වෙන පුතාලා කියන්න කලින් මගේ සිංදු
මගේම පුතාලාට කියන්න දෙනවා
- සමන් ද සිල්වා



හැත්තෑව දශකයේ "වොලි බැස්‌ටියන්"ගේ ගීත නෑසෙමින් යන මොහොතක ඒවා නැවත රසිකයන්ට සමීප කරන්නට හැකි වූයේ ඔහුගේ කටහඬිනි. හෙතෙම වොලි බැස්‌ටියන් නැවත රසික හදවත් තුළ ජීවමාන කරන්නට සමත් විය. අනතුරුව දිගින් දිගටම "කැසට්‌ පට" අලෙවියේ වාර්තා තැබූ ගීත අතර ඔහුටම අනන්‍ය වූ "වේග රිද්ම" නොවන ගීත රැසක්‌ද බිහිවිණි. වොලි බැස්‌ටියන්ගේ අනන්‍යතාවත්, "සමන් ද සිල්වා"ගේ අනන්‍යතාවත් නිසි ලෙස සටහන් තැබුවේ ඒ ගීත තුළයි.

"නියරේ පියනගලා", "පුංචි කුරුළු කූඩුවේ", "සංතෝස වෙන්න ප්‍රීති වෙන්න", "තනනිල්ල දිගේ", "පුරහඳ නැගුණා" මේ ආදී ගීත රැසක්‌ ඒ අතර විය.

ඒ දවස ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයකුව සිටි "සමන් ද සිල්වා" අද දකින්න ලැබෙන්නේ ඉඳහිටය. තමන්ගේ මෙහෙයවීමෙන් යුත් සියෑක්‌ හා සමන් ඇන්ඩ් ද ක්‌ලෑන් සංගිත කණ්‌ඩායම් ගෘහස්‌ත උත්සව ආදියට සහභාගි වන සමන්ගෙන් ඊට හේතු විමසූ විට ලැබුණේ ඉතා උණුසුම් විවාද සම්පන්න පිළිතුරු රැසකි.

ප්‍රසංග වේදිකාවේදී සමන් ද සිල්වා දැන් දකින්න ලැබෙන්නේ අඩුවෙන් කිව්වොත් මම හරිද?

මෙහෙමයි ඇත්තටම එක දවසකට වැඩිම ප්‍රසංග වේදිකා ගණනාවකට ගොඩවෙච්ච ගායකයකු හැටියටයි මාව හැඳින්වෙන්නේ. මම එක්‌ වරකට ප්‍රසංග වේදිකා දහහතරකට සහභාගි වුණා. මා එක්‌ක "චන්ද්‍රලේඛා" ප්‍රසංග 13 කට සහභාගි වෙලා තියෙනවා. ඒ කාලයේ හොඳට මහන්සි වුණා. ඉස්‌සර ගායක ගායිකාවන් අතර නිතර තොරතුරු හුවමාරු වුණා. ඉස්‌සර වෙනකොට ප්‍රසංග වේදිකාවේ ඉන්නේ අපි එක්‌ක වැඩි කතා බහකුත් නැති ගායක ගායිකාවන් පිරිසක්‌. පරණ ගායකයෝ හැටියට අපිට සින්දු කියන්න වෙලාව එනකල් ඉස්‌සර වගේ කාලය ගත කරන්න බොහෝම අමාරුයි. මට කවුරුහරි කතා කළොත් "මාව මේ වෙලාවට දාන්න" කියනවා... බැරිනම් මම යන්නේ නෑ. ප්‍රසංග ඕනතරම් ලැබුණත් මම නොයන්නේ ඔය හේතුව නිසයි.

අලුත් අය බොහොමයක්‌ ඉන්නවා... ඒ අය වැඩිය අපි එක්‌ක කතාකරන්නේ නෑ කියලා ඔබ කිව්වා. මේ අය අභියෝගයක්‌ද?

අනේ නෑ කිසිම අභියෝගයක්‌ නෑ. යෞවන වයසේ ගායක ගායිකාවන්ගේ ගීත රසිකයෝ වැළඳ ගත්තට ඒවායේ පැවැත්මක්‌ නෑ. දැන් සතියකට අලුත් සිංදු කිහිපයක්‌ එනවා. සෑහෙන්න ජනප්‍රිය වෙනවා. ඊට පස්‌සේ සතියකට දෙකට පස්‌සේ ආයේ අහන්නවත් බැරිවෙන්න විසිවෙනවා.

ඇයි එහෙම කියන්නේ.

අදටත් අපි පිටරට ගියාම දැකලා තියෙනවා, බොහෝ අය ඉල්ලන්නේ සී. ටී. ප්‍රනාන්දු, එම්. එස්‌. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාලයන්ගේ, පණ්‌ඩිත් අමරදේවයන්ගේ, මිල්ටන් පෙරේරා වැනි අයගේ ගීත. හරි දෙයක්‌ කරලා තියෙනව නම් ඒවත් ඉල්ලන්න ඕනේ නේද?

