සංවර්ධන සිහින මැදින්
අප හැර යන වනන්තරේ

යුද්ධය නිමාවෙන් පසු ශීඝ්‍රයෙන් රට තුළ ක්‍රියාවට නැඟෙන සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්‌ මඟින් පාරිසරික අර්බුද රැසක්‌ මතුකරනු පෙනේ. පසුගිය වසර තුන පුරාවට මෙවන් අර්බුද ගණනාවක්‌ ගැන අපි කතාකර ඇත්තෙමු. තව කතාකරන්නටද ඉතිරිව තිබේ. මේ අතරින් වනාන්තර හෙළි පෙහෙළි කිරීම, නොහොත් වනාන්තර හායනය නොහොත් වනාන්තර විනාශය ප්‍රමුඛම ස්‌ථානය බවට පත්ව ඇත. යුද්ධයෙන් අනාථ වූවන් පදිංචි කිරීම සඳහා වනාන්තර බිම් යොදා ගැනීම, නව ගම්මාන සහ නගර ඉදිකිරීම නව මහාමාර්ග ඉදිවීම සහ මාර්ග පද්ධති පුළුල් කිරීම, වැලි, ගල්, පස්‌ නිධි කැණීම, වාණිජ ව්‍යාපෘති, විකල්ප මං මාවත් තැනීම පමණක්‌ නොව, රට තුළ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා ඉදිකිරීමට නියමිත සංචාරක හෝටල ව්‍යාපෘති වෙනුවෙන් යොදා ගැනෙන්නේ බහුතරයක්‌ වනාන්තර බිම්ය. මේ නිසා අද ශ්‍රී ලංකාවේ වනාන්තර බිම් අන්තරායකට ලක්‌ව ඇති අතර මේ වනවිටත් රක්‍ෂිත වනාන්තර ඇතුළු රජයේ කැළෑ ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක්‌ මේ සඳහා බිලි වී තිබේ.

විල්පත්තුව ජාතික උද්‍යානය දෙකඩවන පරිදි මන්නාරම - පුත්තලම (එළුවන්කුලම - මෝල්ලිකුලම) මහා මාර්ගය ඉදිකිරීම, කෝකිලායි අභයභූමිය තුළ නැවත පදිංචිකිරීම් සිදුකිරීම ත්‍රිකෝණමඩු ස්‌වභාවික රක්‍ෂිතය දෙකඩකරමින් වැලිකන්ද (සිංහපුර) සේරුනුවර නව මාර්ගයක්‌ ඉදිකිරීම, දුම්බර (නකල්ස්‌) සංරක්‍ෂිත වනාන්තරයේ පාරිසරික සංවේදී කලාපය තුළ සංචාරක නිකේතන ඉදිකිරීම යනාදිය මෙසේ දැනටමත් වනාන්තර හානියට ලක්‌කරමින් සිදු කෙරී ඇති විවිධ සංවර්ධන කාර්යයන් කිහිපයකි. එසේම, මොරගහකන්ද, කළුගඟ, ඉහළ කොත්මලේ, යාන්ඔය, වෙහෙරගල, රඹකැන්ඔය වැනි ක්‍රියාවට නැඟෙන ජලාශ යෝජනාක්‍රම සඳහාද සැලකිය යුතු වනගහනයක්‌ හානියට ලක්‌වේ. එසේම මොරගහකන්ද, කළුගඟ වැනි ව්‍යාපෘතිවලදී අලිමංකඩ රැසක්‌ වැසී යන බැවින් අලි - මිනිස්‌ ගැටුම් උග්‍රවීමේ අවදානමකට ජනසමාජය දැනටමත් ලක්‌ව තිබේ. එහෙත්, ඉදිරියේදී මෙවන් ජලාශ වනසතුන් ඇතුළු ජලධාරාවල සුපෝෂණ කලාප ලෙසින්ද වැදගත්වන බැවින් මෙයින් වනාන්තරයට වන හානිය යළිත් පියවා ගැනීමේ හැකියාව ඇතැයිද විශ්වාස කළ හැකි නමුත් මෙම ජලාශ ආශ්‍රිත (වන) ඉඩම් සංවේදී කලාපයන් ලෙස නම්කර පවත්වාගෙන යැමේ දැඩි අවශ්‍යතාව පවතී. නොඑසේ නම් මෙම ජලාශ යන්ට බිලිවූ වන හා වනජීවී රක්‍ෂිත ප්‍රදේශ ප්‍රති නිර්මාණය නොවනු ඇත. උඩවලව, ගල්ඔය, වික්‌ටෝරියා - රන්දෙණිගල - රන්ටැඹේ, මාදුරුඔය වැනි වනෝද්‍යාන (රක්‍ෂිත වනාන්තර) බිහිවූයේ මෙසේ ඉදිකළ ජලාශවලට යටවී විනාශ වු වනාන්තරවලට හිලවු වශයෙනි.

