ෆොන්සේකාගේ නිදහස අස්‌සේ
දේශපාලන විපිරියාස


පසුගිය සතිය ආන්දෝලනාත්මක දේශපාලන සතියක්‌ ලෙස ඉතා වේගයෙන් ගෙවී ගියේය. ඊට හේතුව වී තිබුණේ සරත් ෆොන්සේකාට ජනාධිපති නිදහස ලබාදෙනවා යෑයි කියන කාරණය සමාජය පුරා පැතිර ගොස්‌ තිබූ නිසාය.

මේ ආරංචිය සමාජගත වීමත් සමඟ දේශපාලන ලෝකයේ සියලු පාර්ශ්වයන් දෙබරයකට ගල් ගැසුවාක්‌ මෙන් මහත් කලබලයට පත් වූහ. සමහරු සතුටු වූහ. සමහර පාර්ශ්වයෝ ඉන් කලබල වූයේ කුමන තරාතිරමක දේශපාලන උප්පරවැට්‌ටියක්‌ මේ නිදහස පසුපස ඇත්දැයි පැහැදිලි නැතිවීම ගැන කල්පනා කරමිනි.

මේ නිසා සතිය අවසන් වන විට එක එක දේශපාලන ප්‍රවාහයන් යම් යම් දේශපාලන මතිමතාන්තර මේ පිළිබඳ ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.



රනිල් නැගෙනහිර යයි

මේ අතරතුර විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය 11 වැනිදා සිකුරාදා උදෙන්ම මඩකලපුව බලා පිටත්ව ගියේය. දයා ගමගේ හා එරාන් වික්‍රමරත්න ද පළාත් සභා මන්ත්‍රී ශෂිදරන්ගේ නිවසට පැමිණ ඒ වන විට රනිල් එනතුරු බලා සිටියහ. රනිල් මෙම සංචාරයේදී රැස්‌වීම් පවත්වන්නට යොදාගෙන තිබුණේ මඩකලපුවේ කෝප්සිටි ශාලාවය. යම් යම් ආරක්‍ෂක හේතූන් මත එම ස්‌ථානය වෙනස්‌ කරමින් රනිල්ගේ රැස්‌වීම් සියල්ල ද තිබුණේ ශෂිදරන් නිවසේදීය.

ඒ සියල්ල හමාර කළ රනිල් සිකුරාදා හවස පාසිකුඩාවට ගියේය. ඔහුට එහි දින කිහිපයක්‌ විවේකීව ගතකරන්නට අවශ්‍යව තිබූ බැවින් හිතවතකුගේ හෝටලයක නතර වූයේය.

ප්‍රතිසංවිධාන

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කෙරෙන්නේ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බැසිල්, ඩලස්‌, අනුර යාපා, සුසිල්, නිමල්, බර්ටි ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ කමිටුවකිනි. ප්‍රතිසංවිධාන කටයුතු මුලින්ම උතුරුමැද පළාත මුල් කරගෙන අනුරාධපුරයෙන් ඇරඹිය යුතු බව තීරණය කරගෙන තිබුණේ මීට මාස කිහිපයකට පෙර සිටය.

මේ සඳහා පසුගිය 11 වැනිදා සිකුරාදා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ අනුරාධපුර බලා පිටත්ව ගියහ. 11 වැනිදා හවස 5.00 වන විට දිස්‌ත්‍රික්‌කයේ ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකවරුන්ට, පිට පළාත් සභා මහ ඇමැතිවරුන්ට, සංවිධායකයන්ට හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අනුරාධපුරයට එන්නට කියා කල් තියා දැනුම් දී තිබිණි.

මුලින්ම යොදාගෙන තිබුණේ අනුරාධපුරයේ ඉදිකළ ශ්‍රීලනිප නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමයි. ඒ සඳහා නැකත යෙදී තිබුණේ හවස 5.11 ටය. කාර්යාලය විවෘත කර මෛත්‍රිපාල සිය කතාව කරද්දී අපූරු අදහස්‌ කිහිපයක්‌ මතු කළේය.

අද පස්‌වැනි මාසේ 11 වැනිදා. බොහොම සුබ දවසක්‌. ඒ වගේම බර්ටි ඇමැතිතුමා නැකතකුත් සොයාගෙන ඇවිත් තියෙනවා මේ වැඩ කටයුතු අරඹන්න. ඒකත් 5.11 ට. ඒක සුබ නිමිත්තක්‌. ඒ නිසා අපි ඔන්න අනුරාධපුරයෙන් පක්‍ෂයේ සියලු ප්‍රතිසංවිධාන වැඩ කටයුතු ආරම්භ කළා.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ආසන 7 ක්‌ තියෙනවා. ඒ 7 ඇතුළේ ඡන්ද මධ්‍යස්‌ථාන 400 ක්‌ තියෙනවා. අපි හෙට ඉඳලා ඒ මධ්‍යස්‌ථාන 400 ට ගිහිල්ලා ගම් මට්‌ටමෙන් අපේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා. අපි ඒ හැම තැනකටම සංවිධායකයෙක්‌ සහ නියෝජිතයෝ පත්කරල තියෙනවා. එයාලට තියෙන්නේ ඒ ඒ අදාළ තැන්වල ගෙන් ගෙට ගිහින් මේ අපි දෙන පත්‍රිකාව බාරදීල ඒ ගෙදර විස්‌තර සහිතව මේ අදාළ පෝර්මය පුරවලා ආපසු ගේන්න. අදාළ පවුල්වල අදහස්‌ නිවැරැදිව සටහන් කරන්න ඕන. රට ගැන රජය ගැන නායකයෝ ගැන රජය කරන වැඩ ගැන පළාතේ සංවර්ධනය ගැන අදහස්‌ ප්‍රකාශ කරන්න ගම් මට්‌ටමට ලැබෙන අවස්‌ථාවක්‌ තමයි මේ...

