ජනාධිපති,මාමේ අපේ අම්මා ගෙන්නලා දෙන්න

හබරණ, ත්‍රීසිංහගම ගම්මානයේ පදිංචිව සිටි තිදරු මවක්‌ වූ එම්. ඩබ්ලිව්. සුනීතා සුදර්ශනී ජයවීර මහත්මිය ලෙබනනයෙහි ගෘහසේවිකාවක්‌ වශයෙන් විදේශගත වූ පසු රෝගාතුරවී මාස ගණනාවක්‌ ගතව ඇතත් ඇයව මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සිය ස්‌වාමිපුරුෂයා සහ දරුවන් තිදෙනා අසරණව සිත්තැවුලට පත්ව සිටිති.

තම දුක්‌ගැනවිල්ල පිළිබඳ අදහස්‌ දැක්‌වූ සිය සැමියා වන ඊ. ඩබ්ලිව්. රොහාන් සංජීව මිණිපුර මහතා මෙසේ කියා සිටියි.

එම්. ඩබ්ලිව්. සුනීතා සුදර්ශනී ජයවීර මගේ බිරිඳ. ඇය රට යනවාට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. මට ස්‌ථිර රැකියාවක්‌ නොමැති නිසා දරු තුන්දෙනාගේ අනාගතය ගැන හිතලා තමයි විදේශගත වුණේ. ගිය අවුරුද්දේ අගෝස්‌තු මාසේ 22 විදේශගත වුණා. බිරිඳගේ ගර්භාෂයේ සහ බෙල්ලේ අමාරුවක්‌ තිබුණා. අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ ජය ශ්‍රී විදේශ රැකියා ආයතනය මගින් තමයි විදේශගත වුණේ. ඒ ආයතනයේ ප්‍රධාන කාර්යාලය මීගමුපාර, ග්‍රෑන්ඩ්පාස්‌, කොළඹ ලිපිනයේ පිහිටි තිළිණි විදේශ රැකියා ආයතනයයි. මම එතෙන්ට ගිහිල්ලා කිව්වා බිරිඳව ගෙනත් දෙන්න කියලා. එතනින් කිව්වා රුපියල් දෙලක්‍ෂ හැත්තෑ පන්දාහක්‌ දෙන්න කියලා. මා ළඟ එච්චර මුදලක්‌ නැති නිසා ඒජන්සියෙන් කිව්වා විදේශ රැකියාවට යන්න කාන්තාවන් දෙන්නෙක්‌ හොයලා දෙන්න කියලා. එක්‌කෙනෙක්‌ වෙනුවෙන් රුපියල් එක්‌ලක්‍ෂ තිස්‌පන්දාහක්‌ දෙන්නම් කියලා. ඊට පස්‌සේ මම කාන්තාවන් දෙන්නෙක්‌ හොයලා දුන්නා. එක්‌කෙනෙක්‌ මේ වෙනකොට විදේශගත වෙලා මාස දෙකක්‌ විතර වෙනවා. ඒ සඳහා මම තමයි සියලු වියදම් කළේ. නමුත් ඒජන්සියෙන් බිරිඳව ගෙන්නන බවක්‌ පේන්න නෑ. මම ඊට පස්‌සේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට මේ ගැන 2011 ඔක්‌තෝම්බර් 20 පැමිණිලි කළා. පැමිණිල්ල විභාග කරන්න හතරවතාවක්‌ විදේශ සේවා එකට ගියා. ඒජන්සියෙන් ආවේ නැහැ. දැන් ඒජන්සියෙන් කියනවා බිරිඳ ගෙන්නලා දෙන්න පැමිණිල්ල අස්‌කර ගන්න කියලා. විදේශ සේවා එකෙන් කියනවා පැමිණිල්ල අස්‌කරන්න එපා කියලා. බිරිඳට ඒ රටේ විදේශ රැකියා ආයතනයෙන් අමානුෂික විදිහට පහරදීලත් තියෙනවා. මාස ගාණක පඩි ගෙවලත් නෑ. කොළඹ ඒජන්සියෙන් කාන්තාවන් දෙන්නට දෙනවා කිව්ව මුදල් දුන්නෙත් නෑ. ළමයි තුන්දෙනාගේ කටයුතුත් එක්‌ක කොළඹ යන්නත් අමාරුයි. රුපියල් දාහක්‌ විතර එක වතාවකට වියදම් වෙනවා. හැම පැත්තෙන්ම අසරණ අපි තමයි තැලෙන්නේ. රෝගාතුරව සිටින මගේ බිරිඳ ගෙන්වා දෙන්න කියලත් අහිංසක මිනිස්‌සු මුලා කරන විදේශ රැකියා ආයතනවලට විරුද්ධව කටයුතු කරන්නත් කියලා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

සංජීව මිණිපුර මහතා සමග දරු තිදෙනා මෙහි සිටිති.

සටහන හා ඡායාරූපය - හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.