මෙවන් සංවර්ධන යෝජනාක්‍රමවලට වනාන්තර බිම් හායනයවීම යම් තාක්‌ දුරකට හෝ සාධාරණීයකරණය කළ හැකි නමුදු, දේශපාලකයන්ගේ, සහ ඔවුන්ට අත්උදව්කරුවන්සේ ක්‍රියාකරන පුද්ගලයන්ගේද, ඇතැම් ව්‍යාපාරික සමාගම්වලට ලබාදෙන මෙරට කැළෑ ඉඩම් සඳහාද කිසි ලෙසකින්වත් සාධාරණයක්‌ පෙන්වාදිය නොහැකිය. නිදසුන් වශයෙන් ගතහොත් සෝමාවතිය සහ මොනරාගල වනාන්තරවල කෙසෙල් සිටුවීම සඳහා එක්‌තරා විදේශීය සමාගමකට මෙරට ඉඩම් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය අමනෝඥ තීරණයක්‌ සේ අපි දකිමු. රජයේ දේශපාලන හිතවතුන්ට ඉඩම් ලබාදීමේ අරමුණක්‌ පෙරදැරිව ගෙන තිබූ තීරණයට අනුව අදාළ විදේශීය සමාගමට සෝමාවතිය, ත්‍රිකෝණමඩු රක්‍ෂිත වනාන්තර සීමාවේ (කන්දකඩු) මහවැලි ගඟට මායිම්වූ ඉඩම් ලබාදී තිබූ අතර ගණ වන වදුල ඒ සඳහා හෙළි පෙහෙලි කරමින් සිටියදී පරිසරවේදීහු සහ ජනමාධ්‍ය ඊට හඬ නැඟූහ.

එසේම වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් බිබිල නිල්ගල ඖෂධීය සවානා වනාන්තරය තුළ මහා පරිමාණ උක්‌වැවීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාවට නැගුණු අතර මොනරාගල ප්‍රදේශයේ දේශපාලනඥයකු සෘජුවම ඊට මැදිහත් විය. අද හෙතෙම ජීවතුන් අතර නැතත් ඔහු ගෙනා එම වනාන්තර විනාශ උත්සාහය එකල පරිසරවේදීන් ජනතා විමුක්‌ති පෙරමුණ හා ජනමාධ්‍යයේ බලපෑම මත හකුලා ගන්නට රජයට සිදුවිය.

එහෙත් අවාසනාවක තරම, යළිත් බිබිල නිල්ගල ඖෂධ වනාන්තරයේ කොටස්‌ කඩා බෙදාදීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාවට නැඟේ. ප්‍රදේශයේම දේශපාලන බලවතෙකු දැන් මෙහි වත්මන් කාර්යභාරය කරට ගෙන තිබේ. වනාන්තරයේ අක්‌කර පන්සියයක පමණ ප්‍රමාණයක්‌ මෙසේ කැබලිකර බෙදාදීම සඳහා පිඹුරුපත් සකස්‌ කර ඇති අතර, දැනටමත් තෝරාගත් ඉඩම්වල මායිම් ගල් පවා දමා ඇත්තේ වන සංරක්‍ෂණ දෙපාර්තමේනතුවේ අඳබාල නිලධාරීන්ගේද සහාය ඇතිව වීම කණගාටුවට කරුණකි. එහෙත් විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ යට ගිය නිල්ගල උක්‌වගා ව්‍යාපෘතිය නැවත මේ හරහා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් පියවර ගෙන ඇති බවයි. එසේ වුවහොත් බිබිල - නිල්ගල ඖෂධීය වනාන්තරයට නැවත හෙනහුරු දසාව උදාවනු ඇත.

