උගුරට හොරා බේත් කෑම හෙවත්
උතුරට දෙන විසඳුම!



දශක ගණනාවක්‌ පැවැති යුද්ධය නිමවී වසර තුනක්‌ සපිරෙන මේ මොහොතේ උතුරට දේශපාලන විසඳුමක්‌ ලබාදීමේ උනන්දුව ආණ්‌ඩුවට මෙන්ම විපක්‍ෂයට යළිත් ඇතිවී තිබේ.

දෙපාර්ශ්වය තුළ මේ ඇතිවී තිබෙන්නේ සැබෑ උනන්දුවක්‌ද එසේත් නැතිනම් විවිධ බලපෑම් මත පටු අරමුණු ඉටුකර ගැනීමේ තාවකාලික උනන්දුවක්‌ ද කියා ඉතිහාසය දෙස බලන ඕනෑම අයකු තුළ සැක මතුවිය හැක.

උතුරු - නැගෙනහිර අර්බුදයට විසඳුමක්‌ සෙවීම වෙනුවෙන් බලයට පැමිණි ආණ්‌ඩු මෙන්ම විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ද වරින් වර සිය කාලය, ශ්‍රමය, ධනය, වැයකරමින් විවිධ කතිකාවන්ට මුලපුරන ලදී.

සර්වපාක්‌ෂික සමුළු, කොමිෂන් සභා, විද්වත් මණ්‌ඩල, පත්කරමින් ඒ සියල්ලෙහි නිර්දේශ හා වාර්තා ලබාගෙන දේශපාලාන විසඳුමක්‌ සැකසීමට පියවර ගත්තත් මේ මොහොත වනතෙක්‌ විසඳුමක්‌ ඇතිකර ගැනීමට හැකිවී නැත.

ඉතිහාසය දෙස බලනවිට බණ්‌ඩාරනායක - චෙල්වනායගම්, සිරිමා - ශාස්‌ත්‍රී වැනි ගිවිසුම් මගින් ද මෙම අර්බුදයට විසඳුම් සෙවීමට එවකට සිටි නායකයෝ උත්සාහ කළත් එකිනෙකා අතර විශ්වසනීය තත්ත්වයක්‌ නොමැතිකම නිසා ඒ සියල්ල අසාර්ථක වී රට අවාසනාවන්ත ඉරණමකට තල්ලුවිය.

අතීතය එලෙස අනවබෝධයෙන් ගමන් කළත්, එකිනෙකා අතර විශ්වාසය ගොඩනඟා ගැනීමට නොහැකි වුවත් අද ඒ විශ්වාසයට තහවුරු කරගෙන සියලු ජනකොටස්‌වලට පිළිගත හැකි දේශපාලන විසඳුමක්‌ ලබාදිය යුතු කාලය උදාවී තිබේ.

දශක තුනකට අධික කාලයක්‌ මේ රට වෙලාගෙන සිටි ත්‍රස්‌තවාදය නිමා කරමින් ඇතිකරගත් ඒ ස්‌වර්ණමය අවස්‌ථාව ආරක්‌ෂා කරමින් සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ සියලු ජන කොටස්‌වලට ශ්‍රී ලාංකීය අනන්‍යතාවය යටතේ ජීවත්වීමට හැකි පරිසරය නිර්මාණය කර දීම අද යුගයේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වී ඇත.

මේ අරමුණු ඉටුකර ගැනීමට යන ගමනේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්‌ඩුවටත් විශේෂ නායකවරයා ප්‍රමුඛ විපක්‍ෂයටත් විශාල වගකීම් සම්භාරයක්‌ පැවැරී ඇත. මෙහිදී දෙපාර්ශ්වයම සැබෑ අවංක වුවමනාවකින් කටයුතු කළ යුතුය.

