රජ කඩුවක්‌ හොයන රටේ - මිසදිටු බණ කනට වැටේ!

මහා නිධාන හෝ දඹරන් පිළිම
පුරාවිද්‍යාඥයන්ට කවදාවත් හමුවෙලා නෑ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබ`ද
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි




මෑත ඉතිහාසයේ දැවැන්තම පුරාවස්‌තු හානිය නිදන් සොයා යන අපරාධ කාරයින් අතින් මේ වනවිට සිදුවෙමින් තිබේ. මේ අතර නිදන් නමින් මහා වස්‌තු සම්භාරයන් ඇතැයි යන මතය ප්‍රභල ලෙස සමාජගත වෙමින් ඇත. මේ පිළිබ`දව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබ`ද ඡේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් සමග කළ සංවාදයක සංක්‌ෂිප්ත සටහනක්‌ මෙසේ පල වේ.

නිදන් කියන දේවල් තියනවාද?

ඉතා පැහැදිලිව ලියන්න. නිදන් කියලා කිසිම දෙයක්‌ නෑ. පුරාවිද්‍යාඥයින් විදිහට සියවසකට අධික කාලයක්‌ විෂය ගැන ප්‍රාමාණිකයො මේ පුරාවිද්‍යා භූමිවල කැණීම් කළා. සංරක්‌ෂණ කටයුතු කළා. ඒවත් සමග ජීවත් උනා. නිදන් පිළිබ`ද කිසිම තහවුරු කළහැකි පුරාවිද්‍යාත්මක සාධකයක්‌ නෑ. මෙය පූර්ණ මිත්‍යාවක්‌.

සංකල්පයක්‌ ඉබේ සමාජගත වෙන්නෙ නෑ. නිදන් නෑ කියලා ඔබවහන්සෙ කියනවා. ඒත් නිදන් තිබේය වන විශ්වාසය ඉතා ප්‍රබලව සමාජගත වූවක්‌.

මේ ගැන පුළුල් පැහැදිලි කිරීමක්‌ කරන්න අවශ්‍යයි. නිදන් කියන වචනයේ තේරුම යහපත් අර්ථයෙන් යමක්‌ තැන්පත් කිරීම කියන එකයි. ඒත් මේ මහා විනාශයක්‌ කරමින් සිදුවෙමින් ඇති හෑරීම සිද්ධවන්නේ මිථ්‍යා දෘෂ්ටික විශ්වාසයන් පදනම් කරගෙනයි. අතීත හින්දු විශ්වාසයන් තුළ මංගල වස්‌තූන් ගැන විශ්වාසයක්‌ තිබුණා. අෂ්ඨ මංගල කාරණා පිළිබ`ද අදහස්‌ ඒ සමාජය තුළ තදින්ම මුල් බැසගෙන තිබුණා. එම මංගල වස්‌තු තැන්පත් කළාම සශ්‍රීකත්වය හා වාසනාව ලැබේය කියන අදහස පැවතුනා.

දැකීමෙන් සුබ ඵල ගෙනදෙන දිට්‌ට මංගල කාරණා, ඇසීමෙන් සුබ පල දෙනු ලැබෙතැයි අදහන සුත මංගල කාරණා, ස්‌පර්ෂයෙන් සුබ පල දෙන මුත මංගල කාරණා ගැන මිනිස්‌සු විශ්වාස කළා. මේ විශ්වාස පැවතුනේ බුදුන් ලෝකයේ පහළ වන්නටත් පෙර කාලයෙයි. ඒත් මේ සංකල්ප සියල්ලම බුදු දහමෙන් නිෂ්ප්‍රභ කළා. බාලයන් ඇසුරු නොකිරීම, පණ්‌ඩිතයන් සේවනය කිරීම, පිදිය යුත්තන් පිදීම වැනි මංගල කාරණා 38 පිළිබ`ද ඉතාම විශිෂ්ට නිර්වචනයක්‌ බුදු හාමුදුරුවො මංගල සූත්‍රයෙන් කළා. භෞතික වස්‌තු වලින් කිසිම මංගල කාරණාවක්‌ උපදින්නෙ නැති බව උන්වහන්සෙ කිව්වා.

නමුත් මංගල කාරණා ගැන සම්මුතීන් තවමත් අපේ සමාජයෙ තියනවා.

