මහත්වරුන්ගේ අඬහැර ඉවර නැත
ඒත් ඇලහැරට තවමත් වතුර නැත

වතුර නැතුව මෙදා යලේ
කැඳ බොන්නට වෙයිද මලේ !

ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ අක්‌කර විසිදහක පමණ කුඹුරු යායක්‌ මේ වන විට පුරන් වෙමින් තිබේ.

අඩසිය වසකට වැඩි කාලයක්‌ රටට බත දුන් උදාර ගොවි පරපුරකට මෙදා යලේ කැඳ උගුරක්‌ බොන්නට තරම්වත් වී ඇටයක්‌ වගා කර ගන්නට නොලැබෙන එකම කාරණය ජලය නොමැති කමයි.

පෙර රජ දවස පටන් අඹන්ගඟ හරහා ඉදිවුණු ඇලහැර අමුණේ සිට යෝධ ඇළ ඔස්‌සේ මහා ජල කඳ ගල, යන්නේ ඇලහැර කුඹුරු යායට ඉහළිනි.

මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ ආදී මහා වැව් පෝෂණය කරමින් කුඹුරු අක්‌කර ලක්‍ෂ ගණනකට යෝධ ඇළ ඔස්‌සේ දියවර සැපයෙද්දී ඇලහැර කුඹුරු වතුර නැතිව පුරන්වන ශාපය කුමක්‌දැයි එහි ගොවීහු විමසා සිsටිති.

කොත්මලේ, බෝවතැන්න වැනි මහවැලි මහා ජලාශයන්හි ජලය අවශ්‍ය තරම් තිබියදී ඇලහැර කුඹුරු වගාවට ජලය නොදෙන බවටද ගොවීහු මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන්ද චෝදනා කරති.

මෙවර යල කන්නයේ වගාව සඳහා ජලය නිකුත් වී යළිත් සතියකින් පමණ එය නවතා දමා තිබේ. කන්න රැස්‌වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මැයි මස 01 වැනිදා සිට ජලය නිකුත් කිරීම ඇරඹී, එය නවතා දැමුයේ මහවැලි නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක්‌ මත බවට ගොවීහු කියති. මේ හේතුවෙන් තමන් ආරම්භ කළ වී වගාවන් මෙන්ම අතිරේක බෝග වගාවන් අතරමග නවතා දමන්න සිදුවී ඇතැයි පවසන ඔවුහු ගොවිතැන් කටයුතු ඇනහිටීමෙන් තමන් කබලෙන් ලිපට වැටී සිටින බව පෙන්වා දෙති.

කන්න රැස්‌වීමේදී තීරණය කළේ මැයි මාසේ පළවෙනිදා ඉඳලා වතුර දෙන්න. ඒ අනුව වතුර නිකුත් කළා. අපි ඇළ වේලි සුද්ද කරගෙන වගාවට සූදානම් කුඹුරුවල බිං හීය හාලා නියරවල් සුද්ද කරලා ඊළඟ වැඩ කටයුතුවලට සූදානම් වෙන කොට සතියකින් වතුර නතර කළා. අපි දන්නේ නෑ මොන හේතුවෙක්‌ද කියලා. දැං අපි මුලින් හාපු කුඹුරු බිං වෙලා. අතිරේක බෝගව වන්න කියලා උපදෙස්‌ දුන්නා. ඒකට සූදානම් වෙලා ලොකු ළුEණු බීජ ගෙනැවිත් තවාන් දමලා දැන් ඒ පැළ තවාන්වලම ලොකු වෙනවා. අපිට වෙන කිසිම කන්නෙක මේ වගේ දෙයක්‌ සිද්ධ වෙලා නෑ. වතුර නිකුත් කරලා, අතරමග නතර කළේ නෑ. ගොවිතැන වෙනුවෙන් දරන්න ඕන මූලික වියදම් රාශියක්‌ කරලා. දැන් අපි කබළෙන් ලිපට වැටිලා ඉන්නේ. වතුර දෙන්නේ කවදද කියලවත් අපිට දැනුම් දීලා නෑ.

ඇලහැර අත්තනකඩවල යාය 20-28 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති පියල් ධර්මරාජ මහතා අප සමග එසේ කියා සිටියේය.

