විජයග්‍රහණයේ තෙවන වසර හා
සරත් ෆොන්සේකාගේ නිදහස


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා
රටට සේවයක්‌ නොකළ අයකු බවට කිසිවකු පවසන්නේ නම් තමා ඊට එකඟ නොවන බවත් ඒ මහතා රටට කළ සේවය නිසාම තමාට ඔහු කෙරෙහි විශාල ගෞරවයක්‌ ඇති බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පසුගිය (09 දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී තවදුරටත් නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට අවසර ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පැවැති පෙත්සම් විභාගයේදී එසේ කියා සිටි සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී තමන් අධිකරණයේ අවධානයට යොමු කරන්නේ අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව පමණක්‌ බවද සඳහන් කර තිබිණි. සොලිසිටර් ජෙනරාල්වරයා යනු ඊළඟට නීතිපති තනතුර භාරගැනීමට සිටින තැනැත්තාය. ඔහු විසින් රටේ ඉහළම අධිකරණය වන ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ දක්‌වා සිටි කරුණු සුළු කොට තැකිය නොහැක.

කොළඹ මහාධිකරණය හමුවේ ෆොන්සේකා මහතාට එරෙහි පළා ගිය හමුදා සෙබළුන් තබාගැනීමේ නඩුවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා දක්‌වා සිටි කරුණු දැක්‌වීමක්‌ අනුව ද මෙම කරුණ තවත් පැහැදිලි වන්නේය. එනම් "මමත් කරන්නේ රාජකාරියක්‌, මගේ රාජකාරියට බාධා කරන්න එපා..." යෑයි තොටවත්ත මහතා ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයේ නීතිඥයන්ගෙන් ඉල්ලීමක්‌ කරනු ලැබුවේය.

නීතිපතිවරයා නියෝජනය කරමින් සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ශේ්‍රෂ්ඨාධිකරණය වෙත ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා මහාධිකරණය වෙත ද දක්‌වා සිටි කරුණු දැක්‌වීම් අනුව සරත් ෆොන්සේකා මහතා විෂයෙහි නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව මධ්‍යස්‌ථ මතධාරියකු හට යම් යම් නිගමනයන්වලට එළැඹිය හැක. නීතිපතිවරයා හට සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියා කර දැන් ඇතිවී ඇති බවත් කළ දේවල් කළේ ද ඉහළ නියෝගයන්ට අනුව මිස නීතිපති දෙපාර්තමේන්තුවේ වුවමනාවකට නොවන බවත් එහිදී යම් මතයක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැක. නීතිපතිවරයා හට ෆොන්සේකා මහතා විෂයෙහි ක්‍රියාත්මක කළ හැක්‌කේ පවතින නීතිමය රාමුව තුළ පමණක්‌ වන අතර ඉන් එහාට දෙයක්‌ සිදුවේ නම් එය රජයේ වුවමනා එපාකම් ඉෂ්ට සිද්ධ කිරීමක්‌ බවද කෙසේ වුවද යුක්‌තිය ඉෂ්ට කිරීම අධිකරණය සතු කාර්යයක්‌ වන්නේය යන්න එහිදී එම මධ්‍යස්‌ථ මතධාරියාට නිගමනයකට එළැඹිය හැක. මේ සියලු කරුණු සම්බන්ධයෙන් එවැනි විවිධ මතයන් නිගමනයන් ඇතිවීම වැළැක්‌විය නොහැකි වන්නේ හිටපු හමුදාපතිවරයා විෂයෙහි නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රධාන රජයත් අධිකරණයත් ගනු ලැබූ විවිධ තීරණ හා නියෝග නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු කරුණක්‌ නොවන්නේය.

