"ඇස්‌වලට ඇඟිල්ලෙන් ඇන්නා - පහර පිට පහර කෑවා"
අවුරුදු දෙකක්‌ තිස්‌සේ අපා දුක්‌ වින්ද මට
ලංකාවට එන්න වුණේ ඇඳිවත එක්‌ක විතරයි

- ගෘහ සේවයට කුවේට්‌ රටට ගිය මැල්සිරිපුර කුමාරිහාමි කියයි



ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩීන්

;
පහරදීම නිසා ලේ
කැටි ගැසී ඇති අයුරු.

කුමාරිහාමි ජීවත් වූ පැල්පත් නිවස

තම කුඩා පැල්පත තරමක්‌ සුව පහසු නිවසක්‌ කිරීමට බලාපොරොත්තු පොදි බැඳගෙන ගෘහ සේවිකාවක්‌ වශයෙන් විදෙස්‌ගත වන කාන්තාවකට අමානුෂික වද හිංසාවලට ලක්‌ව දිවි ගලවාගෙන මෙරටට පැමිණිමේ සිදුවීමක්‌ වයඹ පළාතෙන් වාර්තා වේ.

මැල්සිරිපුර දික්‌දෙනිය හදවල්පොල පදිංචි ඩී. එම්. එන්. කුමාරිහාමි (38) යි. සිය පවුලේ දිගින් දිගටම පැවැති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් 2010 වසරේ ජන. 26 දා කුවේට්‌ රාජ්‍ය බලා ගෘහ සේවිකාවක්‌ වශයෙන් විදෙස්‌ගත වන්නේ රිදීගම ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක්‌ මගිනි. ජීවිතයේ බලාපොරොත්තු කන්දක්‌ පොදි බැඳගෙන කුවේට්‌ රාජ්‍යයට පැමිණි කුමාරිහාමි එරට නිවසක්‌ තුළ දහදුක්‌ විඳින්නේ එයින් ලැබෙන මුදලින් සිය දරු පවුල ජීවත් කොට අලංකාර නිවසක්‌ තනා ගැනීමේ අරමුණිනි.

විදෙස්‌ ගතවී සිට මාස 2 තුළ සිය පඩිය නිවසට යෑවූ කුමාරිහාමි හදිසියේම ආගිය අතක්‌ නැතිව ගියාය. කලකට පසු දිනක්‌ කුමාරිහාමි ඇගේ සැමියා වූ නාමල් ජයසූරියට දුරකථනයෙන් අමතා තිබේ. "නාමල් මට මෙහෙ වදදෙනවා. පුළුවන්නම් මාව බේරගන්න" යනුවෙන් විනාඩි කිහිපයකින් දුරකථනය විසන්ධි වී කුමාරිගේ කටහඬ නැතිව ගියේය.

නාමල් සිය බිරිඳ බේරා ගැනීමට ගියපු නැති තැනක්‌ නොවීය. වසර 2 මාස 4 ගත වී පසුගිය 24 දා නැවත කුමාරිහාමි සිය සැමියාව අමතා කීවේ මම ලංකාවට එනවා යනුවෙනි. පසුගිය 25 දා උදැසන 10.30 එරටින් පැමිණි කුමාරිහාමි දැඩි රෝගී තත්ත්වයෙන් සිය නිවසට පැමිණීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ නාමල් ඇය ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. එහිදී ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරු කුමාරිහාමිගේ සිරුරේ තිබූ බරපතළ තුවාල නිසා කුරුණැගල ශික්‍ෂණ රෝහලට මාරු කර යෑවීමට කටයුතු කර තිබිණි. කුමාරිහාමි රෝහල්ගත කළ පුවත සැල වූ වහාම කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මේ පිළිබඳව සොයා බැලීමට ගිය අපට එහි ප්‍රතිකාර ලබමින් සිටි කුමාරිහාමි ඇඬූ කඳුළින් ඇයට මුහුණපෑමට සිදු වූ ෙ€දවාචකය පිළිබඳ මෙසේ හඬ අවදි කළාය. "2010 ජනවාරි 26 දා මම කුවේට්‌ බලා ගිහින් එහි වැඩ කරන්න පටන් ගත්තා.

