සමින්ද පුතු මරු තුරුලේ
කඳුළු ගඟක්‌ අද තුඩැල්ලේ


මියගිය සමින්ද මධුභාෂණ

මෙතෙක්‌ කාලෙකට තුඩැල්ල දුම්රිය ස්‌ථානයේ සිදුවූ අවාසනාවන්තම සිද්ධිය පසුගිය 16 වැනිදා සිදුවිය. තුඩැල්ල ක්‍රිස්‌තු රාජ ජාතික පාසලට එදින සිට උදා වූයේ ශෝක කාලයකි. පාසලම මළ ගමක සිරි ගත්තේ ද, ක¹න ප්‍රදේශයම කම්පාවට පත්වූයේ ද එතැන් සිටය.

පාසල නිමවී නිවසට යමින් සිටි සමින්ද මධුශංක තිලකරත්න නම් දොළොස්‌ හැවිරිදි දරුවා තුඩැල්ල දුම්රිය ස්‌ථානයේදී දුම්රියකට යටව අවාසනාවන්ත ලෙස මියගිය පසු, ඒ ශෝකය කඳුළින්ම දියකර හරිනවා හැර මෙවන් අවාසනාවන්ත මරණයක්‌ හමුවේ වෙන කුමක්‌ කරන්නද?

සමින්ද පුතු තුඩැල්ල ක්‍රිස්‌තුරාජ ජාතික පාසලේ හය ශේ්‍රණියේ ඉගෙන ගනිමින් සිටි අති දක්‍ෂ දරුවෙකි. ඔහු පංති නායකයෙකි. නායකයකුට ඔබින වගකීම් පවා දරන්නට සමතෙකි. එනිසාම ඔහු පංති නායකයා බවට ද පත් විය. සමින්දලා පදිංචිව සිටියේ ක¹න නගරයට කිට්‌ටුවය. කුඩා කල ඔහු පාසලට ගියේ පාසල් වෑන් රථයකිනි. එසේ පාසල් ගිය දරුවාට සමාජය පිළිබඳව යථා අවබෝධයක්‌ ලබාදිය යුතු යෑයි සිතූ ලාලින්ද තිලකරත්න වන පුතුගේ පියා, මීට මාස කිsහිපයක සිට දරුවාව දුම්රියෙන් පාසල් යෑවීමට පටන් ගත්තේ සිය දහස්‌ වරක්‌ පුතුට උපදෙස්‌ දුන් පසුවය. මුල් දින කිහිපයේ දරුවාව දුම්රියේ රැගෙන ගිය පියා, දුම්රියේ යන එන හැටි කියා දෙන්නට ද වග බලා ගත්තේය. සමින්දට ද දුම්රියේ යැම ඒ හැටි අමාරු කාර්යයක්‌ නොවුණේ එනිසාය.

"පුතේ දුම්රිය පරක්‌කු නම් හරි, දුම්රිය මගහැරුණොත් හරි ළඟම තියෙන ගෙදරකට හරි ගිහින් මට කෝල් කරන්න" පියා එලෙස ද උපදෙස්‌ දී තිබිණි.

සමින්ද හරි කීකරු දරුවෙකි. කලබලයක්‌ ද නැත. බුද්ධිමත්ය. කෙළිලොල්කමට ලොල් නොකළ හේ සෑමවිටම දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ නොමඳ පැසසුමට ලක්‌ විය. කොයි දරුවටත් ආදර්ශයක්‌, පූර්වාදර්ශී චරිතයක්‌ බවට ඔහු පත් විය.

එහෙව් දරුවකු තුඩැල්ල දුම්රියපොළේ දීම දුම්රියකට හසුවූයේ කෙලෙසද?

"අනේ ඒ දරුවටම මේ දේ වුණානේ" ගුරුවරු නෙතින් ගලන කඳුළු පිසිමින් ඒ දරු පැටියාගේ වියෝව පිළිබඳ ලතැවෙන්නේ අතට ගත් තේ කහට කෝප්පය ද පසෙකට තල්ලු කරමිනි.

සමින්දලාගේ පාසලේ දරුවන් දෙදහසක්‌ පමණ සිටිති. මේ පාසලට සමීපයෙන්ම පිහිටා ඇත්තේ අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයය. පාසලේ විදුහල්පති නිහාල් රුද්‍රිගෝ පියතුමා වරක්‌ නොව කිහිප වරක්‌ම මේ අනාරක්‍ෂිත දුම්රිය මාර්ගය හා පාසල් දරුවන්ට ඉන් ඇතිවීමට ඇති අනතුරු පිළිබඳ අදාළ අංශ වෙත පැමිණිලි කර ඇත.

සමින්ද මියගියේ මේ අනාරක්‍ෂිත දුම්රිය මඟේ ගොස්‌ නොව, තුඩැල්ල දුම්රිය ස්‌ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දුන් වැරදි නිවේදනයක්‌ නිසාය.

