මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?
එහෙමනම් කියවන්න...

"අතහැරීම 2" අවසාන කොටස

පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ නිසයි ඊට ආශාවෙන් කැමැත්තෙන් ගෙදරට ප්‍රේතයෙක්‌ ලෙස උපාදානය ලැබුවා. හැබයි ඔහු ජීවත්ව සිටියදී කුසල් දහම්ද වැඩූ අයෙක්‌. ඒත් මියයන මොහොතේ එම පිංකමක්‌ සිහිකළා නම්, සිහිවුණා නම් නියත වශයෙන්ම ඔහුට සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න තිබුණා. ඔහුට බිරිඳ, දරුවන්, ගේදොර කෙරෙහි ඇති වූ උපාදානය නිසා බැඳීම් නිසා කුසල් සිත් යටපත්ව තණ්‌හාවෙන් තෙත්වුණ සිතක්‌ සකස්‌ වුණ නිසා තමා කැමති වූ, ආශා කළ පරිදිම බිරිඳ දරුවන් සිටින නිවසේම ප්‍රේතයෙක්‌ ලෙස ප්‍රතිසංධිය ලැබුවා. ඔහු කැමති වූ ස්‌වභාවය ඔහුට ලැබුණා. ඔබ හිතනවා ද මේ ප්‍රේත ජීවිතය ඔහුට දුකක්‌ කියලා. නැහැ. ඔහුට දුකක්‌ නැහැ. ඔහු සැපයක්‌ කියලාමයි මේ ප්‍රේත ජීවිතය විඳින්නේ. ඔහු කැමති වූ ප්‍රාර්ථනා කළ දෙයයි ඔහුට ලැබුණේ. ඔහුට අවශ්‍ය නම් ඔහු පුහුණුකොට තිබුණා නම් ඔහු කළ කුසල කර්මයක්‌ සිහියට නගාගෙන මෙනෙහි කොට සුගතියක්‌ ලබන්න අවස්‌ථාව තිබුණා. නමුත් ඔහු කැමති තැන ඔහුට ලැබුණා.

දැන් ගෙදර ප්‍රේතයෙක්‌ වෙලා ඉන්න ස්‌වාමි පුරුෂයාට පිං දෙන්න සත්දවසේ හෝ තුන්මාසේ පිංකම කරනවා. නමුත් ඥාතීන් කිසිවෙක්‌ දන්නෙ නැහැ මළගිය තැනැත්තා කොහේ ඉපදුනාද කියලා. නමුත් ඔහු ඉපදිලා ඉන්නෙ ගෙදරමයි. දැන් ගෙදර ධර්ම දේශනා පිංකමට සූදානම්. පිංකමට මහා පිරිසකට ආරාධනා කරලා. ගෙදර ඇතුලෙ, වත්තෙ පිටියෙ හැම තැනම ඥාතීන්, හිතවතුන්. මේ අයට සංග්‍රහ කරන්න මුළුතැන්ගෙයි කෑම බීම හැදෙනවා, කට්‌ලට්‌ බදිනවා, මාළු මස්‌ උයනවා. කෑම මේසය පිළිවෙල වෙනවා. සමහරු කාඩ් සෙල්ලමේ, තවත් සමහරු ආගිය තොරතුරු කථා කරනවා. තව සමහරුන්ගේ දුරකථන නාද වෙනවා. පුංචි දරුවො හඬනවා. දැන් ස්‌වාමින් වහන්සේ වැඩම කරල ධර්ම දේශනය පවත්වනවා. ගෙදර මුළුතැන්ගෙයි, කාමරවල, වත්තෙ පිටියේ කලබල. දැන් ඔබ හොඳින් හිතන්න. පිංදෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේතයා ගෙදරම සිටිනවා. ඉහත ස්‌වභාවයෙන් ඔබ පිංකම් කළොත් මේ ප්‍රේතයා බණ දවසෙ සවස පටන්ම දැඩිලෙස කලබලවෙලයි, ගැටෙන සිතෙනුයි සිටින්නෙ. මගේ ගෙදරට මිනිස්‌සු එනවා. මගේ බිරිඳ සමග මිනිස්‌සු කතා කරනවා, හිනහෙනවා. මගේ වත්තේ මිනිස්‌සු. ගෙදර කාමරවල මිනිස්‌සු. මගේ බිරිඳ මට අහිමිවෙයිද? කවුරුහරි උදුරාගනීද? මගේ බිරිඳ මේ මොකද කරන්නේ. මම මහන්සිවෙලා හරිහම්බ කළ මුදල් වියදම් කරනවා, මිනිස්‌සුන්ට කන්න දෙනවා. මෙහෙම සිතමින් තන්හාවෙන් චංචල ස්‌වභාවයෙන් ගේ පුරා දුවනවා. ඇවිත් ඉන්න මිනිස්‌සු සල්ලි, රන්රිදී ගනිවී කියල එයා අල්මාරිය මුරකරනවා. මිනිස්‌සු ගෙනා තෑගි පාර්සල් මුරකරනවා. එයා මහා බියකින් පසුවෙන්නෙ. තමාගේ යෑයි උපාදානය කොට ගත් දෙය අනුන් පරිහරණය කරනකොට එයාට ධර්මදේශනයට සවන්දීල පිංගන්න සිතක්‌, චිත්ත විවේකයක්‌ නැහැ. ප්‍රේතයා තන්හාවෙන් බියෙන් අන්ධවෙලයි මේ මොහොත ගත කරන්නේ. ධර්ම දේශනය ස්‌වාමින්වහන්සේ හමාර කරල පිංදුන්නත් ප්‍රේතයා ඒ වගක්‌වත් දන්නෙ නැහැ. ඔහු ප්‍රේත ස්‌වභාවයෙන් තමා උපාදානය කරගත් දෙය රැකගැනීම උදෙසායි මුළු කාලයම වැය කළේ. ඔහු තුළිsන් තවතවත් අකුසල් රැස්‌කර ගැනීමක්‌ පමණමයි සිදු වුණේ.

