පුරා විද්‍යාව කන්ඩද ආයුබොවං!

පොළොන්නරුවේ අංක 13 ඓතිහාසික ශිව දේවාලය විනාශ කර දමා තිබිණි. ඒ කාලකණ්‌ණි දැකුම දකිමින් හිඳිමු. නැගෙනහිරට මුහුණ ලා ඇති ශිව දේවාලයේ ප්‍රධාන ප්‍රවේශයේ සිට බලන විට සිදුව ඇති විනාශය පෙනේ. හාරා ඇත්තේ අනේක බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවන දේවාලයේ ඇතුළු ගර්භයයි. එහි පිහිට වූ ශිව ලිංගයත් යෝනි ගලත් ඉවතට ඇද දමා ඇත. ගලවා දැමූ සෙල්මුවා පුවරු කණිනු ලැබූ වළට නුදුරින් දමා තිබේ. ගේට්‌ටුව අභියස යම් අබිචාරයක්‌ කර ඇති ලකුණු ඇත. කැලෑවේ සිට ඇද ඇති තුන්පට නූලක ශේෂයන් ඒ බව කියා පායි.


අංක 13 ශිව දේවාලය

ඇතුළු ගර්භය බිඳ දමා ඇති අයුරු

බිඳ දැමූ දේවාලයේ
අතුළත පෙනුම

දෙනෝදහක්‌ යනෙන හතමුණ හන්දියේ සිට හිඟුරක්‌ගොඩ දක්‌වා වැටී ඇති ප්‍රධාන මගට නුදුරින් වන මේ ඓතිහාසික ශිව දේවාලය මීට මාස කීපයකට ඉහතදී ද යම් පාදඩයින් පිරිසකගේ විනාශයට ලක්‌ වී තිබිණි. මහා සංග්‍රාම ප්‍රයාමයන්ගෙන් අනූන මධ්‍යකාලීන ලංකාවේ අප්‍රමාණ උවදුරුවලින් රක්‌ෂා වී සියවස්‌ අටකට වඩා වැඩි කාලයක්‌ යුගයෙන් යුගයට ගලා ගිය වාර්ගික සහජීවනයේ ප්‍රකාශනයක්‌ බඳු මේ උත්තුංග පුදබිම් දෙනෝ දහකගේ දෑස්‌ ඉදිරියේ විනාශ වී යන ආකාරය දැකීමේ පව්කාරකම කොපමණ විශාලදැයි දැනෙන්නේ ඒ අත්දැකීමට මුහුණ දෙන විටය.

පුරාවස්‌තු විනාශය පිළිබඳ වන හුදකලා සිදුවීම් ඉතිහාසය පුරා මේ සමාජය කොතෙකුත් අත්දැක ඇත. එවැනි හුදකලා සිදුවීමක්‌ ලෙස රුවන්වැලි සෑයේ ගර්භය බිඳ දැමුවද එය විඳගත හැකිය. එහෙත් දැන් මේ සිද්ධ වෙමින් ඇති තුච්ඡ අපරාධ, පෙළ ගැසෙන්නේ හුදකලා සිදුවීම් ලෙස නොව, රටේ ඉහළ සිට පහළටම නිර්මාණය වී ඇති මහා පුරාවස්‌තු සංහාරයේ පහසු හා සරල ගොදුරු ලෙසය. මාඝ හෝ චන්ද්‍රභානු හෝ පසුකාලීනව පරංගින් හෝ මේ රටේ උරුමයට කළ විනාශය දැන් අපි සජීවීව අත්දකිමින් නොඉ`දින්නේදැයි සිතේ. මේ විනාශය සිදු වූ දිනම කවුඩුල්ල රක්‌ෂිතය ද පුරාවස්‌තු කොල්ලකරුවන්ගේ විනාශයට ලක්‌ වී තිබු බව කියෑවිනි. මේ වසරේ ආරම්භයේ සිට මේ ලියන මොහොත දක්‌වා වාර්තා වී ඇති පුරාවස්‌තු විනාශයන්ගේ ප්‍රමාණය එකසිය දහතුනක්‌ ඉක්‌මවා ගොස්‌ ඇත. අත්අඩංගුවට පත් කාලකණ්‌ණින්ගේ ගණන තුන්සිය හැට අටකි. ඒ දිනපතා වාර්තා නොවන සිය ගණනක්‌ පුරාවස්‌තු සංහාරයන්ට අමතරවය.

