ශ්‍රී ලංකා බේස්‌ බෝල්
තුට්‌ටු දෙකට විදින බිල්ලා

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) ලොව පුරා රටවල් රැසක විහිදී පැතිර ඇති ස්‌වෙච්ඡා සංවිධානයකි. JAICA ආයතනය ශ්‍රී ලංකාවේ ස්‌වෙච්ඡා සේවා ආරම්භ කළේ වසර ගණනාවකට පෙරය. එදා මෙදාතුර එම ආයතනයෙන් මෙරටට සිදුවූ සේවාව ඉමහත්ය.

ශ්‍රී ලංකාවේ බේස්‌බෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ද එම ආයතනය ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙයි. යෂුමා වතනබේ නමැති බේස්‌ බෝල් පුහුණුකරුවකු ශ්‍රී ලංකාවට ලබාදෙන්නේද ඒ අනුවය. 2010 වසරේ මාර්තු මාසයේ සිට පසුගිය මාර්තු මාසය දක්‌වා පුරා දෙවසරක කාලයක්‌ යෂුමා වතනබේ බේස්‌ බෝල් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළේය. එම කාලසීමාවේ ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ බේස්‌ බෝල් කණ්‌ඩායම්වල විදේශ සංචාර කිහිපයකටම හෙතෙම එක්‌වී තිබේ. දෙවසරක්‌ යනු සැලකිය යුතු කාලයකි. එම කාලයේදී මෙරටේ බේස්‌ බෝල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක්‌ එල්ල කළ හැකි තත්ත්වයක්‌ ගොඩනගා ගැනීමට ද වතනබේ සමත් වී තිබේ. ශ්‍රී ලංකාව වැනි රටකදී එවැනි තත්ත්වයකට පත්වීමට ඉඩ හසර ලැබීම අරුමයක්‌ද නොවේ. මන්ද බොහෝ විට විදේශිකයන් හමුවේ මෙරටේ නිලධාරීන්ද ස්‌වෙච්ඡාවෙන්ම කශේරුකාව සිඳගැනීමට නොපසුබට වන හෙයිනි.

ජයිකා ආයතනයට අයත් නාවල පාරේ පිහිටි ස්‌ථානයක ඡේ. ස්‌පෝර්ට්‌ස්‌ පෞද්ගලික සමාගම යන නමින් ව්‍යාපාරික ආයතනයක්‌ ආරම්භ කිරීමට වතනබේට මේ වන විට හැකි වී තිබේ. එම ආයතනය ලියාපදිංචි කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකුගේ නාමයෙනි. විදේශිකයකු සමග එක්‌ව ව්‍යාපාරික ස්‌ථානයක්‌ ආරම්භ කිරීමට කිසිවකුට තහනමක්‌ නොමැති බව අපි දනිමු. එහෙත් ජයිකා ආයතනයට අයත් ස්‌ථානයක්‌ ව්‍යාපාරික කටයුත්තකට යොදා ගැනීම පිළිබඳ ගැටලුවක්‌ අපට තිබේ. වතනබේ මැදිහත් වී මෙලෙස ව්‍යාපාරික ආයතනයක්‌ ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවේ නියම හැඩරුව මේ වන විට මතුවෙමින් පවතියි.

පසුගිය වසරේ 19 න් පහළ ආසියානු බේස්‌ බෝල් තරගාවලිය පැවැතියේ ජපානයේය. එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග වතනබේද එක්‌ විය. එහිදී ශ්‍රී ලංකාවට විශේෂ පරිත්‍යාගයක්‌ ලෙස බේස්‌ බෝල් ක්‍රීඩා උපකරණ පෙට්‌ටි 40 ක්‌ එනම් කිලෝ 200 ක පමණ උපකරණ ලැබිණි. එතරම් විශාල ප්‍රමාණයක බේස්‌ බෝල් ක්‍රීඩා උපකරණ ලැබුණේ ජපානයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙනි. එම උපකරණ තොගය ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රදානයක්‌ මිස පුහුණුකරුට හෝ වෙනත් කිසිවකුගේ පෞද්ගලික පරිහරණයට ලැබුණා නොවේ. පසුගිය වසරේ ලැබුණු එම බේස්‌ බෝල් ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකා පාසල් බේස්‌ බෝල් සංගමයට තවමත් ලැබී නැත. මෙතෙක්‌ කිසිම පාසලකට එම උපකරණ ලැබී නැතැයි ශ්‍රී ලංකා පාසල් බේස්‌ බෝල් සංගමයේ සභාපති මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති පී. ඒ. යූ. ජයරත්න මහතා පසුගිය අප්‍රියෙල් මස 28 වැනිදාතමින් ශ්‍රී ලංකා බේස්‌ බෝල් සංගමයේ ලේකම්වරයාට ලිපියක්‌ යවමින් සඳහන් කර ඇත. එම ක්‍රීඩා භාණ්‌ඩ වතනබේ නම් ජපන් ජාතික පුහුණුකරු සතුව ඇති බවත් ඒවා ක්‍රීඩා භාණ්‌ඩ අලෙවි කරන සමාගමක්‌ හරහා අධ්‍යාපන අමාත්‍යංශයට අලෙවි කිරීම සඳහා සූදානම් වන බවත් දැනගන්නට ඇතැයි සභාපතිවරයා තවදුරටත් සඳහන් කරයි.