නීතිපතිවරයා පවතින නීතිමය රාමුව තුළ කරුණු දක්‌වා සිටිය ද සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා තීරණයක්‌ ගන්නා තෙක්‌ ඔහුට නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට ශේ්‍රෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේ සුදුකොඩි නඩුවේ දඬුවමට එරෙහි ෆොන්සේකා මහතා ගොනුකර ඇති අභියාචන පෙත්සම විභාගයට ගැනීමට තීරණය කර ඇති තත්ත්වයක ඔහු සම්බන්ධයෙන් එම විනිසුරු මඬුල්ලට අධිකරණ බලතල පැවරෙන බවට තීරණය කරමිනි.
ෆොන්සේකා මහතාට නවලෝක රෝහලේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට කර තිබූ නියෝගය පසුව වෙනස්‌ කිරීමක්‌ සිදු කර ඔහුට ජාතික රෝහලේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට මහාධිකරණය මගින් නියෝග කළේ බන්ධනාගාර කොමසාරිස්‌වරයාගේ දැනුම්දීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමිනි. මහාධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටි බන්ධනාගාර කොමසාරිස්‌වරයා නවලෝක රෝහලේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබන ෆොන්සේකා මහතාට අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම අසීරු වී ඇති බවට කියා සිටියේය. ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු දක්‌වා අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලිපිය සහතික කළ එකක්‌ නොවීම ද එහිදී දැඩි කතාබහට ලක්‌වූ කරුණක්‌ විය.

සරත් ෆොන්සේකා මහතා හට නවලෝක රෝහලේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී ආරක්‍ෂාව සැපයීමට නොහැකි බවට පූර්ව දැනුම්දීමකින් තොරව මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් සහතික නොකළ ලිපියක්‌ ඉදිරිපත් කළ බන්ධනාගාර කොමසාරිස්‌වරයා පසුව ඒ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ විමසීමට ලක්‌ කළ අවස්‌ථාවේදී කරුණු දැක්‌වීමට නොපැමිණියේ මන්දැයි යන්න සිතා ගැනීමට නොහැකි කරුණකි.

සරත් ෆොන්සේකා මහතා වෙත නවලෝක රෝහලේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී ඇත්තවශයෙන්ම බන්ධනාගාරයට ආරක්‍ෂාව සැපයීමක්‌ කළ නොහැකි නම් ඒ පිළිබඳව ඔවුන් ශේ්‍රෂ්ඨාධිකරණය වෙත ද දැනුම් දීමක්‌ කළ යුතුව තිබිණි. සිද්ධියට අදාළ පෙත්සම ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කරුණු දක්‌වමින් කියා සිටියේ සිරගත අයකු විෂයෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේදය හා වගන්ති පිළිබඳව පවතී.

කොළඹ මහාධිකරණයට සහතික නොකළ ලිපියක්‌ ඉදිරිපත් කරමින් පූර්ව දැනුම් දීමකින් තොරව පෙනී සිටි බන්ධනාගාර කොමසාරිස්‌වරයා අධිකරණය ද නොමඟ යෑවීමට උත්සාහ කළේ යෑයි මෙහිදී කෙනෙක්‌ සිතයි නම් එහි වරදක්‌ නැත. ඒ පිළිබඳව මහාධිකරණ විනිසුරුවරයා තුළ ද කුහුලක්‌ ඇතිවූ අතර ඒ පිළිබඳව හෙතෙම කළ නියෝගයේ ද ඇතුළත් වන්නේය. බන්ධනාගාර කොමසාරිස්‌වරයා මෙහිදී ක්‍රියා කර ඇත්තේ කිසිදු වගකීමකින් තොරව බව පැහැදිලිය. සිය තනතුර පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කරන මෙවැනි නිලධාරීන් අධිකරණය වෙත පැමිණ දක්‌වන කරුණු සම්බන්ධයෙන් දෙවරක්‌ සිතා බැලිය යුතු තත්ත්වයක්‌ මෙයින් මතු වන්නේය.

පුරා තිස්‌ වසරකට අධික කාලයක්‌ රට පුරා පැවැති කුරිරු ත්‍රස්‌තවාදය මුළුමනින්ම උපුටා දැමීමේ විජයග්‍රහණයේ තෙවර්ෂ පූර්ණ සැමරුම මෙවරත් ඉතා ඉහළින් සමරනු ලැබුවේය. යුද්ධයේදී ජීවිත කැප කළ වීරෝදාර රණවිරුවන් සැමරුම් වස්‌ පවත්වනු ලැබූ එම උත්සවය පවත්වන විට යුද්ධයේ කුරිරු භවේ සැමරුම් අතැතිව එයින් ශාරීරික අසාධ්‍ය තත්ත්වයට පත්වූ හිටපු හමුදාපතිවරයා සිරකරුවකු ලෙසින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින්නේය. මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ බෝම්බයකට හසුව බාහිරවත් අභ්‍යන්තරවත් දැඩි ලෙස තුවාල ලැබූ ෆොන්සේකා මහතා සිය ජීවිතයත් මරණයත් අතර සිදු කළ මෙහෙයුමේ දෙවැනි සැමරුම අත්විඳිනු ලැබූයේ ද සිරගතවය. යුද්ධයේ නෂ්ඨාවශේෂ වූ මෙම උණ්‌ඩ හා බෝම්බ කොටස්‌ සිය සිරුරේ තවමත් ඇතිව එයින් වූ තුවාලවලට ප්‍රතිකාර ලබන ඔහුට ඒ සඳහා අද දවසේ අධිකරණයේ පිහිට පැතීමට සිදු වූයේය.

