විද්වත් හමුව


සංවර්ධන උපාය මාර්ග වෙනස්‌
නොකර රට දියුණු කරන්න බෑ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත


ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්‌ ලෙස නැගී සිටීමේ ව්‍යායාමය ඇරඹෙන්නේ මීට දශක ගණනාවකට ඉහත දීය. ත්‍රස්‌තවාදී යුද්ධයෙන් නිදහස්‌ වූ රට දැන් ඒ ගමනේ කූටප්‍රාප්තිය වෙත යොමුව සිටින බව බොහෝ දෙනා කියනු ඇසේ. දැනටමත් අපේ රට සෑම සියලු අතින්ම සමෘද්ධිමත් දේශයකැයි කියන දේශපාලකයෝද සිටිති.

නමුත් හැටේ දශකයේදී ශ්‍රී ලංකාව සමග එක පෙළට සිටි ආසියාතික රටවල් අතර අද අපේ රට සිටින්නේ කොතැනද? කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව අප පසුකර බොහෝ දුර ගොසිනි. ඔවුන්ට ඒ ජවය ලැබුණේ කෙසේද? ශ්‍රී ලංකාවෙන් ඒ ජවය ගිලිහුණේ කෙසේද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත කරන විග්‍රහයකි මේ.

අපේ රට දැන් සමෘද්ධිමත් රටක්‌. ජනතාව අත යහමින් මුදල් ගැවසෙන අපේ රට අද හැම පැත්තෙන්ම දියුණුවක්‌ සමෘද්ධියක්‌ ලබා ඇති රටක්‌ ලෙස ආණ්‌ඩුවේ මැති ඇමැති කිහිප පොළක්‌ම ප්‍රකාශ කරලා තියෙනවා. අපේ රට සමෘද්ධිමත් රටක්‌, දියුණු රටක්‌ විදිහට මේ අය පෙන්වන මේ නිර්ණායක හරිද?

අපේ රට සංවර්ධනය කර ගැනීම, දියුණු කර ගැනීම කාලයක ඉඳන් විශාල අවශ්‍යතාවක්‌ තිබුණු දෙයක්‌. අපේ රටේ ඉතිහාසය දෙස බලන විට මේ අවශ්‍යතාව මත දැඩිව ක්‍රියාකරන්නට පෙළඹුණේ එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන් තරම ඈත කාලයක සිටයි. අපේ රට අරගෙන බැලුවම අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්න අතර ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර තියෙනවද, නිවාස තියෙනවද, ඇඳුම් පැළඳුම් තියෙනවද සහ රටේ ප්‍රමාණවත් තරම් සාමකාමී සහ විනයගරුක සමාජයක්‌ තියෙනවද කියන ප්‍රශ්න කිහිපය ප්‍රධානයි.

අද රටේ තිබෙන මේ ප්‍රශ්න එදා අනුරාධපුර හෝ පොළොන්නරු යුගයේ විස» හැටියට විසඳන්න බෑ. අද මේ ප්‍රශ්නය දෙස අප බැලිය යුත්තේ අපේ කලාපය තුළ තිබෙන දේශපාලන සමාජ හා ආර්ථික තත්ත්වයනුත් ලෝක දේශපාලන සමාජ හා ආර්ථික තත්ත්වයනුත් සැලකිල්ලට ගනිමිනුයි.

රටක්‌ සංවර්ධනය වුණා කියන්නෙ, දියුණු වුණා කියන්නෙ මූලික වශයෙන් ඒ රටේ මිනිසුන්ට ධනය තියෙන්නට ඕන. ඒ ධනය එදිනෙදා ජීවත්වීමටත්, යහපත් අනාගතයක්‌ සුරක්‌ෂිත කිරීමටත් ප්‍රමාණවත් වෙන්න ඕන. මේ තමයි සංවර්ධනය වූ රටක්‌ ගැන තිබෙන ආර්ථික හා සමාජ විද්‍යාත්මක විග්‍රහය.

මෙන්න මේ කාරණය පිළිබඳ 1960 විතර කාලෙ ඉඳන් මේ දක්‌වා අපිත් එක්‌ක හිටපු ආසියාතික රටවල් දිහා බලන විට, මලයාසියාව, ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව වැනි රටවල් දිහා බැලුවම සංවර්ධනය අතින් අපි ඉන්නෙ විශාල පසුබෑමක. අපි දැන් සංවර්ධනය වෙච්ච දියුණු වෙච්ච රටක්‌ කියල කියනව නම් කොරියාව වගේ රටක්‌ අපි නිර්වචනය කරගන්නෙ කොහොමද?

එහෙම නම් අපිත් එක්‌කම හිටපු මේ අනිත් ආසියාතික රටවලුයි අපියි අතර සංවර්ධනය අතින් තිබෙන ඔබ කියන මේ විශාල පරතරයට හේතුවකුත් තියෙන්නට ඕනනෙ.