මේ වන විට ඓතිහාසික පොළොන්නරු රාජධානියේ අංක දෙක ශිව දේවාලයට ඉදිරියෙන් වන වල් වැදීගිය පුරාණ ප්‍රාකාරයත්, දිය අගලත්, එක්‌ කරන පුරාණ නැගෙනහිර ගේට්‌ටුවට ඉදිරියෙන් වූ පබළුවෙහෙර රක්‌ෂිතයේත් තිවංක පිළිමගෙයට යාබද රක්‌ෂිතයේත් විධිමත් පර්යේෂණයකට ලක්‌ නොකළ පෙදෙස්‌හි වනසා දමා ඇති පුරා ස්‌මාරක ප්‍රමාණය පහළොවකට ආසන්නය. පොත්ගුල් වෙහෙරේ පැරකුම්බා ප්‍රතිමාව සහිත පටු ගල් පවුරේ මායිම නිධන් ගල ලෙස හඳුන්වා එය කැඩීමට ඇසිඩ් වත්කොට ඇති ආකාරයත් ස්‌ථාන කීපයක්‌ කුළුගෙඩි පහරින් වනසා ඇති ආකාරයත් තවමත් දැකගත හැකිය. පොත්ගුල් වෙහෙර ප්‍රාකාරයට නුදුරින් රක්‌ෂිතයේ බේබදු සල්ලාලයන් විසින් කඩා කැබලි කර ස්‌වකීය ආසනවලට හරවා ගත් ගල්කණු විසිරී ඇත. මේ ආකාරයේ අප්‍රකට විනාශයන් උක්‌ත පොලිස්‌ ලේඛනයන්හි සටහන් වන්නේ නැත.

ඓතිහාසික මධ්‍යකාලීන රාජධානිය කේන්ද්‍රගත පොලොන්නරුවේ හ`දුනා ගත් නටබුන් සහිත ප්‍රදේශය වර්ග කීලෝමීටර කීපයකට සීමා වන්නකි. මේ ප්‍රදේශයේ රක්‌ෂාවරණය ස`දහා පොලිස්‌ මුරපළක්‌ තිබේ, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවල්කරුවන් සහිත ආරක්‌ෂණ යාන්ත්‍රණයක්‌ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක බව පැවසේ. මෙවැනි වටපිටාවකදී පබළු වෙහෙරේ ප්‍රතිමාවල ශීර්ෂ කඩාගෙන යයි. මුරගල් අතුරුදන් වේ. කිසිවෙකු නොදැන රක්‌ෂිතයේ පුරාවස්‌තු විනාශ වේ. මෙහි අලුත්ම ගොදුර අංක 13 ශිව දේවාලයය.

මේ සරල කාරණා කිහිපය හෙළිකරනා යථාර්ථයක්‌ තිබේ. එනම් මේ හැම එකෙක්‌ම මේ කාලකණ්‌ණි අපරාධ හමුවේ රට රවටමින් හිඳිනා බවය. විලච්චියට ගොස්‌ නිධන් හාරන්නට තැත් කිරීමෙන් අනතුරුව විලච්චියේ මිනිස්‌සුන් විසින් නන්නත්තාර කරන ලද විශේෂ කාර්ය බළකායේ - රාජකාරිය පැහැදිලි කිරීම සඳහා පොලිස්‌පතිවරයා පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ රාජකාරිය භාරගන්නේය. ඒ ඓතිහාසික ප්‍රවේශය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයා විසින් අපරාධයක්‌ පරීක්‌ෂා කිරීම සඳහා පුරාවිද්‍යා කණ්‌ඩායමක්‌ යෙදවීම බඳු වටිනාකමක්‌ සහිත එකකි.