මීට වසර හයකට පෙර මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ බෝම්බයක හසුව ජීවිතයත් මරණයත් අතර ඔහු කළ සටනේදී රෝහල් ඇඳ වටා සිටි රජ මැතිෙ¹a අද නැත. ඒ සටනේ අතුරු ආබාධයන්ට තවමත් ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇති ඔහු අද සිටින්නේ විලංගු ලා රැකවලුන් මැදය. එදා "කොහොමහරි සනීප වෙලා යුද්ධය ඉවර කරලා දෙන්න..." යෑයි ඉල්ලීම් කළවුන්ගෙන් අද ඔහුට "මොනවා හරි කරලා එළියට එන්න දෙන්න..." යෑයි ඉල්ලීම් කරන්නට සිදුව ඇති බවක්‌ ඔහු නිදහස්‌ කර ගැනීමට වෙර දරන අයගේ ක්‍රියාකලාපයන් තුළින් ඉස්‌මතුව පෙනේ.

රණවිරු සැමරුම් උළෙලේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නාමය ඔහු කළ සේවය එයින් ඉවත් කර තැබීමට කිසිවකු උත්සහ කළ ද එම උත්සහයම ඔහුගේ නාමය, සේවය තව තවත් උද්දීපනය වන්නට හේතුවන්නේය. ඇතැම් මාධ්‍ය යුද්ධයේ සැමරුම් දර්ශන වලින් ඔහුගේ රුව ඉවත් කිරීමට අසාර්ථක නින්දිත උත්සහයක නිරත වන විට එම හිඩැස තුළින්ම ෆොන්සේකා මහතාගේ රූපකාය මතුව එන බවක්‌ එම මාධ්‍ය නොදැන සිටින්නට නොහැක.

ක්‍රියාකාරී හමුදා සේවයේ යෙදී සිටියදී ජෙනරාල් ධුරයට පත්වූ එකම හමුදාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා මෙරට සිටින එකම තරු හතරේ ජෙනරාල්වරයාද වන්නේය. යුද්ධ පිටියෙන් දේශපාලන පිටියට පිවිසි ඔහු බොහෝ දෙනකුට විශ්‍රාමික ජෙනරාල්වරයාද වූයේය. ඒ අනුව යුද්ධාධිකරණ තීන්දුවට පෙර ලංකාවේ එකම විශ්‍රාමික ජෙනරාල්වරයා ද වූයේ ෆොන්සේකා මහතාය. වෙනත් කිසිදු ජෙනරාල්වරයකු සේවයෙන් විශ්‍රාම ගිය පසු එසේ හැඳින්වීමක්‌ කර නැති බව කිව යුතුය.

සාමාන්‍ය ව්‍යවහාරයේ නොමැති වදන් යොදමින් ඔහුගේ නාමය රූපය ජනතා සිත්සතන් තුළින් ඉවත් කිරීමට උත්සාහ කළද කවුරු කුමක්‌ කෙසේ කීවද සිතුවද ඔහු වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පිටුවක්‌ වෙන් වී ඇත්තේය. එය කිසිවකුට කිසි ලෙසකින් ඉවත් කිරීමට නොහැකි වන්නේය. ඔහු රටට කළ සේවය, ජීවිත කැප කිරීම ඉතිහාස පොතේ නොලියවෙන්නට කවුරුන් හෝ නිරර්ථක උත්සාහයක යෙදෙයි නම් එයටද ඉතිහාස පොතේ පරිච්ඡේදයක්‌ වෙන් වනු ඇත.

හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ සරත් ෆොන්සේකා මහතාට හිටපු වෙනත් නිලධාරීන් සේම තානාපති ධුරයක්‌ හෝ වෙනයම් ඉහළ නිලයක්‌ ලබාගෙන යෙහෙන් වැජඹෙන්නට ඕනෑ තරම් ඉඩ ප්‍රස්‌ථාව තිබිණි. එහෙත් ඔහු එය පසෙකලා තවත් යුද්ධයකට අතගැසුවේය. ලංකාවේ සිටි අනෙක්‌ හමුදාපතිවරුන් සමග බලන විට සරත් ෆොන්සේකා මහතාට ජනතාව අතර මෙතරම් ප්‍රසාදයක්‌ ජනප්‍රියතාවක්‌ ඇති වීමට ඉහවල් වූ හේතු සාධකම ඔහු සිරකරුවකු වීමට බලපෑවේය. තිස්‌ වසරක්‌ පුරා රට තුළ පැවැති යුද්ධය තමාගෙන් පසු පත්වන හමුදාපතිවරයකුට භාරදීමක්‌ සිදුනොකරන බවට ඔහු රටට, ජනතාවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකරනු ලැබුයේය. යුද්ධය නිමාවීමත් සමග සිය සේවයෙන් විශ්‍රාම ගිය ෆොන්සේකා මහතා පවතින රාජපක්‍ෂ පාලනයට එරෙහිව ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේත් ජනතා විමුක්‌ති පෙරමුණේත් එකතුවෙන් පොදු අපේක්‍ෂකයා ලෙසින් තරග බිමට පිවිසියේය.

යුද්ධ ජයග්‍රහණයත් සමග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුර කාලය වසර දෙකක්‌ තිබියදී ජනාධිපතිවරණයට පිවිසි අතර එහිදී රාජපක්‍ෂ මහතා යුද්ධ ජයග්‍රහණය පෙරටු කොට ගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන යන විටදී එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රධාන විපක්‍ෂයටද යුද්ධය වෙන්දේසි කළ හැකි පුද්ගලයා ලෙසින් හිටපු හමුදාපතිවරයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තේය.

යුද්ධ හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2010 පෙබරවාරි 08 දා රාත්‍රියේදීය. හමුදාපතිවරයා ලෙස හා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ලෙස සිටියදී දේශපාලනයේ යෙදීම, විපක්‍ෂය සමග එක්‌ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීම, යුද්ධ හමුදාව දෙකඩ වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හා හමුදාපතිවරයා ලෙසින් හමුදාවේ ටෙන්ඩර්වලට බලපෑම් කිරීම (හයිකෝප් ගනුදෙනුව) ආදී චෝදනාවන් මුල්කොට ගනිමින් යුද්ධ හමුදා පොලිසිය මගින් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගැනීම සිදුවිය.

යුධාධිකරණ හමුවට

නාවික හමුදා මූලස්‌ථානයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි ෆොන්සේකා මහතාට එරෙහිව යුධාධිකරණ දෙකක්‌ පත්කරනු ලැබූ අතර පළමු යුධාධිකරණයේ විභාග වූ චෝදනාවන්ට වැරදිකරු වූ ඒ මහතාගේ ජෙනරාල් පදවියත් එයින් ලැබූ සියලු වරප්‍රසාදත් අහිමි කරනු ලැබීය. ෆොන්සේකා මහතාට එරෙහි පත් කරනු ලැබූ දෙවැනි යුධාධිකරණයේ විභාග වූ චෝදනාවන්ට ද වැරදිකරු වූ ඔහුට මාස 30 ක සිර දඬුවමක්‌ විභාගවනු ලැබීය. දෙවැනි යුධාධිකරණයේ මාස 30 ක සිර දඬුවමත් සමඟ ඒ වන විට ඔහු තේරී පත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි වන්නට වූයේය.

සුදු කොඩි නඩුව

යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නාවික හමුදා මූලස්‌ථානයේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සරත් ෆොන්සේකා මහතාව ප්‍රථම වරට අධිකරණයක්‌ හමුවට ඉදිරිපත් කරනු ලැබූයේ 2010 මැයි 12 දාය. සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණයට අදාළව අධිකරණයෙන් ලබාගත් නොතීසියක්‌ මත එදින ෆොන්සේකා මහතාව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුයේය. සිද්ධියට අදාළව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සරත් ෆොන්සේකා මහතාව අධිකරණය හමුවට ගෙන්වා ගැනීම සඳහා වාර්තා ගොනු කළ අවස්‌ථා තුනකදීම කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරනු ලැබූයේ පරීක්‍ෂණයේ සම්පිණ්‌ඩන වාර්තා හා ෆොන්සේකා මහතාව සැකකරුවකු ලෙස නම් කර නැතැයි යන පදනමිනි.