මේ අතර නකල්ස්‌ සංරක්‍ෂිත ලෝක උරුම වනාන්තරයේ අඩි 3500 ක්‌ වන සංරක්‍ෂිත සීමාව තවදුරටත් අඩුකිරීමේ සුදානමක දේශපාලනඥයින් නිරතව සිටින බවද කරුණු අනාවරණය වෙමින් පවතී. එසේ වුවහොත් වනාන්තරයේ සංරක්‍ෂිත සීමාවට සාපේක්‍ෂව වනාන්තරය වටා ඇති පාරිසරික සංවේදී කලාපයේ සීමාවද අඩුවන බැවින් එහි ඇති නීති විරෝධී හෝටල්, අවන්හල්, නිවාඩු නිකේතන නීතියෙන් ආරක්‍ෂාකර ගැනීම හෝ තවදුරටත් මෙම සංරක්‍ෂිත සීමාවේ ඉදිකිරීම් සිදු කිරීමටත්, එහි ඇති ඉඩම් කොල්ලයකට සැරසීමත් මෙහි මුඛ්‍ය අපේක්‍ෂාවයි. මේ පිළිබඳව අප කළ විමසීමකදී වන සංරක්‍ෂණ හා පරිසර අමාත්‍යාංශයන්හි ඉහළ පෙළේ බලධාරීන් සඳහන් කළේ එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අවශ්‍යතාවන් උඩ රටේ නීතිය වෙනස්‌ නොකරන බවයි. එහෙත්, දැනටමත් එහි ඉදිවී ඇති අවන්හල් සඳහා නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ කූට වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැඟෙන්නේ පරිසර වේදීන්ගේ විරෝධතා මැදය.

මෙරටේ වනාන්තර විනාශයට මඟ පෑදු තවත් අවස්‌ථාවක්‌ ලෙස අපට හඳුනාගත හැකි වූයේ සිංහරාජ වන අඩවිය හරහා පොතුපිටිය සිට සූරියකන්ද දක්‌වා ඉදිකිරීමට යෝජිත වූ ප්‍රසිද්ධ මාර්ගයයි. මෙසේ මාර්ගයක්‌ ඉදිවූයේ නම් නියත වශයෙන්ම සිංහරාජ අඩවිය ඒ මගින් දෙකඩ වනු නියතය. එසේම ඒ මගින් සිදුවන වන විනාශයද කෙතරම් වේද?

මෙම මාර්ගය යෝජනාවූ අවස්‌ථාවේ පටන් පරිසර ක්‍රියාකාරීහු, ජනමාධ්‍ය නොනවතින අරගලයක්‌ ගෙන ගිය අතර අවසානයේදී පරිසර අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා කමිටුවක්‌ද පත්කරන්නට යෙදිනි. අවසානයේදී කමිටුව මගින් තීරණය කරනු ලැබුවේ යෝජිත මාර්ගය වනාන්තර සීමාව තුළ ඉදිකිරීම නොකළ යුතු බවයි. එනිසා එම තීරණය හකුලාගන්නට මීට සම්බන්ධවූ දේශපාලකයින්ට සිදුවිය.

එසේම, වෙරළ බඩ සහ වනෝද්‍යාන, වන රක්‍ෂිත ආශ්‍රිත වන ඉඩම් බොහෝමයක්‌ අද සංචාරක ව්‍යාපෘති හේතුවෙන් අනතුරට ලක්‌ව තිබේ. රට තුළ සංචාරක කර්මාන්තයට ඇතිව තිබෙන විභවය ඉහළ ගොස්‌ ඇති නිසා සහ එය රටේ අනාගත ධනෝපායන ක්‍රියාමාර්ගයේ ප්‍රමුඛතම ක්‍රියාමාර්ගය නිසා විශේෂයෙන්ම පාරිසරික සංචාරක කර්මාන්තය ඔස්‌සේ තිරසර සංවර්ධන කාර්යයකට පිවිසීමෙන් මෙසේ අනතුරට ලක්‌වන වනාන්තරවලින් වැඩි කොටස ආරක්‍ෂා කර ගැනීමට හැකි වනු ඇත.