අපි මේ ගොවි ජනපද ව්‍යාපාරයේ දෙවැනි පරම්පරාවේ අය. ඇලහැර අමුණේ ඉඳල යෝධ ඇළ දිගේ වතුර ටික ගියා නං එච්චරයි. අපිට වතුර ප්‍රශ්නයක්‌ තිබුණේ නෑ. අපි යල මහ දෙකන්නේ කිසිම කරදරයක්‌ නැතුව ගොවිතැන් කළා. මහවැලිය ආවට පස්‌සේ තමයි මේ නස්‌පැත්තිය වුණේ. දැන් අපි මහවැලියේ වහල්ලු වෙලා ඉන්නේ. ඇලහැර ව්‍යාපාරයට අයත් දිය බෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේදී අපට මුණ ගැසුණු ඊ. එම්. සුසිල් ඒකනායක ගොවි මහතා එසේ පැවසීය.

මම අඳේට කුඹුරු කරන කෙනෙක්‌. වී බුසල් දෙකයි වගා කරන්නේ. ඒකත් කරන්නේ ණය වෙලා. මෙදා සැරේ බත් කන්න තියා කැඳ බොන්නවත් වී ඇටයක්‌ වගා කරන්න විදියක්‌ නෑ වතුර දෙන්නේ නැති නිසා. කුඹුරු වගා කරන්න වතුර දෙන්නේ නැත්නම් අපිට ජීවත් වෙන්න සහනාධාර මුදලක්‌ වත් ආණ්‌ඩුවෙන් දෙන්න. එහෙම නොකළොත් අපට සිද්ධ වෙන්නේ බඩගින්නේ මැරෙන්නයි. කෝඳුරුවාවේදී අපට හමු වූ අඳ ගොවියකු වන කේ. ජී. කුලරත්න (42) මහතායි එම අදහස්‌ පළ කළේ.

ගොවි බිම් පුරන්ව යැම යනු ගොවි දැසට කඳුළු පුරන කාරණයකි. බඩ වියත රැක ගනීම උදෙසා තිබෙන එකම ජීවන මාර්ගය ඇහිරී යැමකි. කුඹුරුවලට වතුර දෙන්නට බැරි නම් ජීවත් වෙන්නට සරිලන සහනාධාර මුදලක්‌ හෝ රජය මගින් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිනුයේ එහෙයිනි.

ඇලහැර ව්‍යාපාරේ ගොවියෝ 1950 ඉඳලා රටට කන්න දීලා තියෙන පිරිසක්‌. මෙදා යලේ වතුර නැතුව අපිට කුඹුරු කර ගන්න විදියක්‌ නෑ. ඒ හින්දා අපිට බඩගින්නේ ඉන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඉල්ලා හිටින්නේ මේ මාස තුන රජයෙන් අපිට කන්න දෙන්න කියලයි. ඇලහැර ගොවිබිම් වෙත ගිය ගමනේදී සිය හඬ අවදි කළ ඩී. එම්. සුමනබණ්‌ඩා (47) මහතායි එම ප්‍රකාශය කළේ.

අපි එදිනෙදා ජීවත්වෙන්නේ, දරුවො ඉස්‌කෝලෙ යවන්නේ, හැම දෙයක්‌ම කරන්නේ මේ කුඹුරු ගොවිතැනින්. ගොවිතැන නැති වෙනවා කියන්නේ අපේ ජීවිත අතරමග නතර වුණා කියන එකයි. මේ කන්නේ අපේ කුඹුරු පාළුවෙනවානං අපිට වන්දියක්‌ දෙන්න.

දියබෙදුම, කෝඳුරුවාව ප්‍රදේශයේදී හමු වී අදහස්‌ පළකළ ඊ. එම්. යූ. ඩබ්ලිව්. ඒ. කුමාරිහාමි(39) මහත්මිය එසේ පැවසුවාය.

ඇලහැර ගොවි බිමේ කුඹුරු මෙදා යලේ වගා නොකළේ මහවැලියේ වරදකින් යෑයි නැගෙන චෝදනා නිමක්‌ නැත. ඉහළ ජලාශයන්හි ජලය තිබියදී ඇලහැරට වතුර නොදෙතැයි මෙවර පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී ද ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.

ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ඉතිහාසයේ කවරදාකවත් ගොවියෝ මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීලා නෑ. කන්න රැස්‌වීමේදී තීරණය කළා මැයි මාසෙ පළවැනිදා වතුර දෙන්න. වතුර නිකුත් කළා. ඊට සතියකට පස්‌සේ වතුරදීම නතර කළා. දැන් දින නියමයක්‌ නැතුව වතුර නිකුත් කිරීම කල් ගිහිල්ලා. ගොවියෝ තමන්ගේ කුඹුරුවල වැඩ ආරම්භ කරලා. ඒව අතරමග නතරවෙලා. බැංකුවලට තමුන්ගේ කන කර උගස්‌ කරල ණය වෙලා මේ ගොවි ජනතාව ගොවිතැන් කරන්නෙ. ඉහල ජලාශවල මීට වඩා අඩු මට්‌ටමක වතුර තියෙද්දී ඇලහැරට වතුර දීලා තියෙනවා.

මේ වතාවෙ ඇයි වතුර නොදෙන්නේ කියන එක ලොකු ගැටලුවක්‌. ඇලහැර ව්‍යාපාරය ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදුස්‌සූරිය මහතායි එම අදහස්‌ පළ කළේ.

ගිරිතලේ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති කීර්ති රාජකරුණා මහතා මෙහිදී අදහස්‌ දක්‌වමින් ඇලහැර ගොවි ජනතාවට සිද්ධවෙලා තියෙන අසාධාරණය ගැන අපි කනගාටු වෙනවා. මහවැලිය ආරම්භ කළේ ගොවි ජනතාවට වැඩි සහනයක්‌ ලබා දෙන්න, ඔවුන් නගා සිටුවන්න. නමුත් අද මහවැලියෙන් වතුර දෙන්නේ කුඹුරු ගොවිතැනට නොවෙයි.

ජල විදුලිය නිපදවන්න. එදා කුප්පි ලාම්පු එළියෙන් හරි ගොවියා යල මහ දෙකන්නේ ගොවිතැන් කළා. ජලය හිඟයක්‌ නැතිව. මේ වෙන කොට බෝවතැන්න ජලාශයේ වාන් මට්‌ටමට ජලය තිබෙනවා. ජල පාලන ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන් මේ කෘෂි කමිටු රැස්‌වීම්වලට මින් ඉදිරියට සහභාගි කරවන්න කියලා මම ඉල්ලා සිටිනවා. සීත කාමරවල ඉඳගෙන ගන්න තීන්දු තීරණ හරියන්නේ නෑ. ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. මේ විදියට කුඹුරුවලට වතුර දෙන්න නම් මහවැලියක්‌ ඕනේ නෑ. ඒ කටයුත්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන්න. අඹන්ගඟේ නිරන්තරයෙන් ගලාගෙන ගිය වතුර ටික එදා නිදහසේ අපේ වැව්වලට ලැබුණා.

යල කන්නයේ ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට මෙතෙක්‌ ජලය නොසැපයීම පිළිබඳව මහවැලි ජී. කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්. එම්. කේ. ආර්.හේරත් මහතාගෙන් විමසුවෙමු.

මේ මාසේ පළවෙනිදා වතුර නිකුත් කරන්න කන්න රැස්‌වීමේදී තීරණය කළා. ඒ අනුව වතුර නිකුත් කළා. අපේක්‍ෂිත වර්ෂාව නොලැබීම නිසා කොත්මලේ ජලාශයේ ජල මට්‌ටම පහල බැස්‌සා. මේ කාරණය නිසා තමයි ජලය නිකුත් කිරීම අත් හිටවනු ලැබුවේ. දැනට ජලය නිකුත් කරන දිනයක්‌ පිළිබඳව තීරණයක්‌ නෑ. ඉහළ ජලාශවල ජල මට්‌ටම් සතුටුදායක තත්ත්වයකට ඉහළ යැමෙන් අනතුරුව ජලය නිකුත් කිරීමට හැකිවේවි.

ඇලහැර ගොවි ජනයාගේ ඉකිබිඳුම යෝධ ඇලේ සහ ඊට ඉහළින් පිහිටි දඹුළු කැලේ කඳු රෑනේ හැපී දොaංකාර නඟමින් තිබේ. එහෙත් එම ගොවි දුක නිවෙනුයේ ඇලහැර අමුණෙන් එන මහා ජල කඳ යෝධ ඇළ දිගේ ගලාවිත් තම ගොවිබිම්වල දිය පවස නිවා දැමුව හොත් පමණි.

නැතහොත් පුරන්ව යන ගොවිබිමේ උරුමකරුවන් වෙත වේල සරිකර ගැන්ම උදෙසාවත් සහනයක්‌ පිරිනමන්නැයි කෙරෙන අහිංසක ඉල්ලීම හෝ ඉටුවීමෙනි.

කරුණාරත්න ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.