දැන් අපේ රට සහලින් ස්‌වයංපෝෂිතයි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. එහෙම නං ඕනම කෙනකුට පහසුවෙන් සහල් මිලදී ගැනීමට හැකියාවක්‌ තියෙන්න ඕන. නමුත් අද ප්‍රමාණවත් ආහාර වේලක්‌ පහසුවෙන් ලබාගන්න පුළුවන් රටේ කීයෙන් කීදෙනකුටද. රටේ නිවාස ප්‍රශ්නයත් එහෙමනෙ. නිවාස සිය ගණනින් දහස්‌ ගණනින් හදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා බැලුවත් නිවාස ප්‍රශ්නය එහෙමමනෙ. මේකට හේතුව සංවර්ධනය වූ රටක තිබෙන මූලික ලක්‌ෂණය වන ධනය අපේ බොහෝ මිනිසුන් ළඟ නෑ.

ඇඳුම්, පැළඳුම් අරගෙන බැලුවත් වෙන රටවල නිෂ්පාදන ගෙන්වාගෙන උජාරුවට අඳිනවා, පළඳිනවා මිසක්‌ අපි ඇඳුම් අතින් ස්‌වයංපෝෂිත නෑ. ආහාර ගත්තහම සම්පූර්ණයෙන් මුහුදෙන් වට වූ රටක්‌ වුණත් අපේ රටට අවශ්‍ය මාළු ප්‍රමාණයවත් අපට නිෂ්පාදනය කර ගන්න බෑ. යම් දෙයකින් අපේ රට ස්‌වයංපෝෂිතයි නම් එයින් විදේශ විනිමය උපයාගන්න අපි කටයුතු කරන්න ඕන. මෙය ලෝකයේ සංවර්ධනය වූ වෙනත් රටවල් කරන දෙයක්‌. නමුත් අපේ රටේ තවම එහෙම කරන්නෙ නෑ.

දැන් අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා ඇති කරමින් යනවා. නමුත් දැනට අවුරුදු ගානකට කලින් අපි පේසාලේ ටින් මාළු කර්මාන්ත ශාලාවක්‌ දැම්මා. නමුත් ඒක ඊට පස්‌සෙ වැහුවා. ඇයි එහෙම කළේ? අපි මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නෙ අපේ රටේ පරිසරයට උචිත අපේ රටට ගැලපෙන ආකාරයටද? අපේ රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ග අපේ රටේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැලපෙන ක්‍රියාමාර්ග විය යුතුයි. අපේ වර්තමාන පාරිසරික තත්ත්වය මත කර්මාන්ත දියුණු කිරීමට ඇති හැකියාව අඩුයි. පරිසරය සංවර්ධනය කරන්නෙ නැතිව, කෘෂි බිම් සංවර්ධනය කරන්නෙ නැතිව, ඒවායේ ධාරිතාව වැඩිකරන්නෙ නැතිව කර්මාන්ත දියුණු කිරීමට අමාරුයි.