කිරි බුබුලක්‌ බඳුව විදුලියෙන් ආලෝකවත් වන ජාතික කෞතුකාගාරය බිඳී සලකුණකුදු නොතබා කඩු හා පුරාවස්‌තු දෙසීය විසිදෙකක්‌ අතුරුදන් වන්නේය. පුරාවස්‌තුවලට හානි කිරීම ඇප නොදිය හැකි වරදක්‌ව තිබියදී සෙට්‌ටිකුලමේ පුරාවස්‌තු සංහාරකයන්ට ඇප ලැබෙන්නේය. මේ අතර නිධන් ගැනීමේ අයිතිය රජය සතු බවට වන නිඝන්ඨ ප්‍රකාශ ඇසෙන්නේය.

පොළොන්නරුවේ අංක 13 ශිව දේවාලය බිඳ දැමෙන්නේ මෙවැනි පරිසරයක්‌ තුළය.

පොලීසියේ හැසිරීම

වාර්තා වන පරිදි අංක 13 ශිව දේවාලය 13 වනදා ඉරිදා රාත්‍රියේ බිඳ දමනු ලබන බවට වන ඔත්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවල් කරුවන් මගින් දැනගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලිස්‌ ඒකකය වෙත අදාළ අංශ විසින් දැනුම් දෙන්නේ එදින සවස 5.30 ටය. පොළොන්නරුවේ සිදුවන පුරාවස්‌තු සංහාරය සම්බන්ධව කදුරුවෙල පොලීසිය ප්‍රකට කරනා ජුගුප්සාජනක හැසිරීම් සහිත ඉතිහාසය නිසා මේ සම්බන්ධව විශේෂ වැටලීමක්‌ කරන්නට වෙනත් පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ යෙදවීම සඳහා වන ඉල්ලීමද ඒ සමග ඉදිරිපත් වී තිබිණි.

එහෙත් එදින රාත්‍රියේ මේ පිළිබඳව සොයා බැලීමට යොදවනු ලබන්නේ පොළොන්නරුව ගල්විහාර පොලිස්‌ මුරපළේ සැරයන් වරයෙක්‌ හා ග්‍රාම ආරක්‌ෂක භටයන් දෙපළකි. ඔවුන් එම ස්‌ථානයට යන විට ඔත්තුකරුවා කී ආකාරයටම ශිව දේවාලය හාරා තිබූ අතර උදලු, ගල් ඉනි, පෝරඋර හා වතුරබෝතල් එතැනම දමා අපරාධකරුවන් සැඟවගොස්‌ සිටි බව කියෑවිනි. මේ භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීමටවත්, නැවත මේ අපරාධකරුවන් පැමිණෙතැයි යන සාධාරණ උපකල්පනය මත පිහිටා මෙම ස්‌ථානය අසල රැකසිටීමටවත් උත්සාහ නොකළ පොලීසිය එතැනින් පිට වී ගිය ආකාරය වාර්තා විය. පසුවදා උදෑසන නැවත පැමිණි අපරාධකරුවන් මේ අපරාධය සඳහා යොදාගත් සියලුම භාණ්‌ඩද රැගෙන සැ`ගව ගොස්‌ තිබුණි.

පොලීසිවල ඉන්නේ බබාලා නොවේ. වර්ෂ 1983 දී යළි තහවුරු කර ගොඩනගනු ලැබූ මේ පුරා ස්‌මාරකය හාරා හොයාගතහැකි කෙමනක්‌ නැති බව නොදන්නා නමුත් අපරාධයක්‌ සිදුවූ ස්‌ථානයක්‌ අසලදී හැසිරිය යුතු මූලික සිද්ධාන්ත පොලීසියේ රාජකාරියට නාකි වූ උදවිය නොදැන ඉන්නට ඉඩක්‌ නැත. වැඩේ සිද්ධ වූ පසු පොලිස්‌ බල්ලන් රැගෙනවිත් රටට පෙනෙන්ට රැඟීම මොනතරම් ලාභදායක ක්‍රමයක්‌දැයි හැඟෙන්නේ කදුරුවෙල මිනිස්‌සුන් කියනා කතා ඇසෙන විටය.