පසුගිය 14 සදුදා පාසල් දරුවන් දුම්රියපළට පැමිණියේ නිවෙස්‌ වෙත යැමටය.

ශබ්ද විකාශනයෙන් කියෑවුණේ මීගමුව දෙසට ධාවනය වන දුම්රිය, අනෙක්‌ වේදිකාවේ නතර කරන බවකි. දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක්‌ නිසා දුම්රිය අනෙක්‌ මාර්ගයේ ධාවනය කරවන බවද කියෑවිණි.

ඒ පණිවුඩයට අනුව පාසල් දරුවන් ද, අනෙක්‌ මගීන් ද දුම්රිය පාර හරහා එහා පැත්තට මාරු වන්නට පටන් ගත්හ. මේ දුම්රිය ස්‌ථානයේ ගුවන් පාලම් නැත.

එනිසා මේ දරුවන් පිරිස රේල් පාර හරහා එහාට මෙහාට යති එති. මේ පුංචි පුතු ද දුම්රිය මඟ හරහා ගියේ ඒ නිසාය.

රේල් පාරත්, පදික වේදිකාවත් අතර ඉඩකඩ ද සීමිතය. දුම්රියක්‌ පැමිණි විට ඉඩකඩක්‌ ඇත්තේම නැත. දරුවන් අමාරුවෙන් වේදිකාවට ගොඩවද්දී තෙල් ගෙන යන දුම්රියක්‌ පැමිණියේය. සමින්දට වේදිකාවට නැඟීමට කාලයක්‌ නැත. දුම්රිය ළඟ ළඟ එන අයුරු ද ඔහු අඩ සිහියෙන් මෙන් දුටුවේය. සෙසු අය කෑගසද්දී සමින්ද පදික වේදිකාව බදාගෙන ජීවිතය ඉල්ලුවේය. යකඩ වෙස්‌ගත් මාරයා සමින්ද පුතුගේ සිරුර තලා පෙළා දමද්දී, දුම්රිය ස්‌ථානයේ සිටි කාගේත්, අත් හිස මතට ගියේ ඉබේමය. තවෙකකු කෑගසා හඬන්නට විය.

"වරද ඒ දරුවගෙ නොවෙයි. දුම්රිය ස්‌ථානාධිපති මේකට වගකිව යුතුයි" මගී ජනතාව සමින්ද පුතුගේ තැලුණු සිරුර දෙස බලමින්, හඬමින් කෑගැසූහ.

"අනේ මගෙ දරුවා. මේ දරුවා තමයි ගෙදර වැඩිමලා. එයා හරි දක්‍ෂ දරුවෙක්‌. මේ දරුවගේ දක්‍ෂතා දවසින් දවස ඔප වෙද්දී, ඒ දරුවගේ හෙට ගැන අපි සිහින දැක්‌කා. අහස උසට තිබුණු බලාපොරොත්තු ඔක්‌කොම විනාශයි. මේක මගෙ පුතාගේ වරදක්‌ නෙවෙයි. වැරැද්ද කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්" පුතුගේ මරණයෙන් කම්පාවට පත්ව සිටින පියා වන ලාලින්ද තිලකරත්න (40) එලෙස පවසන්නේ හැඬූ කඳුළිනි. ඔහුගේ මුහුණේ තිබුණේ කෝපයට වඩා ශෝකයකි. පුතුගේ අහිමිවීම නිසා නැඟුන ශෝකය ය.

පියකුට සිය පුතු අහිමිවී යැම මොනතරම් වේදනාවක්‌දැයි සිතෙන්නේ මේ පියා දකින විටය. ඒ මවට නම් මේ දුක වාවාගත නොහැකිය. ඇය හඬන්නේ වැළහින්නියක මෙනි. පටාචාරාවන්, කිසාගෝතමී එදා දරු දුක හමුවේ හඬපු හැටි අපට යළි දකින්නට ලැබුණේ සමින්දගේ මවගේ හැŽම දකින විටය.

පසුගිය 16 බදාදා සවස තුඩැල්ල ක්‍රිස්‌තුරාජ විද්‍යාලය මීයට පිම්බා සේ නිහඬව තිබිණි. කොයි කවුරුත් තම පුංචි මිතුරාගේ අවසන් ගමනට එක්‌වන්නට සූදානම්ව සිටියහ. සීදුව ප්‍රදේශයම මේ පුංචි පුතුගේ වියෝවින් නැඟුන කඳුළැලි මෙන්ම සුසුම් සමග එකට එකතුවී දුක බෙදා ගනිමින් තිබිණි. අහස පොළව පවා මේ පොඩි පුතුගේ වියෝවින් කම්පාවට පත්ව ඇතැයි සිතෙනා තරමට අවමඟුල් උත්සවය පැවති බිමේ නිහඬ බව රජකර තිබිණි. ඒ නිහඬ බව බිඳී ගියේ මවගේ, පියාගේ, ඥතීන්ගේ හැඬුම්වලින් පමණි. පොද වැස්‌ස නොතිබුණත්, කාගේත් දෙකම්මුල් නිතරම තෙත්ව තිබිණි. සමින්දගේ නිසල සිරුර ළඟ දැවටුන නංගිටත්, මල්ලිටත් අයියාගේ නිහඬ බව ප්‍රශ්නයක්‌ව තිබිණි.