ඉන්පසුව පිරිස විසිර ගියේ පසුවදාට හමුවී වැඩ අරඹන බලාපොරොත්තුවෙනි. රාත්‍රියේ ජනාධිපතිවරයා මෛත්‍රිට කතා කළේය. කතා කර ඇසුවේ පළාතේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ විස්‌තරය.

ඒ පිළිබඳ වැඩ සැලසුම පැහැදිලි කළ මෛත්‍රි ජනාධිපතිට ආරාධනාවක්‌ ද කළේය. සර්ට පුළුවන් නම් හෙට දවස ඇතුළත මේ පැත්තේ පොඩ්ඩක්‌ ඇවිත් යන්න.

අපේ තලපත්පිටියේ හිටපු පුංචි අම්මා ආන්ත්‍රා වුණා නේ. මට දැන් හෙට දවස පුරාම එතන වැඩ තියෙනවා. ඒ අතරේ කොහොම හරි ඔතනට එන්න බලන්නම්. ෂුවර් කරන්න එපා.

පසුවදා උදෙන්ම මෛත්‍රි ඩලස්‌ ඇතුළු පිරිස සියලු වැඩ පටන් ගත්හ. නියමිත පරිදි ආසන සංවිධායකයෝ හා පත්කළ නියෝජිතයෝ ගෙන් ගෙට ගොස්‌ මත විමසුම පටන් ගත්හ.

ජනාධිපති මහින්ද එදා හවස හිටි හැටියේම අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සංචාරය සඳහා පැමිණියේය. ඔහු මුලින්ම ගියේ මැදවච්චිය ආසනයේ අලිවංගුව නමැති දුෂ්කර ගම්මානයටයි. එය යුද්ධ සමයේ කොටි කලබලවලට ද මුහුණදුන් ගමකි.

ජනාධිපතිවරයා එම ගමට යන විට එහි සංවිධාන වැඩ කටයුතුවල නිරත වී සිටියේ තිස්‌ස කරල්ලියද්ද, දයාශ්‍රිත තිසේරා හා ඩිෂාන් ගුණසේකරය. ජනාධිපති ආ බව ආරංචි වූ සැනින් 1500 ක්‌ පමණ ගම්මු එතනට රැස්‌වූහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මිහින්තලය ප්‍රදේශයට ගියේය. දුමින්ද දිසානායක සහ ශෂින්ද්‍ර රාජපක්‍ෂ, ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයාගේ නිලධාරීහු සමඟ එහි වැඩ කරමින් සිටියහ.

ඊටත් පසුව රත්මල්ගහවැව ප්‍රදේශයට ජනාධිපතිවරයා යද්දී එතන වැඩ කරමින් සිටියේ එස්‌. එම්. චන්ද්‍රසේන ඇමැතිවරයාය. මේ අයුරින් තම නිරීක්‍ෂණ චාරිකාව ඉවර කර ජනාධිපති මහින්ද එදින හවස නැවත කොළඹ ආවේ අරලියගහ මන්දිරයේ දන්සලෙහි අවසන් දවස එදා බව කියමින් ත්‍යාග ප්‍රදානයකට සහභාගි වන්නටය.

ඉරිදා දවස නාමල් රාජපක්‍ෂගේ දවසයි. නාමල් එදා දවස පුරාම අනුරාධපුරයට ගොස්‌ කරමින් සිටියේ ප්‍රතිසංවිධාන කටයුතුවලට උපකාර වන සේ තැනින් තැන යමින් සියල්ල අධීක්‍ෂණය කිරීමයි. ඔහු ආසන 7 න් මැදවච්චිය හැර අන් සෑම තැනකම ඇවිද ගියේය.

මේ අතර අනුරාධපුරයේ උතුරුමැද පළාත් සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක්‌ තිබිණි. ඒ වූ කලී පළාත් සභාව වසරකට පෙර විසුරුවා හැරීමට තහනම් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ නඩුවයි. එම නඩුව අධිකරණය හමුවේ ගොනුකර තිබුණේ අනිල් රත්නායක නමැති එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

මෙම නඩුව ගොනු කිරීමට යොදාගෙන තිබුණේ ද ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පිරිසක්‌ උතුරුමැද පළාත් සභාව විසුරුවා හරින එක නවත්වන්නැයි කියා ඊට හේතු දක්‌වමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපියක පිටපතකි.

මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උතුරුමැද පළාත් සභාවේ විපක්‍ෂ නායක කිත්සිරි අනුරාධනායකගෙන් කරුණු විමසා සිටියේය. අදාළ මන්ත්‍රීවරයා ඒ වන විටත් උතුරුමැද පළාතේ විපක්‍ෂ නායකවරයාව දැනුවත් කර තිබුණේ ද නැත. එහෙත් ඔහු පක්‍ෂයේ සෙසු මන්ත්‍රීවරු වෙත පවසා තිබුණේ පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක දැනුවත් කළ බවය. ඔහු එසේ කීවද අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් මෙවන් පක්‍ෂයේ නීතිමය කටයුත්තකදී සහභාගි වන එකදු නීතිඥයකුවත් මීට යොදා නොගෙන තිබීම කැපී පෙනෙන විශේෂත්වයක්‌ විය.

දින දෙකක්‌ පාසිකුඩාවේ විවේකීව සිටි රනිල් ඉරිදා නැවත කොළඹ බලා පිටත්ව ආවේය. ඉරිදා හවස පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා විශේෂ හමුවක්‌ නම්බර් තර්ටි කාර්යාලයේ කැඳවා තිබිණි. මේ සඳහා පක්‍ෂයේ සිටින ගෘහ නිර්මාණ ශිල්පය හා අලංකරණය ගැන දන්නා කිහිපදෙනකුව ද කැඳවා තිබුණේ ප්‍රතිසංස්‌කරණවාදී පාක්‍ෂික පිරිසකගේ ප්‍රහාරයෙන් විනාශ වී ගිය සිරිකොත ගොඩනැඟිල්ල නැවත ප්‍රතිසංස්‌කරණය කිරීම ගැන ද කතා කරන්නටය.

මෙතන අපි තව ඉඩකඩ පුළුල් කරන්න ඕන. අපේ පක්‍ෂයේ සියලු අනෙකුත් කාර්යාල හා ආයතන අපි මේ වහළ යටට ගන්නත් ඕන. එහෙම අරන් ඒ අවශ්‍ය විදියට ප්‍රතිසංස්‌කරණය කරලා කාර්යාලය නැවත විවෘත කිරීම ලබන සැප්තැම්බරයේ පක්‍ෂ සම්මේලනය අවස්‌ථාවට යොදාගෙන ඒ උත්සවය සංවිධානය කරමු.

ඒ සඳහා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අනුමැතිය ද රනිල්ට ලැබිණි. ඒ සඳහා පක්‍ෂ අරමුදලට ලැබී තිබෙන මුදල යොදවා අවශ්‍ය ඉතිරි අඩු පාඩු ද යොදවා වැඩේ කරන්නට බාර දුන්නේ පක්‍ෂයේ මේ වන විට සිටින මහා දානපතියා වන දයා ගමගේටය.

රනිල් - මහින්ද හමුව

පසුගිය අඟහරුවාදා උදේ රනිල් වික්‍රමසිංහ සිය ජ්‍යෙෂ්ඨ විශ්වාසවන්තයන් සමඟ අරලියගහ මන්දිරයට ගියේ ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව ගැන කතාබහ කරන්නටය. රනිල් සමඟ තිස්‌ස, රවී, ජෝන්, ජෝෂප්, කබීර් හා කිරිඇල්ල ද මෙම ගමනට එක්‌ව සිටියහ.

මෙහිදී මුලින්ම කතා බහට ගැනුණේ ටී. එන්. ඒ. සංවිධානය මේ තේරීම් කාරක සභාවට නොපැමිණීම හා යෝජනා ඉදිරිපත් නොකිරීම ගැනය. ඒ ගැන කතා කළ ජනපති මහින්ද අපි ටී. එන්. ඒ. සංවිධානය එක්‌ක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැටියට වට දෙකක්‌ම මේ ගැන කතාබහ කළා.

අපි මේ සාකච්ඡාවලට දිගටම සහභාගි වෙන්න නම් එල්. එල්. ආර්. සී. වාර්තාවේ හැටියට අපි දෙගොල්ලටම පිළිගන්න පුළුවන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕන. ඉතින් ඒක තමයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ටී එන් ඒ එක සමඟ කරන ලද සාකච්ඡාව පාදක කරගෙන න්‍යාය පත්‍රයක්‌ සකස්‌ කරලා අවසාන විසඳුම විදියට ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකෙන විසඳුමක්‌ යෝජනා කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ සාකච්ඡාවලට ටී එන් ඒ සහ ජවිපයේ සහභාගිත්වය අනිවාර්ය වෙන්නත් ඕන. එහෙම නැතුව අපි කතා කරන එකේ තේරුමක්‌ නැහැනේ... රනිල් ඉතා දීර්ඝ වශයෙන් මේ විස්‌තරය කළේය.

ඔව් ඔව්... අපි ඉස්‌සෙල්ලා කතා කරල තේ බීල විසිර ගියා කියල වැඩක්‌ වෙන්නේ නැහැ... සෙසු නායකයෝ කීහ.

එහෙමනම් අපි තේරීම් කාරක සභාව පටන් ගමු. පසුව අනිත් අය යොදා ගමු. ජනපති කීවේය.