ඔබ ඔය කියන වැඩි කොටසක්‌ ක්‍ෂේත්‍රයට එන්නේ මෑතදී ආරම්භ වූ තරු තරග හරහා. ඒක ගැනද ඔබේ විවේචනය.

ඒ ගැනත් මට විග්‍රහ කරගන්න යම් යම් කාරණා තියෙනවා. ඒ අයත් මේ අසාර්ථක වෙන ගොඩට අයිතියි.

ඒ අය තෝරන්නෙත් දක්‍ෂයි කියලා විනිශ්චයන් ලබාදෙන්නේ ඔබේ ක්‍ෂේත්‍රයට අයිති අයමනේ. එතකොට ඒ විනිශ්චය වැරදිද?

ඔබ ඔය කියන කතාවත් වැරදියි... සමහර විනිශ්චය මණ්‌ඩලයේ රියෑලිටි ෂෝවල ඉන්න කට්‌ටියට සිංදුවක්‌වත් කියන්න බැහැ. ඔය විනිශ්චය මණ්‌ඩලවල ඉන්න ඕන පණ්‌ඩිත් අමරදේව, වික්‌ටර් රත්නායක, සනත් නන්දසිරි වගේ ප්‍රවීනයන්. ශ්‍රැතිය, කටහඬ, හැකියාව මේ වගේ දේවල් බලන්න ඕන.

ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමත් ඒ අයගේ අවධානයට යොමු වෙනවා.

වෙන්න ඇති... ඒත් මිල්ටන් මල්ලවආරච්චි නැටුවේ නැහැනේ. එච්. ආර්. ජෝතිපාල නැටුවේ නෑනේ. එතකොට ඒ වගේ ප්‍රවීනයන්ගේ ගීත නට, නට, කියන අයව තේරෙනවනම් ඒ තෝරලා තියෙන්නේ ඉදිරිපත් කිරීමේ අංශයට විතරයි. විනිශ්චය මණ්‌ඩලයේ ඉන්න සමහරු ගායකයෝ තමයි ... හැබැයි හරියට පිච් එකට සිංදුවක්‌වත් කියන්න බැහැ. නටන අය තෝරන්න ඒ අය හිටියට කමක්‌ නෑ... ගායකයෝ තෝරන්න ඉන්න ඕන ප්‍රවීන ගායකයෝ.

ඒ කියන්නේ විනිශ්චය වැරැදි නම්... එන්නෙත් වැරැදි අය කියන එකද?

ඔව්...

එතකොට ඔබ මුලින් කිව්වා වගේම මේ ඇවිල්ලා ඉන්නේ දක්‍ෂතාවයක්‌ නැති අයද?

මම මේ ඒ හැමෝටම දොස්‌ කියන එක නෙවෙයි කරන්නේ. ඒ අතරත් දක්‍ෂයෝ ඉන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා ඉන්නේ වැරදි විදියට.

ඔය චෝදනාව ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක්‌ නගන එකේ මේක කුහකකමට කරන දෙයක්‌ කියලා සමහරු චෝදනා කරනවා.

සම්පූර්ණයෙන්ම වැරැදියි. කුහකකම් කරන්න ඕන ජ්‍යෙෂ්ඨයන්ට යමක්‌ නොලැබී තියෙනවනම් විතරයි. ඒ අයට හැම දේම ලැබිලා ඉවරයි.

ජ්‍යෙෂ්ඨයන් වැඩිදෙනෙක්‌ ක්‍ෂේත්‍රයට ඇවිත් තියෙන්නෙත් අනුන්ගේ ගීත කියලනේ.

අනුන්ගේ ගීත කියලා නෙවෙයි.. ගායනා කරලා.. ඒ නිසාම ඒ ගීත අයිති ප්‍රවීනයෝ ආධුනිකයන්ට බොහෝම කැමැත්තෙන් අත හිත දුන්නා. ඒ දක්‍ෂකම අගය කළා. හැබැයි ඔය කියන පිරිස ඒ ප්‍රවීනයන්ගේ ගීත විකුණාගෙන කෑවේ නෑ.

ඔබ ආවේ තමන්ගේම ගීත ගායනා කරලද?

මුල් කාලයේ මගේ හැකියාව වර්ධනය කරගන්න වේග ගීත ගායනා කළා. හැබැයි හම්බකරන්න පටන් ගත්තේ එහෙම ගීත වලින්.

ඔබ හම්බ කරන්නේ "වොලීබැස්‌ටියන්" ගායකයාගේ ගීත ගියනා කරලනේ...