ඔබ මෙහෙම සිතන්න. ඔබේ ගෙදර සාදයක්‌ තිබෙනවා. කෑම මේසය ආහාරවලින් පිරිලා. ඔබේ ගෙදර සිටින කුඩා දරුවා මෙවැනි අවස්‌ථාවක මොකද කරන්නේ. සමවයසේ දරුවන් සමග සෙල්ලම් කරනවා, හැමෝම අතේ සුරතල් වෙනවා. එයා ආහාර ගැන සිතන්නේ නැහැ. මෙහෙම දඟලලා ආහාර නොගෙනෙම නිදාගන්නවා. රසවත් කෑම මේසයක්‌ තිබුණත් දරුවා නිදාගන්නෙ බඩගින්නේ. ඔබ උපායශීලී නොවුනහොත්, ප්‍රේත ආත්මයක්‌ ලැබූ පිං ගන්න පුළුවන් අයෙකුටත් අර දරුවා කෑම නොගෙන බඩගින්නේ නිදාගන්නා පරිද්දෙන්ම පිං ගැනීම අහිමිවෙනවා. මෙහිදී ඔබ දක්‌ෂ වෙන්න ඕනේ ප්‍රේතයාගේ සිත කලබල නොවන නොගැටෙන ස්‌වභාවයක්‌ පරිසරය තුළ නිර්මාණය කරන්න. සාදයක්‌ කියන්නෙ එකක්‌. පිංකමක්‌ කියන්නෙ තව එකක්‌. මේ දෙකේ අරමුණු දෙකක්‌ තිබෙන්නේ. සාදයකින් වැඩෙන්නෙ කාමය. පිංකමකින් වැඩෙන්නෙ කුසලයක්‌. වර්තමානයේ ධර්මදේශනයයි පාටියයි දෙකම එකටයි ගන්නේ. ධර්මශ්‍රවණය කරන පිංවතුන්ට ධර්මය ඇසෙන්නෙත් ආහාරවල සංඥාව සමගමයි. මේ දෙක ඔබ පටලවා ගන්න එපා. පිංකමක්‌ සිදුකිරීමට අවශ්‍යනම් සද්ධර්මයට ගරුකරන අවශ්‍යම පිංවත් ඥාතීන්, හිතවතුන් කිහිපදෙනාට පමණක්‌ ආරාධනා කරන්න. වත්ත පිරෙන්න නොවේ. ගෙදර සාලය පිරෙන්න. ඥාතීන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය ආහාරපාන සවස හය වෙනකොට සූදානම්කොට අවසන් කරන්න. කුසල් වැඩෙන සංඥාවන් මිස, අනිත්‍ය ධර්මයන් වැඩෙන සංඥාවන් මිස කාම සංඥාවලින් ඔබ මිදෙන්න. නිවස වත්ත හොඳින් පිරිසිදු කොට සම්බුqදු පහන දල්වා, මල්, සුවදඳුම් අල්වා නිවස වත්ත පිටිය බුදුමැදුරක්‌ කරගන්න. ස්‌වාමීන් වහන්සේගේ දෙපා දෝවනය කිරීමට ගොක්‌ අත්තක්‌ වියාගන්න. ගොක්‌ අත්තක්‌ භාවිතාකොට පහන් පැලක්‌ සාදා නැවුම් පහනක්‌ දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. මේ පහන් ආලෝකය මේ ඝන අන්දකාරය දුරුවී ආලෝකය පතුරුවන්නාසේ මගේ ඥාතීන් පිං මදව අඳුරේ සිටීනම් මේ පහන් ආලෝකය සේ පිනෙන් ආලෝකමවත් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. මේ ආලෝකය යම් සේ අනිත්‍යභාවයට පත්වේද මෙලෙසින්ම මගේ මිය ගිය ඥාතීන්ට ද අනිත්‍ය සංඥාවක්‌ දැනේවා කියල ඔබ අනිත්‍ය වඩන්න. ඔබ සිතන්න යන්න එපා ගොක්‌ අත්තක්‌ කපනවා කියන්නේ පොල්වල්ලක්‌ විනාශ කිරීමක්‌ කියල. සමහරු එහෙම හිතලා මේ වටිනා සිරිත් සමාජයෙන් අහිමි කරනවා. පොල්වල්ලක්‌ අපිට මිල කරන්න පුළුවන් රුපියල් පන්සියයක්‌ කියලා. එහෙත් සමාජයට එකතුව තිබූ වටිනා සිරිත් මිල කරන්න බැහැ. අපි අදක්‌ෂවෙලා තිබෙනවා වර්තමානයේ රුපියල් පන්සියයකට වටිනා ගුණධර්ම මිල කරන්න. ගොක්‌ අත්තක්‌ තුළ පිවිතුරු බව, නැවුම් බව, සෞභාග්‍යය විතරක්‌ නෙමෙයි විශේෂයෙන්ම අද අපේ ගෙදර පිංකමක්‌ තිබෙනවාය කියන සංඥාව තිබෙනවා. මේවායෙන් අපේ සිත්ද ඥාතියාගේ සිත්ද නිසල වෙනවා. සමාධිමත් වෙනවා. ඔබ ගොක්‌ අත්තක්‌ කෙරෙහි පොල්වල්ලක්‌ය යන සංඥාව ඇති කරගත්තොත්, ලෝභ සිතක්‌ ඇති කරගත්තොත් එවැනි සිතකින් අනුන්ට දෙන්න පිනක්‌ රැස්‌වෙයිද කියලා හිතන්න බෑ. යමෙක්‌ තුළ ගොක්‌ අත්තක්‌, පොල්වල්ලක්‌, පොල් ගසක්‌ පමණක්‌ නොව පොල් වත්තම මගේ කොට ගැනීම නිසා ඒවා තුළ නිත්‍යවූ වටිනාකමක්‌ ඇතැයි දැකීම නිසා පොල්වත්තේම ප්‍රේතයෙක්‌ව ඉපදීම ලෝක ස්‌වභාවයම පවතිනවා.