නැහැ.. එහෙම හරි යන්නේ නැහැ. ඉස්‌සෙල්ලා මම අර කලින් කියපු කාරණා ගැන බලන්න. ඒක ක්‍රියාත්මක කරන්න බලමු. මෙම විධිමත් සාකච්ඡාව ටිකකදී හමාර වී ගියේය. ඊළඟට ජෝන් අමරතුංග ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක්‌ මතු කළේය.
ෆොන්සේකා එළියට දානවා කියල කියන්නේ ඇත්තද?

ඇයි එහෙම අහන්නේ... ජනාධිපති සිනාවෙමින් ඇසුවේය.

නැහැ ඔය පුවත්පත්වල පළවෙලා තියෙන්නේ...

ඒවයි තියෙන්නේ මම ඒකට ටිරාන් එනතුරු බලාගෙන ඉන්නවා කියල නේ කියමින් සිනාසී ජනාධිපතිවරයා ප්‍රශ්නය මඟහැරියේය.

නගර සභාව විසින් එක්‌සත් ජාතික පක්‍ෂයට බද්දට දුන් ගොඩනැඟිල්ලක්‌ අළුත්කඩේ උසාවිය අබියස තිබිණි. කලක්‌ එය අතහැර දමා තිබිණි. යළිත් එය එජාපයට ලබාදෙන මෙන් තිස්‌ස ඉල්ලීමක්‌ කළේය.

ඕක ඔන්න එක්‌සත් ජාතික පක්‍ෂයේම තවත් පාර්ශ්වයක්‌ ඉල්ලනවා කියල කියන්නේ. මට ඔයාලගේ පක්‍ෂයේ කෙනෙක්‌ම ඉල්ලීමක්‌ කළා මොකක්‌ද කේන්ද්‍රයකට දෙන්න කියලා...

ඒ කියන්නේ සජිත් ගැන බව රනිල් දැන සිටියේය. සජිත් ගොඩනැඟිල්ල ප්‍රේමදාස කේන්ද්‍රය සඳහා ඉල්ලා තිබිණි.

එහෙම තනි පුද්ගලයකුට දෙන්න බැහැනේ පක්‍ෂයේ දෙයක්‌.. රනිල් කීවේය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රශ්න විමසා බලා එය පිළිවෙළක්‌ කර දෙන මෙන් නිලධාරීන්ට කියා සිටියේය.

මෙම සාකච්ඡාව ඉවර කර නැවත පැමිණි රනිල් ඊළඟට කළේ දෙමළ සන්ධානයේ නායකයන්ට පණිවුඩයක්‌ යෑවීමය. ආර්. සම්බන්ධන් හා සුහන්දිරම් ඒ අනුව රනිල් හමුවන්නට ආහ. රනිල් මෙහිදී කතා කළේ තේරීම් කාරක සභාවට නොපැමිණීම තුළ දෙමළ ජාතික සන්ධානය ප්‍රශ්නය මඟහැරීමට උත්සාහ කරන බවට මතයක්‌ නිර්මාණය විය හැකි බවය.

සම්බන්ධන් කීවේ තමන් තුළ රජය මේ ප්‍රශ්නයට ප්‍රවේශ වන ආකාරය ගැන කිසිදු විශ්වාසයක්‌ නැති බවය.

හරි සාකච්ඡාවට එන්න. ඇවිත් ප්‍රශ්නය කතා කරමු. අපිත් ඔයාලාගේ යෝජනා මොනවද කියල දැනගන්න ඕන රනිල් කීවේය.

අපි මන්ත්‍රී කණ්‌ඩායම සමඟ නැවත සාකච්ඡා කරලා ඔබතුමා හමුවන්නට එන්නම්. සම්බන්ධන් කීවේය.

එම සාකච්ඡාව හමාර විය. ඉන් පසුව එම නායකයෝ ද සමඟ විපක්‍ෂයේ පොදු සන්ධානයේ නායකයන්ගේ හමුවක්‌ පැවැත්විණි. මේ සඳහා සම්බන්ධන්, මනෝ, බාහු, සිරිතුංග, මංගල, මනමේන්ද්‍ර, ජෝෂප් ආදී නායකයෝ ගණනාවක්‌ පැමිණ සිටියහ. ඉදිරි මාස තුන තුළ රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළවල්වලට ප්‍රතිචාර දැක්‌වීමට පුළුල් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සාදා ගැනීම මෙම හමුවේ අරමුණ විය.

අඟහරුවාදා රාත්‍රියේ ජෝන් අමරතුංගගේ පුංචි බොරැල්ල නිවසට එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් පිලේ සියලුම නායකයෝ පැමිණියහ. තිස්‌ස, රවී, ජෝෂප්, කබීර්, මංගල, දයා ගමගේ, කිරිඇල්ල ඇතුළු විශ්වාසවන්තයන් පිරිසක්‌ එතන සිටියහ. සාදය විවිධ කෑම බීමවලින් අනූන එකක්‌ ලෙස දිගට ඇදී ගියේය. ඉදිරි කාලය ඇතුළත රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගවලට මුහුණදීමට හා ජනතා ජයග්‍රහණ සඳහා පක්‍ෂය මෙහෙයවන ආකාරය කතාබහට ලක්‌විය.