සභාපතිවරයාගේ ලිපිය ලැබී දින දෙකකින් එනම් පසුගිය අප්‍රියෙල් මස 30 වැනිදා පිළිතුරු ලිපියකින් ශ්‍රී ලංකා බේස්‌ බෝල් සංගමය සඳහන් කර ඇති තොරතුරු පුදුම එළවන සුළුය. පසුගිය වසරේ අගෝස්‌තු මස ජපානයේ පැවැති තරගාවලියෙන් පසුව ජපාන පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු කිලෝ දෙසියක උපකරණ අනාගතයේ ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ අරමුණින් යෂුමා වතනබේ මහතාට ලබා දුන්නා. එම උපකරණ මෙරටට ගෙන ඒමේදී ශ්‍රී ලංකා රේගුවෙන්ද එතරම් ගැටලුවක්‌ ඇති වූයේ නැති නමුත් එම උපකරණ අපිට දකින්නටවත් ලැබුණේ නැත." "මෙලෙස ලැබුණු උපකරණ පාසල් සහ ක්‍රීඩා සමාජ අතර බෙදාහැරීම සඳහා ඒවායේ ලේඛනයක්‌ ලබා දෙන්නැයි වතනබේ මහතාගෙන් කළ ඉල්ලීමට මෙතෙක්‌ ප්‍රතිචාරයක්‌ ලැබී නැත."

මෙරටට ලැබුණු බේස්‌ බෝල් උපකරණ ජයිකා ආයතනය මගින් හඳුන්වා දුන් ජපන් ජාතික පුහුණුකරුගෙන් ආයාචනය කළත් ලබාගැනීමට නොහැකි වීමේ කනගාටුදායක තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකා බේස්‌ බෝල් සංගමයට සිදුවීම කුමන සරදමක්‌ දැයි විමසීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගයක්‌ තමන් සන්තකයේ තබාගැනීමට වතනබේට ඇති අයිතිය ප්‍රශ්න කළ යුතු වන අතර එම ක්‍රියාදාමයේ සදාචාර විරෝධී බව විසින් ජයිකා ආයතනයේ ස්‌වෙච්ඡා සේවාවන්හි නිර්මලභාවයද සිඳිනු ලබන බව සටහන් කළ යුතුමය. මන්ද වතනබේ යනු ජයිකා ප්‍රදානයක්‌ වන හෙයිනි.

ශ්‍රී ලාංකිකයකු සමග එක්‌වී ජයිකා ආයතනයට අයත් ස්‌ථානයක ක්‍රීඩා උපකරණවලට අදාළ ව්‍යාපාරික ස්‌ථානයක්‌ ආරම්භ කිරීමේ නියම හැඩරුව පෙනෙන්නට ඇතැයි අප කලින් සඳන් කළේ මේ තත්ත්වය මතය. ශ්‍රී ලංකා පාසල් බේස්‌ බෝල් සංගමයේ සභාපති පී. ඒ. යූ. ජයරත්න මහතා ශ්‍රී ලංකා බේස්‌ බෝල් සංගමයේ ලේකම්වරයාට යවා ඇති ලිපියෙන් ද ඒ හැඩරුව ගැන කියාපායි. ඔහු කියන්නේද ජපන් පුහුණුකරු සතුව එම ක්‍රීඩා භාණ්‌ඩ තිබෙන බවත් ඒවා ක්‍රීඩා භාණ්‌ඩ අලෙවි කරන සමාගමක්‌ හරහා අධ්‍යාපන අමාත්‍යංශයට අලෙවි කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇති බවත්ය. ජයරත්න මහතා සඳහන් කරන "ක්‍රීඩා භාණ්‌ඩ අලෙවි කරන සමාගම" අප ඉහතින් සඳහන් කළ සමාගම වනවාට සැක නැත.වතනබේ මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට ජපානයෙන් නොමිලේ ලැබුණු බේස්‌ බෝල් උපකරණ තොගය හොර රහසේම අධ්‍යාපන අමාත්‍යංශයට අලෙවි කිරීමට ද යන සැකය සැකයකට පමණක්‌ සීමා කර තබාගත නොහැකි වී තිබේ.