සංහාරයේ රැල්ල

මේ කිසිවක්‌ හුදකලා සිදුවීම් නොවන බව යළිත් කිවයුතු වන්නේ පුරාවස්‌තු විනාශයන් මෙන්ම ඒ හා බැඳුණු පසු පර්යේෂණ හා හැසිරීම්වල පවත්නා පොදු රිද්මය පෙනෙනා විටය. පුවත්පත් සාකච්ඡා පවත්වමින් සිදුවීම් වල බර වසාගැනීමට කෙරෙනා දුර්වල උත්සාහයන් දකිනා විටය. නිධන් වස්‌තු හා පුරාවස්‌තු යන දෙකොට්‌ඨාසයක්‌ ඇති බවත් පුරාවස්‌තු විනාශ කිරීම අපරාධයක්‌ වුවද නිධන්වස්‌තු ගැනීමේ අයිතිය රජය සතු බවත් රජය කළ යුත්තේ සංවිධානය වී මේ නිධන් වස්‌තු ගොඩගැනීම බවත් එවිට මිනිසුන් නිදන් හාරන්නේ නැති බවත් කියෑවෙනා අශාස්‌ත්‍රීය මුග්ධ ප්‍රකාශ ඇසෙන විටය.

මේ රටේ කිසිම පුරාවිද්‍යාඥයෙක්‌ නිධන් වස්‌තු ගැන දන්නේ නැත. නිධන් වස්‌තු දැක නැත. දන්නේ පුරාවස්‌තු ගැනය. පුරාවස්‌තු මොනවාද, නිධන් වස්‌තු තිබේ නම් ඒවා මොනවාද, නිධන් තිබේ නම් ඒවා අතීත මානව කෘතීන් නොවන්නේද, ඔය කියන නිධන්වස්‌තුවක්‌ පුරාවස්‌තුවක්‌ නොවන්නේ කෙසේද යන තර්ක මත පිහිටා ප්‍රශ්න කළහොත් මේ උන්නාන්සේලා මොනවා වදාරනු ඇත්දැයි අපට හිතාගන්නට නොහැක. කඩේ වඩින්නට කට අරින්නට ප්‍රථම බොහෝ දේ කල්පනා කළයුතු බව දැන්වත් අවබෝධ වන්නේ නම් එය රටට සේම මුන්වහන්සේලාටද යහපතකි. අපට ගැටලුව ඇත්තේ මේ ඇසෙන කතා ගැන නොවේ. අනවශ්‍ය සමාජ වටිනාකමක්‌ සහිතව චරිත නිර්මාණය කර ඒවා කරඬු සේ වඩම්මවාගත් මේ රටේ පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ බූරුවන් පිළිබඳවය.

ඉතින් අපි කුමක්‌ කරමුද?

ජාතික උරුමය හා ජාතියේ අනන්‍යතාවය ගැන කියෑවෙන කාරණා මෑත ඉතිහාසයේ නොවූ තරම් බරපතළ අර්බුදයකට පත්ව ඇත්තේ මේ මොහොතේය. හෙට උදේ ගල්විහාරයේ ප්‍රතිමා වහන්සේ කුඩු පට්‌ටම් කළද, අනුරාධපුරයේ සමාධි පිළිම වහන්සේගේ සිරස කඩාගෙන ගියද, අවුකන ප්‍රතිමාවහන්සේගේ හදවත සිදුරු කර නිධන් සොයනු ලැබුවද බලා සිටිනවා හැරෙන්නට කරන්නට දෙයක්‌ නැත්නම් මේ මොහොතේ මේ රටට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක්‌ වැඩක්‌ නැත. කොන්ද කෙළින් තබාගෙන තීන්දුවක්‌ ගත නොහැකි තරමේ දේශපාලන හෝ වෙනයම් බලපෑමකට යටත් වියයුතු නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයෙක්‌ වැඩක්‌ නැත.

මෙබඳු පරිසරයකදී පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකට ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කළ හැකි ප්‍රායෝගික කටයුත්තක්‌ තිබේ. එනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා ආප්ප කඩයක්‌ දමා ගැනීමය.

ජානක ලියනආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.