මහින්දාගමනය හා සංස්‌කෘතික පුනරෝදය

මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාව සමග එක්‌ව උත්කර්ෂයෙන් මෙන්ම ශ්‍රද්ධා භක්‌තියෙන් යුතුව වෙසක්‌ උළෙල පවත්වන සිංහල බෞද්ධයා, තමන්ට සුවිශේෂ වූද විශිෂ්ට වූද ඓතිහාසික දිනයක්‌ ලෙස සළකනු ලබන දිනයක්‌ වේ නම් ඒ පොසොන් පොහෝ දිනය බව නිසැකය. මහින්දාගමනයත් සමග සිදුවූ සභ්‍යත්වයේ ප්‍රභවය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට නව මානයක්‌ එක්‌ කළ බවද නිසැකය.

මහින්දාගමනයත් සමග සිදුවූ සංස්‌කෘතික ප්‍රබෝධය සිංහලයාට සුවිශේෂ වූ අනන්‍යතාවක්‌ ලබාදුන් බව කිව මනා නොවේ. මිහිඳු මාහිමියන් හා එවක ශ්‍රී ලංකාව පාලනය කළ දෙවන පෑතිස්‌ නිරිඳුන් අතර ඇතිවූ සංවාදය ඒ වන විටත් සිංහලයා බුද්ධිමත් හා ප්‍රඥවන්ත ජන කොටසක්‌ව සිටි බව තහවුරු කෙරෙන සාධකයක්‌ සේ විද්වත්හු පිළිගනිති. එහෙත් සිංහල සභ්‍යත්වයේ, සිංහල සංස්‌කෘතියේ නවෝදය බුදු දහමත් බෞද්ධ සංස්‌කෘතියත් පදනම්ව සිදුවූ බව කිසිවකුට ප්‍රතික්‌ෂේප කළ නොහැක.

සිංහල ජාතිකත්වය පිළිබඳ පුළුල් චින්තනයක්‌ හා දැක්‌මක්‌ ඇති වූයේද බුදු දහම නිසාමය. සිංහල රජවරු ද බෞද්ධ සංඥනාම යොදා ගනිමින් නව ශිෂ්ටාචාරයක පෙර ගමන්කරුවෝ වූහ. බුද්ධදාස, සංඝතිස්‌ස, අග්ගබෝධි වැනි නාම එයට සාක්‍ෂිය. දේවානම්පියතිස්‌ස නිරිඳුන්ගේ අභාවය සිදුවන විට ලක්‌දිව අධ්‍යාපනය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදියෙහි අති මහත් වර්ධනයක්‌ වූ බවද පෙනේ.

මහින්දාගමනයට පෙර යම් යම් ඇදහිලි විශ්වාස මෙන්ම බුදු දහම පිළිබඳ අවබෝධයක්‌ද වූ බව පිළිගන්නා ඉතිහාසඥයෝ එදා අපගේ සංඝ සංස්‌ථාව ඉතා ප්‍රබල ස්‌ථානයකට පත්වූ බවද දක්‌වති. එනිසාම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්ව බෞද්ධ සාරධර්ම සමාජය තුළ මුල්බැස ගැනීමක්‌ද සිදුවිය.

අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වූ සංස්‌කෘතික විප්ලවයේ විශිෂ්ට සිහිවටන අදත් අපගේ ජාතික උරුමයන් බවට පත්ව තිබේ. අහස උසට විහිදී ගිය වෙහෙර විහාර, සෙල් පිළිම මෙන්ම සඳකඩ පහන, මුරගල් හා බුදු පිළිම තුළින් අදත් ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නේ සිංහල කලාකරුවාගේ නිර්මාණශීලී ගුණයත්, නිර්මල ආධ්‍යාත්මයත් නොවන්නේද? සමාධි පිළිමය අද ලෝකයම විශිෂ්ට හා විස්‌මිත නිමැවුමක්‌ ලෙස සම්මානයට ද බුහුමනටද පාත්‍රව තිබේ.

අනුරාධපුරයෙන් උපන් වාරි තාක්‍ෂණය හෙවත් වැව් තැනීම සිංහල සභ්‍යත්වයේ ආඪ්‍ය ලකුණක්‌ සේ ගැනෙති. දාගැබ්, මහා වැව් බැඳීම මෙන්ම සහලින් රට ස්‌වයංපෝෂණය කිරීමද එදා නොඅඩුව සිදුවිය. පරසතුරු උවදුරුවලින් සිදුවූ විනාශයන්ට ඔරොත්තු දෙමින් සිංහලයාට නැගී සිටීමේ ශක්‌තිය හා ධෛර්ය ලැබුණේද සිංහල බෞද්ධ සංස්‌කෘතියේ එකී ආඪ්‍ය ලකුණු නිසාය.

අනුරාධපුරයෙහි සමාජ කටයුතු පිළිබඳව විද්වතුන් දක්‌වන අදහස්‌වලින් තහවුරු වන්නේ ද බුදු සසුන නිසා රට ස්‌ථාවර වූ බවය. මහින්දාගමනයෙන් පසු ඇතිවූ ප්‍රථම විහාරය ලෙස මහා විහාරයට හිමි වූයේ ද ප්‍රබල ස්‌ථානයකි. මහා විහාරයට එරෙහිව අභයගිරිය බලවත්ව නැගීමෙන් රටට මෙන්ම ජනතාවටද විවිධ විපත් සිදුවූ අයුරුද ඉතිහාසයේ එයි.