"අයියේ නැගිටින්නකෝ. අපි සෙල්ලම් ගෙයක්‌ දාමු. අපේ ගෙදරට අද යාළුවෝ ගොඩක්‌ ඇවිත්..." සමින්දගේ මරණය නොතේරුණ ඒ දරුවන් අයියාව තද නින්දෙන් අවදි කරන්නට වෑයම් කරනවා දුටු අයකු මුල්ලකට ගොස්‌ හොඳ හැටි හඬනවා ද දුටුවෙමි.

මෙවන් ගොරතර ඉරණමකට ගොදුරු වන්නට සමින්ද මේ භවයේ නම් පවක්‌ කළේම නැත.

හොඳ දරුවෝ... සුරංගනාවියෝ කලින්ම රැගෙන යනවා යෑයි අපට සිතෙන්නේ එවිටය. එදා නිවසේ කෙළිදෙලෙන් එහෙට මෙහෙට දුව පනිමින්, අම්මේ... තාත්තේ... කියූ පුංචි පුතු අම්මටත්, තාත්තටත්, ආච්චිටත්, සීයාටත් කලින් මරු සමග යන හැටි කෙලෙස නම් බලා සිටින්නද? සමින්ද නිවස පුරා දුව පනිමින් කෑගැසූ හැටි, සිංදු කිව්ව හැටි... අම්මාවයි තාත්තවයි හිනස්‌සපු හැටි සිහිවන විට... ඒ මතකය හිතට දෙන වේදනාව කෙලෙස නම් ඒ අය දරා ගන්නද?

"පුංචි පුතේ නුඹ මියගියේ නිරපරාදේ බව ඇත්ත. දුම්රියපළේ ශබ්ද විකාශනයෙන් කතා කරපු මාමා... ඒ වැරදි නිවේදනය නොකළ නම් නුඹ තාමත් අපි අතරේ. දැන් අපි කාට කාට දොස්‌ කිව්වත්, පොල් ගැහුවත්... නුඹ ආයෙ අපට ලැබෙන්නේ නෑ. ඒත් මේ පුතාට වෙච්ච අපරාදේ යළි කිසිම දිනක නොවිය යුතුමය. වේයන්ගොඩදී මීට මාස කිහිපයකට පෙරාතුව, දුම්රිය පාපුවරුවේ ඇණ ගැලවී පාපුවරුව කඩාවැටී මියගිය තරුණයා ද අපට තවමත් මතකය. නුඹ වගේම ඒ අයියත් මළේ මේ මාමලාගේ වරදිනි. ඒ අයියා පණ ඇද ඇද කිව්වේ... අම්මාට දැන්ම වෙච්ච දේ කියන්න එපා කියලාය. අම්මට මේ දුක උහුල ගන්න බැරිවෙයි කියල ඒ අයියා කී හැටි ද අපට තාමත් මතකය.

පුංචි සමින්ද පුතේ, යකඩ යකා ළං වෙනකොට ඔයාටත් අම්මව, තාත්තව මතක්‌ වෙන්න ඇති. "අනේ මාව බේරගන්න කියලා කෑ ගහන්න ඇති. ඒත්... මාමලාගේ වරදින් පුංචි පුතු මරු ළඟට ළංවෙද්දී යකඩ යකාට හිතක්‌ පපුවක්‌ තිබුණා නම් නුඹ චප්ප කර දමන්නේ ද නැත.

දැන් නුඹ සිටිනු ඇත්තේ සුරලොවය. අම්මාටත්, තාත්තාටත් සැනසෙන්නට ඒ ටික ඇතිය.

නුඹ නිදන හැටි දකින කොට අපට මතක්‌ වුණේ අමරදේව මාමාගේ ගීතයකි.

සන්නාලියනේ... සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ...

කණකොක්‌ තටුවේ

සුදුමැලි පාටින්

සීතල සළුව වියන්නේ...

නුඹගේ වියෝව අප කාටත් මහ වේදනාවකි. දුම්රිය ස්‌ථානාධිපති පවා මේ වියෝවින් කම්පිතය. ගහ කොළ සතා සීපාව පවා මෙවන් අවාසනාවන්ත සිද්ධියකදී ලතැවෙති.

ශිරාන් රණසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.