිස්‌කට්‌ ඇතුළු තිරිඟු පිටි භාවිත වන කර්මාන්ත සඳහා ආදේශකයක්‌ ලෙස සහල්, පිටිකර සැකසීමට මෙවැනි කර්මාන්තශාලා විස්‌සක්‌වත් පළමු පියවරේදී ආරම්භ කිරීමට අවකාශ හා පහසුකම් ලබාදී, ඒ සඳහා වෙළෙඳපොළක්‌ නිර්මාණය වන පරිදි, ප්‍රතිපත්ති තීරණ ගැනීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතු වුවත්, තිබෙන එකම කර්මාන්ත ශාලාව ද එහි හිමිකරුගේ ඇඟේ ගායට පවත්වාගෙන යන තත්ත්වයක්‌ මතුවී තිබේ.

සහලින් රට ස්‌වයංපෝෂිත වී තිබෙන තත්ත්වය තුළ, පරිභෝගිකයාට සාධාරණ මුදලකට සහල් ලබාගැනීමටත් ගොවියාට සාධාරණ මුදලකට සහල් විකිණීමටත් හැකි පරිසරයක්‌ ඇති කිරීම සඳහා සහල් කර්මාන්තය මෙවැනි දිශානතීන් කරා යොමු කිරීම රජයේ කාර්යය විය යුතුය. ලැබී තිබෙන වී අස්‌වැන්නෙන් රටම බත බුලතින් සරුවනු ඇත්තේ එවිටය.

මනෝජ් අබයදීර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.