මට මාස 2 ක්‌ පඩි දුන්නා. පඩි සල්ලි මම ලංකාවට එව්වා. තුන්වැනි මාසේ මගේ පඩිය ඉල්ලනකොට එයාලා කීවා අපි පඩි සල්ලි ලංකාවට යෑව්වා කියලා. මම ඒකේ රිසිට්‌ එක ඉල්ලනකොට කීවා උඹ අපි පඩි දුන්නේ නැහැ කියලා කවදාහරි කිව්වොත් ඒවා පෙන්නන්න මේ රිසිට්‌ අපි තියාගන්නවා කියලා. ඒකවත් පෙන්නුවේ නැහැ. ඒ ගෙදර පොඩි බබාලා ඉන්නවා. එයාලා හරි දඟයි. දවසක්‌ එක බබෙක්‌ දුවගෙන ගිහින් පඩි පෙළින් බිම වැටුණා. එතන මගේ zබාබාZ හිටියා. එක පාරටම zබාබාZ දුවගෙන ඇවිත් ඇයි ළමයව වැට්‌ටුවේ කියලා මට අතින් පයින් පහර දුන්නා. මගේ නහයෙන් කටින් ලේ දාන්න පටන් ගත්තා. ඒත් මාව බල්ලෙකුවත් ගණන් ගත්තේ නැහැ. මට මතකයි මම හරියට කාපු දවසක්‌ නැති බව. උදේට රොටි කෑල්ලක්‌ දෙනවා. ඒක තමා මුළු දවසටම ආහාර වේල. ගෙදර ශීතකරණය වහලා තමයි යන්නේ. කෑමක්‌වත් කන්න විදිහක්‌ නැහැ. සමහර වෙලාවට බඩගින්න ඉවසා ගන්න බැරිව වතුර බීලා බඩට කොට්‌ටයක්‌ තද කරගෙන නිදාගත්ත දවස්‌ අනන්තයි.

දවසක්‌ බාබා මගේ ඇස්‌වලට ඇඟිල්ලෙන් ඇන්නා. නියපොතු පාරට මගේ ඇහින් ලේ ගලන්න පටන් ගත්තා. පස්‌සේ මාව කුස්‌සියට ඇදගෙන ගිහින් තේ කහට ඇස්‌ වලට වක්‌කෙරුවා. ඊට පස්‌සේ ලේ ගැලීම නතර උනේ නැති බව පෙනී ගිය නිසා කෝපි කුඩු වගයක්‌ ඇස්‌ වලට දැම්මා. මගේ බාබාට හිතුන වෙලාවට මට වද දෙනවා. දවසක්‌ මගේ කොණ්‌ඩය කපලා කුණු බාල්දියට දැම්මා. නිතර නිතර මට අතින් පයින් පහර දුන්නා. අවු. 2 තිස්‌සේ ගුටිකාලා මගේ ඇඟේ ලේ කැටි ගැහිලා. පාරවල් හිටලා. මට ගහන හැමවෙලාවකම කීවා උඹ යකඩ ගැහැනියක්‌ නිසා ඉක්‌මනට මැරෙන්නෙ නැහැ කියලා. අවු. 2 න් පස්‌සේ පසුගිය 25 දා කීවා උඹ ලංකාවට යන්න ලැහැස්‌ති වෙයන් කියලා. පාස්‌පෝට්‌ එකයි ටිකට්‌ එකයි අතට දුන්නා.

අවු. 2 තිස්‌සේ මම අපායක වින්ද දුකට මට ලංකාවට එන්න වුනේ ඇඳිවත එක්‌ක විතරයි. මට සතයක්‌වත් අතට දුන්නේ නැහැ. අපි වගේ අහිංසක මිනිස්‌සු කීයක්‌ හරි හොයාගන්න රට ගියපුවාම වෙන්නේ අන්තිමට කබලෙන් ලිපට වැටුනා වගේ වැඩකට මුහුණ දෙන්නයි. මට වුණ අසාධාරණයට සාධාරණයක්‌ කරල දෙන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයි ඇය හැඬූ කඳුළින් පැවැසීය. කුමාරිහාමිගේ ශරීරය පුරා පහර කෑමට ලක්‌ වූ කැලල් රැසක්‌ දක්‌නට ඇති අතර ඇය විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිත බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රෝහල් ප්‍රකාශිකාවක්‌ සඳහන් කළාය.

මාතර ආරියවතී, ඉබ්බාගමුව ලෙච්චමී මින් පෙර සිරුරේ කටු සහිතව මෙරටට පැමිණියේ මෙවැනි වූ වද හිංසංවට ලක්‌වය. ඉසුරු සොයා රට ගොස්‌ කඳුළ උරුම වන කුමාරිහාමිට අත් වී ඇති ඉරණම පිළිබඳ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ අවධානය යොමු විය යුතුව තිබේ.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.