එහෙම උනේ අපේ සංස්‌කෘතිය බොහෝවිට පෝෂණය උනේ හින්දු සංස්‌කෘතියත් එක්‌ක හින්දා. ඒ නිසා හින්දූන්ගේ සමහර විශ්වාස හා අභිචාරවිධි අපේ ජීවිතවලට බලපාල තිබුණා. අප දාගැබක නිදන් කළේ සර්වඥ ධාතු. නැත්නම් ධර්ම ධාතු. ඒ ධාතු නිධාන උත්සව වලදි පූජා අර්ථයෙන් තමුන්ගේ මාල, කරාබු, ධර්ම පාඨ ලියූ පත්‍රිකා උපාසක පිරිස්‌ විසින් පූජා කළා. මේ පුරා වස්‌තු හැරෙන්න රජුන් භාවිත කළ මුතු මැණික්‌ රාජාභරණ හෝ වෙනයම් මහා වටිනාකමක්‌ සහිත භාණ්‌ඩ කිසිවක්‌ මෙතෙක්‌ අපට හමුවී නැහැ. එහෙම වස්‌තු සම්භාරයක්‌ ගැන කියෑවෙනා ශිලා ලේඛන හෝ වෙන මොනම ඓතිහාසික සාධකයක්‌වත් නැහැ.

එහෙත් නිදන් වදුල කියලා ග්‍රන්ථ විශේෂයක්‌ තියනවා. නිදන් ඇති ස්‌ථාන ගැන සලකුණු සහිත හැ`දින්වීම් එහි ලේඛනගත වෙලා තියනවා.

නිදන් වදුල කියන්නෙ අපේ මහා සාහිත්‍යයේ එන එක්‌තරා සාහිත්‍යාංගයක්‌. මේ සාහිත්‍යාංගය පහළවන්නේ අපේ චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය පිsරිහිලා යන 17 හා 18 සියවස්‌වල. මේ වකවානුවේදි යම් සාක්‌ෂරතාවක්‌ සහිත ලේඛනකරුවන් තම සාහිත්‍ය සංකල්පනා මත පිහිටලා මෙම කෘති සම්පාදනය කළේ රටේ එවකට සිටි ප්‍රභූ පැලැන්තියෙන් වරප්‍රසාද ගන්න. මේ වදුලූ පොත්වල යම් සලකුණු ගැන ස`දහන් වෙනවා. මේ සෑම සලකුණක්‌ම අතීතයේ දේශ සීමා ලකුණු කිරීම ස`දහා යොදාගත් සංකේත මිසක්‌ නිදන් සහිත ස්‌ථාන නොවෙයි. උදාහරණ විදියට අදටත් නම කියෑවෙන රත්නපුරයේ අටකලම්පන්න කෝරලේ සීමා ලකුණු වෙලා තිබ්බේ ලේනෙකුගෙ සලකුණකින්. කලන්ද කියන්නෙ ලේනා. කලන්ද නොහොත් ලේනාගේ සංකේතයෙන් මේ කෝරලේ කඩඉම් ලකුණු වුණ නිසා එය අටකලම්පන්න ලෙස නම් කළා. රත්නපුරේ අතීත නාමය නවයොදුන් රට. නවයොදුන් රටේ සීමා ලකුණු උනේ නාගයගෙ සලකුණෙන්. හ`දපාන්ගොඩ ප්‍රදේශය කඩඉම් සීමා ලකුණු උනේ චන්ද්‍ර සංකේතයෙන්. සීතාවක බැරුන්ඩි කෝවිලේ සීමා ලකුණ ගිරවා. මේවා නිදන් ගැන කියන සංකේත නෙමෙයි. සමහර සෙල් ලිපිවල බල්ලන්ගෙ කපුටන්ගෙ සලකුණු තියනවා. ඒ සලකුණු වලින් කියන්නේ සාංඝික දේපල හොරා කෑවොත් බල්ලන් හා කවුඩන් සේ උපදින බවට වන සංකේතාත්මක ප්‍රකාශනයන්.

එහෙනම් මිනිස්‌සු ජීවිතත් අවදානමට දාගෙන මේ හාරන්නෙ ඇයි?

කරුණු කීපයක්‌ නිසා. එකක්‌ ඉතිහාසය ගැන තියන වැරදි අවබෝධය. 1982 ඉ`දලා 95 වෙනකම් මේ රටේ ඉතිහාසය ඉස්‌කෝල වලින් ඉගැන්නුවෙ නෑ. මේ මිනිස්‌සු තමයි අද අවුරුදු තිහ හතලිස්‌පහ අතර ඉන්නේ. මේ නොදැනුවත් මිනිස්‌සු අතිනුයි මේ අපරාධය සිද්ධවෙන්නෙ. තවත් කාරණාවක්‌ තමයි කුඩු විකුණලා ජාවාරම් කරලා කළු සල්ලි හම්බුකරන මිනිස්‌සු තමුන්ගෙ සල්ලි සුදු කරගන්න නිදන් හා ධන සම්භාර ලැබීම් පිළිබ`ද මිථ්‍යා මත පළ කිරීම. අනෙක්‌ කාරණාව රන් කහවනු වැනි නිදන් වලින් ලැබෙනවායි සමාජගත කර තියන දේ වල ආකෘති නිර්මාණය කර හොර රහසේ අලෙවි කිරීම. මේ සියල්ලටම වඩා මාධ්‍ය මගින් කෙරෙන දඹ රන් ප්‍රතිමා ගැන කියෑවෙන ප්‍රකාශ මේ අදහස්‌ තහවුරු කිරීමට බලපා තියනවා. මේ ප්‍රකාශ මාධ්‍යයට දෙන්නෙ පුරාවිද්‍යා දැනුමක්‌ රහිත පොලිස්‌ නිලධාරීන්. ඔබ දන්නවද?. මෙතෙක්‌ ලංකාවේ කිසිම තැනකින් කවදාවත් දඹ රන් හෙවත් තනි රනින් කළ පිළිම හමුවෙලා නෑ. අපට හමුවන්නේ රන් ආලේපිත ලෝහ පිළිම. මේවයේ තියෙන්නෙ කෞතුක වටිනාකමක්‌ පමණයි.