මේ දිනවල විශේෂයෙන් කතාබහට ලක්‌වෙන කිරි ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න නම් පාරිසරික කෘෂි බිම් සංවර්ධනය ඉතාම අවශ්‍යයි. වැඩි කිරි ලීටර් ප්‍රමාණයක්‌ ලබාගත හැකි උසස්‌ වර්ගයේ දෙනුන් මෙරටට ගෙනාවත් ඒ ව්‍යාපෘති සාර්ථක කරගන්නට නම් උන්ට අවශ්‍ය පාරිසරික තත්ත්වයක්‌ හා තණ බිම් ඇති කළ යුතුයි. අපේ ධීවර කර්මාන්තය දෙස බැලුවත් සුළු ධීවරයා සංවර්ධනය කරලා ඔහුගේ නිෂ්පාදන වැඩිකිරීම සඳහා අපේ රටේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයට ගැළපෙන ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු වෙනවා. අද තිබෙන තත්ත්වයන් අනුව අපේ රට සෑම අංශයකින්ම ස්‌වයංපෝෂිත තත්ත්වයක්‌ කරා යන්නට නම් පරිසරය විසින් ඇතිකර තිබෙන ස්‌වාභාවික සේවාවන් යටතේ අධික යෙදවුම් ප්‍රමාණයකින් ලැබෙන්නෙ සුළු ප්‍රමාණයයි. එයත් කඩාවැටීමේ අවදානමක්‌ සහිත එකක්‌. උදාහරණයක්‌ ලෙස යම් ආකාරයකට භාවිත කරන පොහොර ප්‍රමාණය අඩුවක්‌ වුණොත් අස්‌වැන්න විශාල ලෙස පහත වැටෙනවා. වර්ෂාව වැඩිවුණොත් අස්‌වැන්න විනාශ වෙනවා. පළිබෝධක ප්‍රමාණය ඉහළ ගියොත් අස්‌වැන්න අඩුවෙනවා. අපේ පරිසර පද්ධතිවල තියෙන මේ මූලික ස්‌වරූපය හඳුනා නොගෙන, ඒවාට සාර්ථක විසඳුම් ලැබෙන ක්‍රියාමාර්ග නැතිව සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කර පලක්‌ නෑ. පසුගිය අවුරුදු තිහ හතළිහ දෙස ආපසු හැරී බලන විට විවිධ අවස්‌ථාවල ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩපිළිවෙළවල් අසාර්ථකවීමට හේතුව අපේ පරිසරයෙන් අපි උගත් පාඩමක්‌ නෑ. පේසාලෙ ටින් මාලු කර්මාන්ත ශාලාව වැහුණේ ඇයි කියන පාඩම ඉගෙනගෙන නෑ. බොරලැස්‌ගමුවෙ පටන් ගත්තු පිඟන් මැටි කර්මාන්ත ශාලාව වැහුණෙ ඇයි කියන පාඩම ඉගෙන ගෙන නෑ. ඔරුවල වානේ කම්හල, කොස්‌ගම තුනී ලෑලි සංස්‌ථා කම්හලට මොකද වුණේ. කුඩා කර්මාන්ත ඇතිකිරීමේ අරමුණින් කොත්මලේ වැනි ප්‍රදේශවල ආරම්භ කළ යකඩවලින් වානේ හදන කර්මාන්තවලට මොකද වුණේ. දේශීය පලතුරු පාවිච්චි කරල නිෂ්පාදනය කරන්න දියත් කරපු ජෑම්, කෝඩියල් වැනි ද්‍රව්‍ය හදන වැඩපිළිවෙළට මොකද වුණේ? මේව දිහා බලනකොට අපි අපේ අතීතයෙන් උගත් පාඩමක්‌ නැති බව ඉතාම පැහැදිලියි.

කුවේනි කපු කැටුවා අපටත් මේක පුළුවන් කියල පටන් ගත්තට හරියන්නෙ නෑ. ඉදිරියට යා යුත්තේ අතීත වැරදි හදාගෙනයි. මේකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන මේ රටේ ඉන්න උගත්තු, මේ රටේ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු, පර්යේෂකයො මෙහි වගකීම දරන්නට ඕන. ඉදිරි දස වසර තුළ සිදුවන කාලගුණ හා දේශගුණ විපර්යාසයන්ට මුහුණ දිය හැකි කෘෂිකාර්මික පිළිවෙතක්‌ අපට තිබෙනවාද, ඉදිරි දස වසර තුළ අපේ රටේ මඩ ගොවිතැනට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුව ශ්‍රමය. අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් ජනතාව වේගයෙන් ඉවත්වන තත්ත්වය හමුවේ අනාගතයේ මෙය අති දැවැන්ත ප්‍රශ්නයක්‌ බවට පත්වෙනවා.

ඔබ හිතන්නෙ මේ ප්‍රශ්නයට අපි මුහුණ දිය යුත්තේ කොහොමද?

සංවර්ධන ක්‍රියාමාර්ග අපි හිතන තරම් සරල නෑ. දීර්ඝකාලීන සැලසුම් සහිත ක්‍රියාදාමයක්‌ නැතිව එහි සංකීර්ණ තත්ත්වයට මුහුණ දෙන්න බෑ. ඒ දීර්ඝ කාලීන සැලසුම යටතේ මේවා අනිවාර්යයෙන්ම අධ්‍යාපනයට ඒකාබද්ධ වෙන්න ඕන. මේක අද අපේ රටේ මූලික ප්‍රශ්නයක්‌. අපේ රටේ කෘෂිකර්මාන්තය, වෙනත් නිෂ්පාදන, කුඩා කර්මාන්ත, මධ්‍යම ප්‍රමාණ කර්මාන්ත, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය මේ කිසිදු කර්මාන්තයක්‌ ප්‍රමාණවත් ආකල්ප වර්ධනයකට යෝග්‍ය වන තරමට අධ්‍යාපනයට සම්බන්ධ වෙලා නෑ. අද අධ්‍යාපනය එක පැත්තකට යනවා.

දේශපාලකයෝ හිතනවා ඔවුන් කරන දේ තමයි හරි කියල. ඕන තරම් රටේ කිරි තියෙනවා. හාල් තියෙනවා. රට ස්‌වයංපෝෂිතයි. මිනිස්‌සු ළඟ සල්ලිත් තියෙනවා කියලා. සමහර දේශපාලකයෝ කියනවා, සමහර මාධ්‍යයත් කියනවා. අපේ රටේ ඇත්තම තත්ත්වය ඒකද?

ඒක මම නොකිව්වට රටේ ජනතාව දන්නවා.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.