කෙසේ හෝ යුද්ධය නිමාවෙන් පසු ක්‍රියාවට නැඟෙන බොහෝ ව්‍යාපෘති හේතුවෙන් වනාන්තර බිම් විශාල ප්‍රමාණයක්‌ සංවර්ධන කාර්යයට යොදවාගෙන ඇති බව පරිසර සංරක්‍ෂණ භාරය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී හඳුනාගනු ලැබ ඇත. එම ප්‍රමාණය අක්‌කර 38000 ක්‌ පමණ වේ. වැලිකන්ද - කන්දකාඩුව කෙසෙල් ව්‍යාපෘති සඳහා අක්‌කර 15000 ක්‌ද, මඩු අභය භූමියේ පස්‌ කැණීම සඳහා අක්‌කර 10 ක්‌ද, පුත්තලම මෝදරවිල්ලුව ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අක්‌කර 245 ක්‌ද නිලාවැලි සිට පුල්මුඩේ දක්‌වා කිලෝමීටර් 10 ක වෙරළ තීරයේ සංචාරක ව්‍යාපෘතියද නිල්ගල බෝඇල්ල රක්‍ෂිතයේ අක්‌කර 505 ක ඉඩම් කට්‌ටි බෙදාදීමද මීට ඇතුලත්ය. එසේම, පානම හා ශාස්‌ත්‍රවේලිය ප්‍රදේශයේ ආරක්‍ෂක අංශවල ප්‍රයෝජනය සඳහා අක්‌කර 840 ක්‌ වෙන්කර ඇති බව හා වාකරේ කලපුව ආශ්‍රිත කඩොලාන වනාන්තර අක්‌කර 70 ක්‌ පමණ ඉස්‌සන් ගොවිපළ සඳහාද ලබාදෙනු ඇත. තවද සංචාරක ව්‍යාපෘති සඳහා මන්නාරම යෝධ වැව රක්‍ෂිතයෙන් අක්‌කර 187 ක්‌, පාසිකුඩා හෝටල් ව්‍යාපෘතිය සඳහා අක්‌කර 300 ක්‌, පුත්තලම කළපුව කඩොලාන පරිසර පද්ධතියෙන් ලුණු ව්‍යාපෘතියක්‌ සඳහා අක්‌කර 250 ක්‌ ලබාදීමට යෝජිතය, එසේම ත්‍රිකුණාමලය සලපයාරු කලපුව ආශ්‍රිත වනාන්තර බිම් අක්‌කර 1800 ක්‌ද ලුණු ව්‍යාපෘති සඳහා ලබාදීමටත්, සාම්පූර් ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා තවත් අක්‌කර 12500 ක්‌ වෙන්කර තබා ගැනීමටත් නියමිත අතර, සිලාවතුර ප්‍රදේශයේ වනාන්තර සහිත ඉඩම් අක්‌කර 6000 ක කජු වගාකිරීමේ වැඩසටහනක්‌ද ක්‍රියාත්මක කිරීමට ඉඩම් වෙන්කර තිබේ. මේ අනුව රටට වැදගත් හෝ නොවැදගත් යන කුමන හෝ මෙවන් ව්‍යාපෘතීන් සඳහා විනාශ කර දැමීමට සිදුව ඇත්තේ රටේ සමස්‌ත වනගහනය ලෙස අද ඉතිරිව ඇති 22% ක්‌ පමණ වූ වනගහනයෙන් හෙළි පෙහෙළි කරන ඉඩම්ය.

රටේ සමස්‌ත වනගහනය (හරිත ආවරණය) වර්තමානයේදී 22% ක්‌ යෑයි රජය ගණන් බලා ඇති අතර ඒ තුළ ගණ වනගහනය (රක්‍ෂිත වනාන්තරවලට ගැනෙන) ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයකි. වන සතුන්ගේ වාස භූමි, ජල පෝෂක වනාන්තර, පිරිසිදු වාතය මුදාහැරීම ඇතුළු අත්‍යාවශ්‍ය වන භාවිතය සඳහා ඇත්තේ මෙවන් සුළු වනාන්තර ප්‍රමාණයක්‌ නම්, අපට එය රැකගැනීමේ අවශ්‍යතාවක්‌ නොමැත්තේද? සංවර්ධන අවශ්‍යතාද ඉටුවිය නමුත්, වහාම තිරසාර සංවර්ධනයකට යොමුවීම හා එක්‌ එක්‌ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ පටු මතධාරීන්ගේ අවශ්‍යතාවන්ට ගැති නොවී රටේ වනගහනය දැඩි නීති පද්ධතියකින් ආරක්‍ෂා කිරීම රජයේ දැඩි වගකීමකි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප පරිසර සංරක්‍ෂණ භාරය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.