මෙහිදී සරත් ෆොන්සේකාට නිදහස ලැබීම, එහි සමාජ ප්‍රවණතා ආදී කරුණු ගැන ද සාකච්ඡා කෙරිණි.

සරත් ෆොන්සේකා නිදහස්‌ වූ පසු ඔහු සජිත් සමඟ එක්‌වනු ඇද්ද නොඑසේ නම් ටිරාන් සමඟ ගොස්‌ රජය වෙත එකතු වනු ඇද්ද යන කාරණා සංවාදයට මාතෘකා වී තිබිණි. කෙසේ වෙතත් මේ සාදය හා කතාබහ මධ්‍යම රාත්‍රිය ඉක්‌ම යනතුරු පැවැත්විණි.

මාධ්‍ය ප්‍රධානීන් හමුව

පසුගිය අඟහරුවාදා උදේ ජනාධිපතිවරයා උදේ ආහාර මේසයට ලංකාවේ සිටින සියලුම මාධ්‍ය ආයතනවල හිමිකරුවෝ කැඳවා තිබිණි. රජයේ හා පුද්ගලික අංශයේ සියලුම විද්යුත් මුද්‍රිත මාධ්‍යවල කළමනාකාරිත්වය මේ සඳහා පැමිණ සිටීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා කතා කළේ සංවර්ධනය කරා යන රටක මාධ්‍ය භාවිතාව කෙසේ විය යුතුද යන කාරණය ගැනය.

මෙහිදී තේරීම් කාරක සභා සාකච්ඡාවලට දෙමළ ජාතික සන්ධානය නොපැමිණීම ගැන ද ජනාධිපතිවරයා අදහස්‌ පළ කළේය.

සමහර දේශපාලන නිරීක්‍ෂකයෝ කියනවා ටී. එන්. ඒ. එක මේ වෙලාවේ තේරීම් කාරක සභාවට නොඑන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ බලපෑම නිසා කියලා. ඒක වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒක මත තහවුරු වෙලා වැඩ කරන්න අවශ්‍ය නැහැ. මොකද අපට තව කල් තියෙනවා. බලමු තව ටිකක්‌. ජනාධිපතිවරයා කීවේය.

ඊළඟට ඔහු කතා කළේ පුද්ගලික මුද්‍රිත මාධ්‍යවලට පොලිසියෙන් ඇති චෝදනාවක්‌ ගැනය.

පොලිසිය කියනවා හුඟක්‌ වෙලාවට අපේ රටේ මාධ්‍ය යුක්‌තිගරුකභාවය රකින්නේ නැහැ කියලා. යම් යම් සිදුවීම්වලදී පත්තර ගන්නේ වැරදිකාරයන්ගේ පැත්තලු. සමහර විට කුඩුකාරයන්ගේ පැත්තලු. එදා වනාතමුල්ල සිද්ධිය ඒ වගේ කියලයි කියන්නේ. ඔයාලට ඒ ගැන ලොකු වගකීමක්‌ තියෙනවා. යුක්‌තිගරුකභාවය, නීතිගරුකභාවය ගැන ටිකක්‌ හිතන්න හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දීල වැඩ කරන්න අපට සිද්ධ වෙනවා...

මේ අතර මාධ්‍ය ප්‍රධානියෙක්‌ ෆොන්සේකා නිදහස්‌ කරනවාද කියා ප්‍රශ්නයක්‌ මතු කළේය.

කවුද කියන්නේ... ඔය පත්තරවලනේ තියෙන්නේ. මමත් දැක්‌කා පත්තරවලින්. ජනාධිපතිතුමා කීවේය....

ඒක කරන්නේ නැද්ද සර්....

දැන් ඉතින් මෙයාලා පත්තරවල දමලත් ඉවරනේ. මම ඕක නොකර හිටියොත් වෙන්නේ මෙයාල බොරුකාරයෝ වෙන එක. මම කැමැති නැහැ මෙයාලා බොරුකාරයෝ කරන්න. ජනාධිපතිතුමා එසේ කීවේ නිමල් වෙල්ගම හා රංජිත් විඡේවර්ධන පෙන්වමිනි. කවුරුත් ඊට සිනාසෙන්නට පටන් ගත්හ.

අපි දන්නෙත් සර් ගිය සෙනසුරාදා පත්තරයක ගිහින් තිබුණ නිවුස්‌ එකකින්. වෙල්ගම මහතා කීවේය.

ඒ ආකාරයේ විහිලු තහලු කතාබහ මැද එම සාකච්ඡාව ද හමාර වී ගියේය.