හරි ඒත් මම ඒ ගීත මංකොල්ල කාලා නෙවෙයි. වොලී බැස්‌ටියන් මහත්තයාගේ පවුලේ උදවියගෙන් ඇහුවනම් ඒ ගැන කියයි. ඒක බොහෝම ගෞරවයෙන් වෙච්ච දෙයක්‌. මම වඩාත් ජනප්‍රිය මගේ ගීත කිහිපයක්‌ නිසයි... "නියරේ පියනගලා", "පුංචි කුරුළු කූඩුවේ", "සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න", "තන නිල්ල දිගේ" අදටත් ජනප්‍රියයි.

ඒක නෙවෙයි ලස්‌සනම වැඩේ. මට දැන් මගේ ගීත අහන්න වෙලා තියෙන්නෙත් සල්ලි ගෙවලා. ළඟදී මම මගේ ජංගම දුරකථනයේ රින්ග් ටෝන් එකට මගේ ගීතයක්‌ ඩවුන්ලෝඩ් කරගත්තා. අදාළ දුරකතන සමාගමෙන් මට (එස්‌.එම්.එස්‌.) එකක්‌ එනවා ඒකට රුපියල් 30 ක්‌ අයකරනවා කියලා. අවම වශයෙන් ඒ උදවිය ගීතය කාගේද කියලවත් දන්නේ නැතුව ඇති.

අපි මෙච්චර දුර ආවේ බොහෝම අමාරුවෙන්...

අලුත් අයත් ඒ "කට්‌ට" කන්න ඕනද?

නෑ මම කියන්නේ ඒක නෙවෙයි... මගේ මුල්ම ගීතය පටිගත කළේ 76 දී. ඒක අරගෙන ගුවන්විදුලි සංස්‌ථාවට යනකොට අපි දන්නේ නෑ කොහෙන් කැපෙයිද දන්නේ නෑ කියලා. පළවැනි සිංදුවේදී මට කිව්වේ "කඨෝර ගායකයෙක්‌" කියලයි. මගේ වොයිස්‌ එක "පවර් වැඩියි" කිව්වා. දෙපාරක්‌ විතර රෙකෝඩ් කරලයි ඒක ගත්තේ. ඊට පස්‌සේ තමයි යන්තම් සිංදුවක්‌ ඕ. කේ කරගත්තේ.

අපි ඒ කාලයේ අපේ ප්‍රවීනයන්ට ගරු කළා. වික්‌ටර් රත්නායක මහත්තයාට, පණ්‌ඩිත් අමරදේවයන්ට, සුනිල් එදිරිසිංහට ඒ නිසි ගෞරවය අපි දුන්නා.

ඒත් අද ඉන්න අය එහෙම කරනවද? ගරු කිරීම බලෙන් ගන්න නෙමෙයි මේ උත්සාහ දරන්නේ. නමුත් ඒ අය මීට වඩා නිහතමානී විය යුතුයි කියන එකයි මගේ අදහස.

ඔබ "වේග රිද්ම ගායකයෙක්‌" කියන කතාව ප්‍රතික්‍ෂේප කරනවා.

ඔව්... ඒක සියයට සියයක්‌ම ඔව්.. ඒකට හේතුව මගේ ගීත වැඩි හරියක්‌ "සරල ගීත" වර්ගීකරණයටයි අයිති. ඔය කියන වර්ගීකරණය ඇතුළේ ඉන්න අය කියලා තියෙන බොහෝමයක්‌ ගීත සරල ගීත වුණාට ඒ ඇගයීම දෙන්නේ නෑ. හැබැයි "සික්‌ස්‌ එයිට්‌ බීට්‌" එකේ තියෙන අපේ ජනප්‍රිය ගායක ගායිකවන් බොහෝමයකගේ ගීත එහෙම වර්ග කරන්නේ නෑ. උදාහරණයක්‌ විදියට "ගමේ කෝපි කඩේ" ගීතය දක්‌වන්න පුළුවන්.

අලුත් ගීත එකතුවක්‌ එළිදක්‌වන්නේ නැද්ද?

එළිපිට ගීත මංකොල්ල කද්දි ගීත නිර්මාණය කරලා පිටකරනවා කියන්නේ අසීරු වැඩක්‌. ඒත් නිරෝෂා විරාජිනිගේ අදහසක්‌ විදියට "නියරේ පියනගලා" ඉතාම ආකර්ශනීය ගීතයක්‌ විදියට නව සංගීතය සමග නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්‌කම "වෙන පුතාලා" කියන්න කලින් මගේ පුතාලාට මගේ ගීත කියන්න දෙනවා. නැත්නම් ඒ සිංදු ටිකත් මංකොල්ල කයි.

උදේශ සංජීව ගමගේ
ඡායාරූප - කමල් බෝගොඩ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.