අනෙක අභිචාර විධි පිළිබ`ද තියන විශ්වාසය. දුටුගැමුණු රජතුමාගෙ කඩුව තියනවානම් සදාකාලිකව බලයේ ඉන්න පුඵවන් කියන විශ්වාසයක්‌ දැන් පැතිරිලා යනවා. සදාකාලිකව බලය තියාගන්න නම් පාලකයින් කියනදේයි කරන දේයි අතර පරතරය අඩු කරගන්නවා මිසක්‌ කඩු හොයලා වැඩක්‌ නෑ. දුටුගැමුණුට සදාකාලිකව බලයෙ ඉන්න පුළුවන් කඩුවක්‌ තිබුණනම් රුවන්වැලි සෑය හදලා ඉවරවෙන්න කලින් මිය යන්න ඕන නෑ. සද්ධාතිස්‌සගෙ පැත්තෙන් පරම්පරා දෙකක්‌ යනකොට දුටුගැමුණු රාජවංශයම අතුරුදහන් වෙන්න ඕන නෑ. සද්ධාතිස්‌සගෙ පුතා වලගම්බා. වලගම්බාගෙ පුතා චෝරනාග. චෝරනාග මැරෙන්නෙ ඔහුගෙ බිසව වන අනුලා වහ දුන්නු නිසා. එතනින් එපිටට ඒ රාජ පරම්පරාව ඉවරයි. දුටු ගැමුණුටවත් වැඩක්‌ නැතිවුණ කඩුවක්‌ දැන් හොයන්නෙ ඇයි. රටම ඉන්නෙ මහා මිථ්‍යාවක.

ඔබවහන්සේට අනුව නිදන් තියනවා කියලා සමහරු කරන ප්‍රකාශ මිථ්‍යා දෘෂ්ටිකද?.

පැහැදිලිවම මේ ප්‍රකාශ මිථ්‍යා දෘෂ්ටිකයි. විශේෂයෙන්ම බෞද්ධ හිමි නමක්‌ තමුන්ගේ පුද්ගලික වාසි තකා එහෙම ප්‍රකාශයක්‌ කීරීම ජාතියේ අවාසනාවක්‌. මේ ප්‍රකාශය කළේ එල්ලාවල හාමුදුරුවො. පුරාවිද්‍යාව පිළිබ`ද ශාස්‌ත්‍රීය දැනුමක්‌ හෝ ශික්‌ෂණයක්‌ උන්වහන්සේට නැතිඋනාට උන්වහන්සේ විවිධ ස්‌ථාන ගවේෂණය කරමින් පුරාවස්‌තු පිළිබ`ද පුරාවිද්‍යාවට ඔත්තු සැපයූ හො`ද ඔත්තු කරුවෙක්‌. ඒ අංශයෙන් උන්වහන්සේ පුරාවිද්‍යාවට සේවයක්‌ කළ බව පිළිගත යුතුයි. එහෙත් ආණ්‌ඩුවේ පාර්ශවකාරයෙක්‌ ලෙස තමුන්ගෙ රාජ්‍ය පාක්‌ෂික කම පෙන්වන්න, තනතුරු හෝ වරප්‍රසාද අරගන්න, අපවත් වෙනකල්ල සැප වි`දින්න හිතාගෙන මේ කරපු ප්‍රකාශය කිසිසේත්ම සුදුසු නෑ. මොකද මේ මොහොත ජාතියක්‌ වශයෙන් මේ මහා ව්‍යසනයට මිනිස්‌සු නැගී සිටින්නට සූදානම් වන මොහොතක්‌. අපි සමාජයක්‌ විදිහට අපේක්‌ෂා කළ යුත්තේ ඒ වගේ පරිසරයකුයි. මේවගේ මොහොතක ඒ සමාජ බලවේගය දියකරලා හරින්න කිසිම පදනමක්‌ නැති මෙහෙම ප්‍රකාශ කිරීම මහා ප්‍රතිගාමී ක්‍රියාවක්‌.

ජානක ලියනආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.