දේශපාලන විසඳුමක්‌ වෙනුවෙන් මෙතෙක්‌ ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වූ නිසා එහි වගකීම පාර්ලිමේන්තුවට භාර කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට ආණ්‌ඩුව පසුගිය කාලයේ කටයුතු කළේය. ඒ සඳහා සිය නියෝජිතයන් පවා නම් කළේය. එහෙත් තේරීම් කාරක සභාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කැඳවා ගැනීමට ආණ්‌ඩුවට නොහැකි විය. ඒ සඳහා සහභාගි වන ලෙස විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂ වන එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය වැනි පක්‍ෂවලට ආණ්‌ඩුව ආරාධනා කර සිටියත් මේ වන තෙක්‌ එම පක්‍ෂවල සහභාගිත්වය ලබා ගැනීමට ආණ්‌ඩුවට නොහැකි වී ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ හැරුණ විට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ එක වේදිකාවට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවිය. එහි සමීපතම අවස්‌ථා වූයේ මැයි 01 වැනිදා යාපනයේදී පැවැත්වූ මැයි දින රැළියයි. දෙමළ ජාතික සන්ධානය මෙම රැළියට කැඳවා ගැනීම හා එහි නායක ආර්. සම්බන්දන්ගේ අතින් ජාතික කොඩිය එසවීමට මෙහි දී රනිල් වික්‍රමසිංහ මහතා සමත්වීම. අගය කළ යුත්තක්‌ මෙන්ම එය ජාත්‍යන්තරයට දිය යුතු සුබවාදී පණිවුඩයකි.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අභියෝග එල්ලවී තිබෙන මොහොතක උතුරේ දේශපාලන නායකයින් දකුණේ නායකයන් සමඟ එක්‌ව ජාතික කොඩිය එසවීමේ වටිනාම පණිවුඩය ලොවට ගෙන යනවා වෙනුවට ආණ්‌ඩුව හා ආණ්‌ඩුවේ ඇතැම් මාධ්‍ය යාපනයේ පැවැති මැයි දින රැළියේ කොටි කොඩියක්‌ ඔසවන යන අයුරු ලොවට පෙන්වීමට උත්සාහ කළ අයුරු අප දුටුවෙමු. මෙවන් පසුබිමක්‌ තුළ තමා සමඟ විශේෂ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේ ආරාධනයක්‌ කළේය.

ජනාධිපති තුමන් විසින් කරන ලද එම ආරාධනයට අනුව රනිල් වික්‍රමසිංහ මහතාත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක ජෝශප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක යන මහත්වරු සමඟ පසුගිය 14 වැනිදා පෙරවරු 10 ට පමණ අරලියගහ මන්දිරයට ගියහ.

ඒ වනවිටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්‍ෂ, ඩලස්‌ අලහප්පෙරුම සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු අරලියගහ මන්දිරයේa රැඳී සිටිමින් අමුත්තන් පිළිගෙන ඔවුන් සාකච්ඡා මේසය වෙත අරලියගහ මන්දිරයේ සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයේ රස විඳින අතරතුර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්ඡාවට මුල පිරුවේය. දේශපාලන විසඳුමක්‌ සකස්‌කර ගැනීම වෙනුවෙන් පිහිටුවීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්‌ඩුව සහ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රථමයෙන් සහභාගි වී සාකච්ඡා කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

මෙම යෝජනාවට එකඟ වෙනවා වෙනුවට එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් කියා සිටියේ උතුරේ ජනතාවගේ ප්‍රධාන පාර්ශ්වකරුවන දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ වැනි විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ද මේ සඳහා සහභාගි වීම අත්‍යවශය බවයි.

ඔවුන් සාකච්ඡාවට කැඳවා ගැනීමට නම් ආණ්‌ඩුව පැත්තෙන් විශ්වාසය තහවුරු කිරීම සඳහා පියවර කිහිපයක්‌ ගත යුතු බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්‌ඩායම පෙන්වා දුන්හ.