අනෝමා හමුවීම
ෆොන්සේකා නිදහස්‌ කිරීමේ සිද්ධිය රටේ විවිධ පාර්ශ්වයෝ දුටුවේ එක එක විදියටය. ඊට විග්‍රහයන් ගණනාවක්‌ ද එක්‌වී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ෆොන්සේකා නිදහස්‌ කිරීම සම්බන්ධයෙන් රජය තුළ කාලයක සිට ඉතා අප්‍රසිද්ධියේ පුළුල් සාකච්ඡාවක්‌ ගොඩනැගී තිබිණි. ෆොන්සේකා නිදහස්‌ කර ජන සමාජය වෙත මුදාහැරිය යුතුය යන මතයේ මුල පටන්ම සිටියේ රාජපක්‍ෂ පවුලේම කිsහිප දෙනෙකි. ඒ අතර ගෝඨාභය රාජපක්‍ෂ කැපී පෙනිණි.

කලක සිට ඇරඹී තිබුණු මෙම සාකච්ඡා මාලාවේ අවසානයට ළංව සිටියේ පසුගිය සතියේය. පසුගිය සතියේ බදාදා උදේ ජනාධිපතිවරයා හමුවන්නට ටිරාන් අලස්‌ ද පැමිණියේය.

ඔයාලැයි ලොක්‌කව නිදහස්‌ කරන්න මම හිටියේ වෙසක්‌ එකට නේ. කෝ ඔයා පිටරටට වෙලා හිටිය නේ. ඔයත් එක්‌ක කතා කරලයි ඒක කරන්න හිටියේ කියමින් ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කළේය.

මෙම රහසිගත සාකච්ඡාව ඉවර වූයේ විශේෂ එළඹුමක පළමු වටය ලෙසය. කිසිවකුටත් නොදැනෙන්නට එම සාකච්ඡාවේ දෙවන වටය එදා හවස ටිරාන්ගේ ගෙදරදී සිදු කෙරිණි. ජනාධිපතිවරයා එම නිවසට ගිය අතර තවත් විශේෂ අමුත්තියක්‌ ද එතනට සහභාගි වූවාය. ඕ අනෝමා ෆොන්සේකාය.

අනෝමා, ජනාධිපති මහින්ද හා ටිරාන් අතර කෙරුණු මේ අවසාන සාකච්ඡාව ෆොන්සේකාගේ නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාව බව නිසැකය. අනෝමාද ඉතා හොඳ සාධාරණ ස්‌ථාවරයක සිටි බව අනාවරණය විය. ජනාධිපතිවරයා ද ඒ පිළිබඳ පැහැදිලි මතයක සිටියේය. කොන්දේසි කිසිවක්‌ පැනනොනැගි බව පසුව වාර්තා විය. කෙසේ වෙතත් අනෝමා ෆොන්සේකාගේ අදහස්‌ දැක්‌වීම්වලදී සිය දියණියගේ සැමියා නිදහස්‌ කරවීම ගැන ද යම් යම් කරුණු අඩංගු වී තිබූ බව පසුව වාර්තා වී තිබිණි.

මේ සියල්ලෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජනාධිපතිවරයා 19 වැනි සෙනසුරාදා දිනයේ ෆොන්සේකා නිදහස්‌ කිරීම සම්බන්ධයෙන් සියලු ලියකියවිලිවලට අත්සන් තබන්නට නියමිත බව හෙළිවිණි.

කැබිනට්‌

හරියටම 7.45 ට කැබිනට්‌ රැස්‌වීම පටන් ගැනීමට ජනාධිපතිතුමා පැමිණියේය. මෙවර රැස්‌වීමට අමාත්‍යවරු 11 දෙනෙකු හැර අනෙක්‌ සියලුමදෙනා පැමිණ සිටියහ.

පළමුවෙන්ම කතා කළේ පසුගිය සතියේ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ගැනය. වැලි ප්‍රවාහනය සඳහා තිබූ වාහන බලපත්‍ර අවලංගු කර නිදහස්‌ කිරීමෙන් ඇති වූ තත්ත්වය සහමුලින්ම කතා කළේ බැසිල් ඇමැතිවරයා ය.

උදේ 6.00 ඉඳල හවස 6.00 වනතුරු අපි වාහනවලට ඉඩ දුන්නනේ. ඒ වුණාට ඒක නිසා පාරවල්වල ලොකු වාහන තදබදයක්‌ ඇති වුණා. වෙන ලොකු ලොකු ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා......

ඔව්.... මටත් ආරංචි වුණා. වැලි පුරවපු ටිපර් එකකට යටවෙලා උදේ පාසල් ගිය ළමයකුත් මියගියා කියල.

එහෙමනම් අපි මේ කාලසීමා වෙනස්‌ කරන්න ඕන.........

අපි මෙහෙම දෙයක්‌ කරමු. ඔය කාල සීමා ගැන තියෙන නීති ඉවත් කරමු. දවස පුරාම ප්‍රවාහනයට ඉඩ ඇරලා හවස 6.00 සිට පාන්දර 6.00 වනතුරු වැලි ප්‍රවාහනයට වඩාත් සුදුසුයි කියලා නිවේදනයක්‌ දමමු... බැසිල් කීවේය. ඊට ජනාධිපතිවරයා හා සභාව එකඟත්වය පළ කළහ.

ඉන්පසු කතා කළේ ජුනි මාසය තුළ තානාපති කාර්යාලවල උත්සවවලට රජයෙන් සහභාගි කරවන නියෝජිතයෝ ගැනය. මෙහිදී ඩිව් ගුණසේකර සහ සරත් අමුණුගම යවන්නට තීරණයක්‌ ගැනිණි.