ත්‍රස්‌තවාදයට එරෙහිව ගෙනගිය මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි කොටි නායකයන්ට වෙඩි තබන ලෙසට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට කියා සිටි බවට තමන්ටද දැන ගන්නට ලැබුණේ යෑයි ෆොන්සේකා මහතා 2009 දෙසැම්බර් 08 දා සන්ඩේ ලීඩර් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකට අදාළව මෙහි පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර පවත්වන්නට යෙදුනි.

තෙවන වර්ෂ

පරීක්‍ෂණ ආරම්භ කර මාස පහකට පමණ පසු දෙවැනි යුදාධිකරණය නියම කළ සිර දඬුවම් විඳිමින් සිටි සරත් ෆොන්සේකා මහතාට 2010 ජුලි 21 දා සුදු කොඩි සිද්ධියට අදාළව කට කථාවක්‌ පැතිරවීම, ඒ තුළින් ජනතාව තුළ ජාතිවාදී හැඟීම් ඇවිස්‌සීම හා ලංකාණ්‌ඩුවට එරෙහිව විරුද්ධත්වයක්‌ දැක්‌වීම යනුවෙන් හදිසි අවස්‌ථා නියෝග යටතේ හා දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා තුනක්‌ මත කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුවේය.

විශේෂයෙන් පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ වාර 57 ක්‌ කැඳවනු ලැබූ සුදු කොඩි නඩු විභාගයෙන් තුනෙන් දෙකට බෙදුනු තීන්දුවක්‌ මගින් සරත් ෆොන්සේකා මහතා වැරදිකරු වී වසර තුනක සිර දඬුවමකට හා රුපියල් 5000 ක දඩයකට යටත් වූයේ පසුගිය නොවැම්බර් 18 දාය.

විනිසුරු මඩුල්ලේ බෙදුනු තීන්දුවට එරෙහිව ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක්‌ ගොනුකර ඇති අතර තමන් වැරදිකරු කරමින් දෙන ලද තීන්දුව හා දඬුවම අහෝසි කොට ඉවතලා නිදොස්‌ කොට නිදහස්‌ කරන ලෙසට එයින් ඉල්ලා ඇත. විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව පිළිගත් නීති සිද්ධාන්තයන්ට පටහැනි බවත් පැමිණිල්ලේ සාක්‌කි නිසි ලෙස ඇගයීමකින් තොරව දෙන ලද තීන්දුවක්‌ බවත් අභියාචනය ගොනු කරමින් කරුණු දක්‌වා ඇති ෆොන්සේකා මහතා පැමිණිල්ලේ සාක්‌කි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇති දැයි එහිදී නිසි අධිකරණ ක්‍රියාවලියක්‌ සිදුකර නැති බවත් රට තුළ ක්‍රියාත්මක නොවන නීතියක්‌ යටතේ තමන්ව වරදකරු කරමින් දඬුවම් ලබාදී ඇති බවත් වැඩිදුරටත් පවසා ඇත. ෆොන්සේකා මහතා ගොනු කර ඇති අභියාචනය පිළිගෙන ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව විභාගයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සුදු කොඩි නඩුවේ තීන්දුවත් සමග සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා තවත් චෝදනා පත්‍ර දෙකක්‌ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන්නට වූයේය. යුද හමුදාපතිවරයා ලෙසින් ටෙන්ඩර් සිද්ධියකට අදාළව සිදු කළ වංචාවක්‌ සම්බන්ධයෙන් හා සේවය හැරගිය හමුදා සෙබළුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් එහිදී චෝදනා එල්ල වී ඇත.

