කෝටි 11ක මත් කුඩු කටුනායකදී අල්ලයි
ග්‍රෑම් එකක්‌ විකුණන්නේ රු. පනස්‌දහසකට

හේමන්ත රන්දුණු

රුපියල් එකොළොස්‌ කෝටියකට ආසන්න වටිනාකමෙන් යුතු 'මෙතැම්පිටමීන්' නමින් හැඳින්වෙන මත්කුඩු කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 70 ක්‌ රැගෙන ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (29 වැනිදා) උදේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්කුඩු විශේෂය ඉතාම ඉහළ වටිනාකමකින් යුක්‌ත වන අතර ග්‍රෑම් එකක්‌ රුපියල් පනස්‌දහසක පමණ මිලකට අලෙවි කරන බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ රංජිත් මහතාට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක්‌ විසින් කළ වැටලීමකදී මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඉරාන ජාතිකයන් දෙදෙනා මෙම මත් කුඩු තොගය කිලෝග්‍රෑම් එක බැගින් වූ පාර්සල්වල අසුරා සිය ගමන් බෑගයක ඉතාම සුරක්‍ෂිත ලෙස අසුරාගෙන පැමිණ ඇති බව පරීක්‍ෂණවලදී හෙළි විය.

ඉරානයේ සිට ඩුබායි හරහා ඩුබායි ගුවන් සමාගමට අයත් යානයකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්‌ථාවේ පොලිසියට කොටු වී ඇත.

මොවුන් දෙදෙනා සීදුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමට සැලසුම් කරගෙන සිටි බව ද පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මෙම මහා පරිමාණ ජාවාරමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ ඉරාන ජාතික සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

'මෙතැම්පිටමීන්' නමින් හැඳින්වෙන මත්කුඩු විශේෂය අලෙවි කිරීමේ ප්‍රධානීන් ලෙස ඉරාන ජාතිකයන් කටයුතු කරන අතර, මීට පෙර ද අවස්‌ථා කීපයකදී මෙම මත්කුඩු වර්ගය ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් පිළිබඳව විමර්ශන කටයුතු කිරීම සඳහා අපරාධ අංශය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතා ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස්‌ සිටියේය.

ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්‌ථානාධිපති එරික්‌ රංජිත් මහතා ඇතුළු එහි නිaලධාරීන්ගේ දැඩි උනන්දුව සහ කැපවීම නිසා මෙවැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් කිරීමට හැකි වූ බව නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතා 'දිවයින' ට කියා සිටියේය.

අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් දෙදෙනා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ රඳවාගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මෙම ජාවාරමට සම්බන්ධ තොරතුරු රැසක්‌ අනාවරණය වී ඇත.

නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්‌ථානාධිපති එරික්‌ රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.