අපි ඕකට තරුණ ඇමැතිවරයෙකුත් ඇතුළත් කරමු. කියා වටපිට බැලූ ජනාධිපතිවරයා..... ආ.... මේ ඉන්නේ තරුණ ඇමැති කෙනෙක්‌ කියමින් විමල් වීරවංශ පෙන්aවූවේය. අපි විමල්වත් මේකට යවමු. රුසියාවේ එහෙමත් ජාතික උත්සව මේ කාලයේ තියෙනවානේ" ජනාධිපතිතුමා කීවේය. මේ පිළිබඳ කතාබහෙන් පසුව මෙවර ඉදිරිපත් කර තිබූ කැබිනට්‌ සාකච්ඡා සැලකිල්ලට ගැනිණ.

පළමුවෙන්ම තිබුණේ මහ අමුතු අපබ්‍රංශ නමක්‌ ඇති කැබිනට්‌ පත්‍රිකාවකි. ආරක්‍ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ එම පත්‍රිකාව නම් කර තිබුණේ "පාර සමුදීය ශ්‍රී ලාංකිකයෝ" කියාය. මෙහි තේරුම ලංකාවේත් තවත් පිටරටකත් ද්විත්ව පුරවැසි බව ඇති ශ්‍රී ලාංකිකයෝ යන්නය.

මොකක්‌ද මේ නම, මොන යකාටද මේක බලපු බැල්මට තේරෙන්නේ. මේවයි තේරුම හොයන්න සිංහල මහාචාර්යවරු ගේන්න වෙනවනේ. එහෙම නොවෙයි. නමක්‌ දානකොට ඇයි හොඳ සිංහලෙන් සරල නමක්‌ දාන්න බැරි. පිටරටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කිව්වම කට කහනවද,..... ජනාධිපතිතුමා තරමක්‌ නොසතුටින් කියා සිටියේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ඉදිරිපත් කර තිබූ පනතක්‌ ද විය. එහි තිබුණේ සංචාරක හෝටලවල සිගරැට්‌ භාවිතය සීමා කිරීමක්‌ ගැනය.........

මෙහිදී මුලින්ම සරත් අමුණුගම නැගිට කතා කළේය...... ජනාධිපතිතුමනි මේ පනතේ වගන්තියක්‌ තියෙනවා කාමර 50 කට වඩා වැඩි හෝටලවලට පමණක්‌ සංචාරකයන්ට දුම්පානය සඳහා අවසර දෙන්න. මේක වැරැදි අදහසක්‌. එක අතකින් මෙයින් රටට මතයක්‌ යනවා සල්ලිකාරයෝ දුම්පානය කළාට වරදක්‌ නැහැ කියලා. අනිත් එක තමයි අපි සංචාරක කර්මාන්තය කරනවා නම් හරියට කරන්න ඕන. එක අතකින් අපි මිලියන 20 ක්‌ සංචාරකයෝ ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අතට එයාලට නිදහස අහුරන කොන්දේසි දමනවා. සංචාරකයෝ එන්නේ නිදහසේ ඉන්න. මෙහෙම නීති තිබුණාම සංචාරකයෝ එයිද, .... ඒක ඇත්ත. නීතිරීති හදද්දී තියෙන ප්‍රශ්න අවුල් නොකරන විදියට නීති රීති හදාගන්න ඕන. නීතිරීති හාස්‍යයට ලක්‌වෙන විදියට නීති හදන්න නරකයි. ජනාධිපතිතුමා කීවේය.

මමයි මෛත්‍රියි ඕක ඉදිරිපත් කරන්න කලින් ඔය ගැන කතා කළා. අපි දැන් ඒක නිවැරැදි කරලයි තියෙන්නේ...... බැසිල් අමාත්‍යවරයා මෛත්‍රී වෙනුවෙන් උත්තරයක්‌ දෙමින් කීවේය.

මේ ආකාරයේ පත්‍රිකා 24 ක්‌ කතාබහ කරන්නට තිබිණි. එහෙත් ඒවා වැඩිවේලා කතාබහට ලක්‌ වුණේ නැහැ. මේ අතර බැසිල් අදහසක්‌ ඉදිරිපත් කළේ පසුගියදා ක්‍රියාවට නැඟූ ත්‍රිරෝද රථ නීතිය ගැනය.

ත්‍රීවීලර් එකක යන මගීන් ගණන තුන් දෙනකුට සීමා කළාට ගමේ ලොකු ප්‍රශ්න ඇතිවෙලා. පිට පළාත්වල ඇමැතිවරුන්ට මේ ගැන ගම්වලදී ලොකු ලොකු පැමිණිලි තියෙනවා. බලන්න අම්මයි තාත්තයි ළමයි දෙන්නෙකුයි ඉන්න පවුලකට මඟුල් ගෙදරක යන්න ඕන වුණා කියලා. එයාලට ගමන යන්න වෙන්නේ එක ළමයෙක්‌ ගෙදර නතර කරලයි. පුංචි මිනිස්‌සුන්ට මේක නරක විදියට බලපාලා තියෙනවා. මේ නීතිවලින් වුණේ ගම්වල නැති ප්‍රශ්න ඇති වුණ එක විතරයි. අර කලින් වැලි ප්‍රවාහන නීතිය නිසා පොලිස්‌කාරයෝ මගදිගට වැලි ලොරිවලට කරදර කරනවා කියල චෝදනාවක්‌ රටේ තිබුණා.