කෙසේ හෝ අනුරාධපුරයෙන් ඇරැඹුණු ඒ ශිෂ්ටාචාරයේ ගමන විවිධ බාධක අවහිරතා මැදින් ඉදිරියටම ඇදී ගිය අයුරු ද පැහැදිලිව දැක ගත හැකිය. බටහිර අධිරාජ්‍යවාදීන් විසින් අපගේ මව්බිම යටත් කර ගන්නා ලද බව සත්‍යයක්‌ වුවද ඒ හැම ආක්‍රමණයක්‌ම අභිබවා අපට නැගී සිටීමට හැකි වූයේ ද බුදු දහමෙන් අප ලද ආධ්‍යාත්මික ප්‍රබෝධය හා ශක්‌තිය නිසාමය.

ක්‍රිස්‌තියානි මිෂනාරි බලවේග විසින් විකෘති කරන ලද අපගේ ජාතික අධ්‍යාපනයත් සංස්‌කෘතික ආධ්‍යාත්මයත් මේ වන විට අතිශයින් දුබල වී තිබෙන බවද අප වටහා ගත යුතුය. රජුන් අතර විශිෂ්ටතමයා ලෙස ඉතිහාසඥයන්ගේ ගෞරවයට පාත්‍රව සිටින අශෝක රජුන්ගේ සාර්ථකත්වයේ පදනම වූයේ ද බුදු දහමය. බෞද්ධ පරමාදර්ශවලින් සිය පාලනය ප්‍රභාමත් වූ බව අශෝක රජු අවධාරණය කළ අයුරු සෙල් ලිපිවල ද සඳහන්ව ඇත.

ශ්‍රී ලංකාව 2600 සම්බුද්ධ ජයන්තිය සමරණ මේ මොහොතේ වුවද සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ආඪ්‍යත්වය හෝ ගාම්භීරත්වය පිළිබිඹු වන්නේද යනු සැකයකි. සත්තකින්ම මිහිඳු හිමියන් විසින් මේ රටට රැගෙන එන ලද ධර්මයේ සාරයට වඩා එහි බාහිර ලකුණු හිස තබාගත් බෞද්ධ ප්‍රදර්ශන නම් අද බොහෝ විට දැකගත හැකි වෙයි. එහෙත් එහි ගැඹුර, විශිෂ්ටත්වය හෝ පරිපූර්ණත්වය සිංහල බෞද්ධයන් තුළ කොපමණ ප්‍රමාණයක්‌ රැඳී තිබේද?

අද අප අබියස ඇත්තේ පාරිභෝගික ධනකාමී සමාජයකි. එහි සියලු දූෂණ ද අශිෂ්ට චර්යාවන්ද බහුලව තිබේ. ඉන්ද්‍රිය පිනවීම, කවර ක්‍රමයකින් හෝ ධනය ඉපයීම කේන්ද්‍ර කරගත් සමාජයක සියලු සාරධර්ම විනාශ වෙමින් තිබේ. සුශික්‌ෂිතභාවය වෙනුවට වික්‌ෂිප්තභාවයද සංවර සීලය වෙනුවට අසංවර ඝෝෂාවද උත්සන්න වී තිබේ. දේශපාලන කෞටිල්‍යලාගේ අමන හැසිරීම් නිසා දැඩි සංස්‌කෘතික හා ආධ්‍යාත්මික සෝදාපාළුවක්‌ද ඇති වී තිබේ.

නියම බෞද්ධයකුගේ ජීවිතය හෝ බුදු දහමින් ව්‍යාප්ත වූ සංස්‌කෘතික ජීවිතය හෝ අප කෙරෙන් පලාගොස්‌ තිබේ නම් අප ඒ බුදු දහමේ සම්ප්‍රාප්තිය සිහිකිරීමේ පලය කුමක්‌ද? මේ ආත්ම වංචාවෙන් අප විසින් රවටා ගනු ලබන්නේද අපම පමණි. මානව සංහතියේ විනාශකාරී ගමන වලක්‌වා ගැනීමේ මග බුදු මග බව බෞද්ධ සංස්‌කෘතිය තුළින් තහවුරු කර තිබියදීත් අපි එයට පිටුපාමින් වල්මත්ව නොසිටින්නෙමුද? තවමත් බටහිරයන්ගේ වුවමනාව අපගේ ඒ ප්‍රබල සංස්‌කෘතික ආධ්‍යාත්මය වනසා දැමීම මිස අන් දෙයක්‌ නොවේ.

මානව අයිතිවාසිකම් පිළිබඳ පමණක්‌ නොව සතුන්ගේ අයිතියද තහවුරු කළ බුදුහු සමානාත්මතාව, ජීවිත හා සමාජ කළමනාකරණය යනාදී සියල්ල අතිශය විද්‍යාත්මකව විග්‍රහ කළහ. එහෙව් ජාතියකට බටහිර අමන බණ කුමටද? මානව සංහතියේ විනාශයට වුවමනා යුද අවි, තාක්‍ෂණය නිර්මාණය කිරීමට තරග වැදී සිටින බටහිරයන් ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ ආක්‍රමණවලින් අද ලෝකයම බේරා ගැනීමට සිදුවී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.