ඒ අනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අතරින් ආණ්‌ඩුවට සහ විපක්‍ෂයට එකඟ විය හැකි යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් එක්‌විය නොහැකි කරුණු ගැන සාකච්ඡා කළ යුතු බවත්, ආණ්‌ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර පසුගිය කාලයේදී පැවැති සාකච්ඡාවලදී ගනුලැබු තීන්දු, තීරණ හා එකඟතා මෙම සාකච්ඡා සඳහා පදනමක්‌ කරගත යුතු බවත්, ආණ්‌ඩුව සහ විපක්‍ෂය අතර ආරම්භ කෙරෙන සාකච්ඡා නිශ්චිත කාලරාමුවක්‌ තුළ න්‍යාය පත්‍රයක්‌ යටතේ සිදු කළ යුතු බවටත් යෝජනා කෙරිණි.

දෙපාර්ශ්වය අතර විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා ආණ්‌ඩුව මෙම යෝජනා පිළිගනිමින් නිශ්චිත න්‍යායපත්‍රයක්‌ සකස්‌කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා මේසයට කැඳවාගෙන ඒමටත් ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු සෙසු පක්‍ෂ කැඳවා ගැනීමට සාකච්ඡා කිරීමටත් පියවර ගන්නා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සහභාගි කරවා ගැනීමට පොදු නිශ්චිත න්‍යාය පත්‍රයක්‌ සකස්‌ කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. එම න්‍යාය පත්‍රය සැකසීම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පැවැරිණි.

න්‍යාය පත්‍රය සකස්‌කොට ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව පසුගිය 16 වැනිදා එක්‌සත් ජාතික පක්‍ෂය වෙත භාරදිය යුතුව තිබුණත් එකඟවූ පරිදි එවැන්නක්‌ එදින සවස්‌වනතුරු ලැබී නොතිබිණි.

කෙසේ වෙතත් න්‍යාය පත්‍රය සකස්‌ කළ වහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඉදිරියේදී ආරම්භවීමට නියමිතය.

ආණ්‌ඩුව හා විපක්‍ෂය අතර මෙවැනි සාකච්ඡා පසුගිය වසර කිහිපය තුළ විටින් විට දක්‌නට ලැබිණි. එහෙත් ඒ එකම සාකච්ඡාවකින්වත් ජනතාවට හෝ රටට ප්‍රයෝජනයක්‌ අත් නොවිණි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම, ජනාධිපති ධුර කාලය දිගුකර ගැනීම, ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කිරීම වැනි කරුණු පිළිබඳව දෙපාර්ශ්වය දිගු කාලයක්‌ පැවැත්වූ සාකච්ඡා අවසන් වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී පිරිසක්‌ ආණ්‌ඩු පක්‍ෂයට එක්‌කර ගැනීමෙන් පසුවය. එසේත් නැතිනම් ආණ්‌ඩුවේ ඇති මතය ඉටුකර ගැනීමෙන් පසුවය.

ජාත්‍යන්තර වශයෙන් ආණ්‌ඩුවට එල්ලවී තිබෙන බලපෑම්වලින් ගැලැවීමට ආණ්‌ඩුව විපක්‍ෂය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වනු ඇතැයි යමකුට සිතිය හැක. පළාත් සභා මැතිවරණය එනතෙක්‌ මෙම සාකච්ඡා ඇදගෙන යැමට උත්සාහ කරණු ඇතැයි තවත් යමකුට සිතිය හැක. ආණ්‌ඩුවේ අතීත ක්‍රියාකලාපය දෙස බලන විට ඒ සිතුවිලි සාධාරණය.

තවදුරටත් බොරුව සහ රැවටීම් කළ නොහැක. අළුයට ගිනි මෙන් රට හමුවේ ඇති ප්‍රශ්න ජය ගැනීම සඳහා ආණ්‌ඩුව හා විපක්‍ෂය විශ්වාසයෙන් යුක්‌තව කටයුතු කළ යුතු කාලය දැන් එළඹ ඇත.

පියසේන දිසානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.