බැසිල්ගේ පැහැදිලි කිරීම ඇමැතිවරු ගණනාවක්‌ ම අනුමත කළේය. අන්තිමේ එය කාගේත් ප්‍රශ්නයක්‌ බවට පත්වූහ. මේ නිසා එම නීතිය යළි සලකා බලන්නට ජනාධිපතිතුමා තීරණය කළේය.

මේ අතර බන්දුල ගුණවර්ධන නැඟිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයක්‌ පැහැදිලි කරමින් ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. ඊට හේතු වී තිබුණේ කොළඹ පාසල්වල දෙමව්පියෝ පිරිසක්‌ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වට කරමින් පැවැත්වූ උද්ඝෝෂණයක්‌ ය.

මේකට හේතුවෙලා තියෙන්නේ අගනුවර ඉසිපතනයෙහි, තර්ස්‌ටන් එකෙයි ළමයි 21 දෙනෙක්‌ කොළඹ ආනන්ද විද්‍යාලයට ගැනීම ගැනයි. පැරැණි චක්‍රලේඛයක්‌ තියෙනවා එක නගරයක ජාතික පාසලක ළමයි එම නගරයේම නව ජාතික පාසලකට ගැනීම වළක්‌වලා. ඒ චක්‍රලේඛය උල්ලංඝනය කරල තමයි මේ ළමයි අරගෙන තියෙන්නේ. අවසානයේ තීරණය කළා ඒ ඒ පාසල්වලට නැවත යවන්න. ඔන්න ඕකට විරුද්ධව තමයි මේ දෙමව්පියෝයි ළමයි ඇවිල්ල උද්ඝෝෂණය කළේ.

බන්දුල චක්‍රලේඛය විස්‌තර කරමින් මේ විස්‌තර කළේ විනාඩි 20 ක පමණ දේශනයක්‌ අනුසාරයෙනි. සමහර ඇමැතිවරු එය අසා සිටියේ ඇඟ මැලි කඩමිනි.

හරි..... දැන් මෙතැන මොකක්‌ද වෙලා තියෙන්නේ අන්තිමේ.......

ඒ ළමයින්ව හිටපු පාසල්වලටම යවන්න තීරණය කළා.... බන්දුල කීවේය.

කවුද මෙතැන වරද කරල තියෙන්නේ. ළමයි ද වැඩිහිටියෝ ද නිලධාරියෝ ද.....

එනපොට හරි නැති බව බන්දුල දැන ගත්තේය. ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයට ඇමැතිවරු උත්තර දුන්නේ නිලධාරීහු වැරැදි බව කියමිනි.....

එහෙම නම් නිලධාරියෝ කළ වරදට මොකට ද දරුවන්ට දඬුවම් දෙන්නේ. මෙතැන වරද කරල තියෙන්නේ ඒ වගේ චක්‍රලේඛයක්‌ තිබියදීත් ළමයි භාර ගත්තු විදුහල්පතිවරුනේ. එයාලට දඬුවම් කරන්න. ළමයින්ට දඬුවම් කරලා ළමයි ආපහු යවන්න හදන්න එපා. එයාල කොහොමද ආපසු පරණ පාසලට යන්නේ. ඔය ප්‍රශ්නේ ඉවරයක්‌ කරන්න. මීට පස්‌සේ ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙන්න වග බලා ගන්න........ ජනාධිපතිතුමා නියෝග කළේය.

ඔව්. සර්.... කොච්චර වැරැදි වැඩක්‌ද මෙහෙම ළමයි ගත්තාම වෙන්නේ පිට පළාතකින් නගරයේ ජාතික පාසලකට එන්න තියෙන චාන්ස්‌ එක පිට පළාත්වල ළමයින්ට නැති වෙන එකනේ. ඒක වැරැදියි. සරත් අමුණුගම කීවේය.... බන්දුල ගුණවර්ධනගේ ප්‍රශ්නය එතෙකින් නිමාවට පත් විය. මේ සියල්ල අවසානයේ විමල් වීරවංශ සභාවම හිනා ගස්‌වමින් මෙසේ කීවේය.

යාන්තම් ඇති......... හරියට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශක කාරක සභා රැස්‌වීමකට ගියා වගෙයි මට දැනුණේ..........

මෙසේ කැබිනට්‌ මණ්‌ඩලය ඉක්‌මනින් ඉවර කර ජනාධිපතිවරයා ගමනක්‌ යන්නට ගියේය.....

අද අපේ පුංචි අම්මගේ හත් දවසේ මතක බණ.... හෙට ඉතින් මම දැන් ඒකට යන්න තලපත්පිටියට යන්න ඕන........ කියමින් සමුගෙන පිටත්ව ගියේය....

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.