මන්ද බේස්‌ බෝල් උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ප්‍රධාන පෙළේ ආයතනයක්‌ විසින් ශ්‍රී ලංකා පාසල් බේස්‌ බෝල් සංගමයේ සභාපතිවරයා වෙත යවනු ලැබ ඇති ලිපියක්‌ නිසාය. එම ලිපියට අනුව යෂුමා වතනබේ මහතා එම ආයතනයේ හිමිකරු හමු වූ අවස්‌ථාවක බේස්‌ බෝල් උපකරණ බෙදාහැරීම පිළිබඳව අයථා බලපෑමක්‌ කර තිබේ. එම බලපෑම කර ඇත්තේ එම ආයතන හිමිකරු ශ්‍රී ලංකා බේස්‌ බෝල් කණ්‌ඩායම පුහුණු වෙමින් සිටි අවස්‌ථාවක්‌ නරඹන්නට ගොස්‌ සිටියදීය.

පුහුණුවීම් නරඹමින් සිටින අවස්‌ථාවක තමන් අසලට පැමිණි වතනබේ බේස්‌ බෝල් උපකරණ ගෙන්වා අලෙවි කරන්නේ දැයි විමසූ බව සිය ලිපියේ සඳහන් කරන ඔහු තමන් බේස්‌ බෝල් ගෙන්වා අලෙවි කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව තමන් ද බේස්‌ බෝල් උපකරණ ගෙන්වා අලෙවි කරන බව වතනබේ පැවසූ බවත් දක්‌වා තිබේ.

උපකරණවල මිල ගණන් ද වතනබේගේ ප්‍රශ්න අතර වී ඇත. "ඔහු මාගේ බේස්‌ බෝල් උපකරණවල මිල ගණන් විමසුවේය. ඔහු අලෙවි කරන මිල ගණන්වලට වඩා මාගේ මිල ගණන් අඩු බව පවසා ඔහුගේ මිල ගණන්වලටම අලෙවි කරන ලෙස මා හට පැවැසුවේය. තවද මාගේ උපකරණවල සාම්පල් රැගෙන ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ප්‍රකාශ කළත් ඊට මා එකඟ වූයේ නැත." ආයතන හිමිකරු ශ්‍රී ලංකා පාසල් බේස්‌ බෝල් සංගමයේ සභාපතිවරයාට යෑවූ ලිපියේ එලෙස ද සඳහන් වෙයි. එමතුද නොව තමන් ඔහුගේ නිවසට නොයැම නිසා තමන්ගේ ව්‍යාපාරය පිළිබඳ දූෂමාන ආරංචි පතුරුවා හැර කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවල වතනබේ නිරතව සිටින බවට ද ආයතන හිමිකරු චෝදනා කරයි.

"මොහු ශ්‍රී ලංකා බේස්‌ බෝල් සංගමයේ කීර්ති නාමයත් ජයිකා ආයතනයේ කීර්ති නාමයත් විනාශ කරමින් සිය ව්‍යාපාරික සගයා සමග එක්‌ වී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීම සදාචාර සම්පන්න දැයි ප්‍රශ්න කරන ආයතන හිමිකරු ස්‌වෙච්ඡා සේවකයකු ලෙස පැමිණ මෙරටේ ව්‍යාපාරික කටයුතු කිරීමට වතනබේට ඇති අයිතියද ප්‍රශ්න කරයි. මෙම ලිපියේ පිටපත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම ශ්‍රී ලංකා බේස්‌ බෝල් සංගමයේ සභාපති ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඇතුළු වගකිව යුත්තන්ට යවා ඇති මුත් මේ මොහොත දක්‌වාත් කිසිදු පරීක්‍ෂණයක්‌ හෝ නොකිරීම මතභේදයට තුඩු දෙන්නකි.

ජයිකා ආයතනය විසින් දෙවසරකට කාලයකට මෙරටට හඳුන්වා දුන් යෂුමා වතනබේ නම් බේස්‌ බෝල් පුහුණුකරුවාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එලෙස සේවය දීර්ඝ කර ඇත්තේ බේස්‌ බෝල් පුහුණුකරු තනතුරේ නොවේ. මෙවර ඔහුගේ සේවය ලබාගැනෙන්නේ හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට යාබදව ඉදිකිරීමට නියමිත නව බේස්‌ බෝල් ක්‍රීඩාංගණයේ මූලික කටයුතු සූදානම් කිරීම සඳහාය. අහෝ යෂුමා වතනබේ නම් ජපනා ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු බේස්‌ බෝල් උපකරණත් අධ්‍යාපන අමාත්‍යංශයට අලෙවි කිරීමට පිඹුරුපත් සකසමින් සිටින කල මේ ලද වරමින් දියගම දැනට ඉදිකර ඇති ක්‍රීඩාංගණයේ වැසිකිළි පෝච්චිත් නොගැලෙව්වොත් පුදුමය.

නිලන්ත මදුරාවල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.