හයිකෝප් චෝදනා ඉවතට

යුද හමුදාවට අවශ්‍ය භාණ්‌ඩ මිලදී ගැනීමේ ටෙන්ඩර් ගනුදෙනුවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි දෙකකට අධික මුදලක්‌ වංචා කිරීම සඳහා හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය බෑනා වූ ධනුන තිලකරත්න මහතා අධ්‍යක්‍ෂවරයකු වූ සමාගමට අනුග්‍රහයක්‌ දක්‌වමින් ආධාර අනුබල දෙන ලදැයි චෝදනා පත්‍රය මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා හමුවේ කැඳවන්නට වූ අතර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස්‌ මහතා චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක්‌ ගොනු කරන්නට වූයේය.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවත්වන්නට යෙදුණු දෙවැනි යුදාධිකරණය ගොනුකළ චෝදනා පත්‍රය මගින්ද ඔහුට එරෙහිව හයිකෝප් වංචාවට අදාළව චෝදනා ගොනුකර විභාගයක්‌ පවත්වා වැරදිකරු කරමින් දඬුවම් ලබාදී ඇති බවත්, ඔහුට එරෙහිව තවත් අධිකරණයක එම චෝදනාව සම්බන්ධයෙන් විභාගයක්‌ පැවැත්විය නොහැකි බවත් පෙන්වා දුන් පීරිස්‌ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යුධාධිකරණය නිසි බල සහිත අධිකරණයක්‌ බවට තීරණය කර ඇති බවත් කියා සිටියේය.

කිසිදු පුද්ගලයකුට එරෙහිව එකම චෝදනාවක්‌ වෙනුවෙන් අධිකරණ දෙකක නඩු විභාගයක්‌ පැවැත්විය නොහැකි බවට මුලික නීති සිද්ධාන්තයක්‌ පවතින අවස්‌ථාවක ෆොන්සේකා මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා පත්‍රය විභාගයට නොගෙන ඔහු නිදහස්‌ කර හරින ලෙසට ඔහුගේ නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව හයිකෝප් වංචාවට අදාළව ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි සැලකිලිමත් වූ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා ඒ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පැවැති දෙවැනි යුධාධිකරණයේ සහ මහාධිකරණයේ ගොනු කර ඇති චෝදනා එක සමාන බැවින් කිසිදු පුද්ගලයකුට එරෙහිව එකම වරදකට දෙවරක්‌ නඩු පැවරීමට නීතිමය බලයක්‌ නොමැති බව කියා සිටිමින් අදාළ චෝදනාවන්ගෙන් ඔහු නිදහස්‌ කොට නිදහස්‌ කරන බවට තීන්දු කළේය.

ගොනු කර ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විභාගයක්‌ පැවැත්වීමට ඉඩ ලබා දුනහොත් එයින් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට බලවත් අගතියක්‌ වන බවද තීරණය කර තිබූ විනිසුරුවරයා අදාළ චෝදනා ගොනු කිරීමට පෙර පැමිණිල්ල ඒ පිළිබඳව තීරණයක්‌ ගත යුතුව තිබු බවද පෙන්වා දුන්නේ චෝදනා පත්‍රයේ සඳහන් අනෙක්‌ විත්තිකරුවන්ට මෙන් ඔහුටද මහාධිකරණයේ පමණක්‌ චෝදනා ගොනු කරන්නට තිබූ බවට පසක්‌a කරමිනි.

සේවය හැර ගිය හමුදා සෙබලුන් තබා ගැනීම.

හමුදා සේවයෙන් පලා ගිය සෙබලුන් සිය ආරක්‍ෂාවට යොදා ගැනීම හා ඔවුන්ගේ රාජපාක්‍ෂික භාවය නැති කිරීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාට අමතරව ඔහුගේ ලේකම්වරයා වූ කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා මහතාට ද මෙහි චෝදනා ගොනු කර ඇති අතර එහි නඩු විභාගය පසුගිය මාර්තු 13 දා මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා හමුවේ විභාගයට ගන්නට යෙදුණි.

2009 අප්‍රේල් 15 වැනිදාත් 2010 ජනවාරි 27 වැනිදාත් අතර කාලයේදී කොළඹදී නීත්‍යනුකූලව අනුයුක්‌ත නොකළ හමුදා සෙබලුන් 12 දෙනකු ඔවුන්ගේ අණ දෙන නිලධාරීන්ගේ නීත්‍යනුකූල නියෝග අනුව කටයුතු කිරීම පැහැර හැරීමට උපදෙස්‌ දීමෙන් හා එසේ කිරීම වැළැක්‌වීමෙන් ශ්‍රී ලංකා ජනරජය කෙරෙහි දක්‌වන රාජපාක්‍ෂිකභාවයෙන්a හා රාජකාරියෙන් ඉවත් කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදු කර ඇති බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටද ඊට ආධාර අනුබල සපයන ලදැයි සේනක ද සිල්වා මහතාට ද මෙහි චෝදනා 41 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර කියවා දීමෙන් පසු ඔවුන් සියලු චෝදනාවන්ට නිවැරැදිකරුවන් බවට ප්‍රකාශ කළ අතර ඒ අනුව නඩු විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මේ වනවිට එහි සාක්‌කිs විමසීම ආරම්භ කර ඇති අතර පසුගියදා (18 දා) ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප අයෑදුම කෙරෙහි සැළකිලිමත් වෙමින් මහාධිකරණ විනිසුරුවරයා ඒ මහතාව ඇප මත මුදාහරිනු ලැබුවේය.

සමාව නොගැනීමේ තීරණයක

සිරදඬුවම් නියම වූ සරත් ෆොන්සේකා මහතා කොන්දේසි රහිතව පූර්ණ සමාව යටතේ නිදහස්‌ කරන ලෙසට ජනාධිපතිවරයා වෙත විවිධ අංශවලින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මතය වූයේ ෆොන්සේකා මහතාගේ පවුලේ කෙනකුන් නිසි ක්‍රමවේදයක්‌ තුළින් සමාව ඉල්ලන්නේ නම් ඒ පිළිබඳව තමන් සලකා බැලීමට සූදානම් බවය. මේ වන විට ඔහුගේ හිතවතුන් ඒ පිළිබඳව රජයේ පාර්ශ්ව සමග කතා බහක නිරතව ඇති අතර එම වෑයමේ සාර්ථකත්වයක්‌ ඇති බවට ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයෙන් ද අසන්නට ලැබේ.

තමන් කිසිදු විට කිසිදු වරදක්‌ කර නැති නිසා සමාවක්‌ ඉල්ලීමට සූදානම් නැති බවට සරත් ෆොන්සේකා මහතා විටින් විට ප්‍රකාශ නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් ඒ මහතාගේ පවුලේ උදවිය දරනු ලබන්නේ ද එම මතයමය.

අවස්‌ථා කීපයකදී මහා නායක හිමිවරුන් ද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාව නිදහස්‌ කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉල්ලීම් යොමු කර තිබූ අතර ඒ මහතා නිදහස්‌ කර ගැනීම උදෙසා සිවිල් සමාජයේ සංවිධාන කීපයක්‌ ද ඇති වූයේය. දිවයින පුරා උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ පවත්වන්නට වූ එම සංවිධාන වටා ජනතාව ඒකරාශි වන්නට වූයේ ආණ්‌ඩු විරෝධී හඬක්‌ ද මතු කරමිනි.

මේ අතර කොළඹ පැවැති උත්සවයක්‌ අතරතුරේදී "ද හින්දු" පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාව ඉක්‌මනින් නිදහස්‌ කරන බවට කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක්‌ කළ බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා කලක සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡාවක නිරත වන්නේය.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම උදෙසා ජනතා ඒකරාශියෙන් උද්ඝෝෂණ පවතින අතරතුරදී ද ඒ මහතා නිදහස්‌ කර ගැනීමේ සාකච්ඡා පවත්වන්නට වූයේය. එවැනි සාකච්ඡා අතරතුර පවත්වන උද්ඝෝෂණ ආණ්‌ඩු විරෝධී ඒවා නොවන බවට ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයන්ගෙන් කියෑවෙන්නට විය. කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල උද්ඝෝෂණයක්‌ පවත්වන්නට පෙර දින පොලිසිය විසින් බෝම්බ සොයා ගත් බවට කළ ප්‍රචාරයක්‌ තුළින් උද්ඝෝෂණයට ලැබිය යුතුව තිබූ ජනතා සහාය බිඳී ගියේ කාගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙසින් දැයි දැඩි කුතුහලයක්‌ මතුව ආවේය. කෙසේ වුවත් පැවැති උද්ඝෝෂණයේදී දක්‌නට ලැබුණේ අනෝමා ෆොන්සේකා මහත්මියත් එක්‌සත් ජාතික පක්‍ෂයේ සජිත් - කරු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් නඩු විභාගයන්ට කවදත් එන විශ්‍රාමික රණවිරු කීපදෙනකුත් සමග සුළු ජන සහභාගිත්වයකි. අනතුරුව බන්ධනාගාරය වෙත ගිය පෙළපාලියට එක්‌ වූයේද එයින් කොටසකි.

සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් දිනයේ සිට මෑතක්‌ වනතුරු ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ හා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන් අද වන විට නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන්නට වී තිබෙන බවක්‌ පෙනී යන්නේය. ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම උදෙසා පැවැති උද්ඝෝෂණයන්ට පුවත්පත් සාකච්ඡාවන්ට රටේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට ආරාධනා නොලැබීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා වෙනම උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර පවත්වන්නට වූයේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේත් ජනතා විමුක්‌ති පෙරමුණේත් ප්‍රධානත්වයෙන් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වු සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීමේ වැඩකටයුතුවල නිරතව සිටින අය ඔවුන් පසෙකට දමා එක්‌සත් ජාතික පක්‍ෂයේ සජිත් - කරු පාර්ශ්වය සමග හා ආණ්‌ඩුව සමඟ දැඩි බැඳීමක්‌ ගොඩනඟා ගෙන ඇති බව පෙනී යන්නේය.

සරත් ෆොන්සේකා මහතාට එරෙහි නඩු විභාගයට ගත් මුල් දිනවලදී අධිකරණය වෙත පැමිණි බොහෝ පිරිසක්‌ මේ වන විට පැමිණෙන බවක්‌ දක්‌නට නොමැත. ඒ මහතා නිදහස්‌ කර ගැනීම උදෙසා පැවැති මුල් උද්ඝෝෂණයන්ට එක්‌ වූ ජන පදනම පසු උද්ඝෝෂණවලදී හීන වී යැමක්‌ පෙන්නුම් කළේය. සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීමේ කාර්යයේ නිරත වූවන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ඔහු වටා එක්‌රොක්‌ වී සිටි බොහෝ පිරිසක්‌ මේ වන විට දුරස්‌ වී හෝ දුරස්‌ කර ඇති බවක්‌ පෙනෙන්නට ඇත.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ වීමේදී කිසිදු කොන්දේසියකට යටත් නොවීමට වග බලා ගනු ඇතැයි ඔහු වෙනුවෙන් හැමදාම අවංක සිතින් පෙනී සිටි ජනතාවගේ පැතුම වන්නේය. කොන්දේසි පැනවීමකින් නිදහස ලබා ගන්නවාට වඩා නියම වූ හා නියම වන්නට ඇති සිරදඬුවම් විඳ අවසන්ව පැමිණීම අභිමානයකයෑයි ඔවුන් සිතන බැවිනි.

රජයේ දූෂණයට භීෂණයට එරෙහි ජනතා පෙළ ගැස්‌මක්‌ ඇති කිරීමට හැකි පුද්ගලයකු ලෙසින් 2010 පෙබරවාරි 09 දාට පෙර සිටි අයුරින් රටේ සෑම පුරවැසියකුටම හිමි අයිතිවාසිකම් ඇති පුරවැසියකු ලෙසින් නිදහස ලබා ගත යුතුව ඇත.

සරත් ෆොන්සේකා මහතාට ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව පැහැදිලි තීරණයක්‌ ගත යුතු තත්ත්වයට ඔහු පත්ව ඇත්තේය. ඔහු පිළිබඳ ජනතාව තුළ ඒකායන බලාපොරොත්තුවක්‌ ඇත්තේය. එය ඉටු කිරීම උදෙසා තමන් කවුරුන්a සමග එක්‌වෙනවාද සන්ධානගත වෙනවාද කියා ඔහු මෙහිදී දෙවරක්‌ සිතා බැලිය යුතුව ඇත. සිතින් මවා ගත් අධි තක්‌සේරුවකින් දේශපාලන අනාථයන් හා අවස්‌ථාවාදීන් සමග ගමන් කිරීමෙන් අත්වන ඉරණම දේශපාලන ඉතිහාසය පිරික්‌සීමෙන් සිතා ගැනීමට හැකිවනු ඇත.

සමන්ත ඉලේපෙරුම

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.