ඉහත ආකාරයට ඔබේ නිවස වත්ත පිටිය ආගමික පරිසරයක්‌, චිත්ත සමාධිය වැඩෙන පරිසරයක්‌ ලෙස සකස්‌කොට ගෙන ඥාතියාට පිංදීමට ඔබ උපක්‍රමශීලී විය යුතුය. ගෙදර බාහිර ක්‍රියාකාරකම් අවම වන තරමට ඥාති ප්‍රේතයාගේ සිත පිංකම කෙරෙහි රඳවා තබාගත හැකිය. එසේ නොවුනහොත් කෑම මේසයක්‌ ගෙදරක තිබියදී කුසගින්නේ නිදාගත් දරුවා සේ පිංකම සිදුකළද ඥාතියා පිංනොගෙනම පිංකම අහවරවනු ඇත. එහෙයින් ඥාතියාගේ සිත ඇලෙන ගැටෙන ස්‌වභායෙන් තොරව පිං ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට ඥාති ප්‍රේතයාට ඔබ පරලොවින් උපකාර කරන්න.

වර්තමාන සමාජයේ අපි උත්සහ ගන්නේ ජීවත්ව සිටින විට සතර අපායෙන් මිදීමට අවශ්‍ය කුසල් දහම් වැඩීම නොව, අනුන්ගේ පිං අවශ්‍ය නොවන සුගතියක ඉපදීමට පුහුණු වීම නොව, මියගිය පසු අනුන්ගේ පිනෙන් යෑපෙන අවාසනාවන්තයෙක්‌ වශයෙන් ජීවත්වීමටය, මිය යැමටය. සමහරු මිය යන්නේ හත්දවසේ තුන්මාසේ පිංකම්වලට මුදල් වෙන්කොට තබාය. මෙසේ පිංවත් ඔබ ජීවත්ව සිටියදීම මගේ ඥාතියා මරණයෙන් මතු මාව අසරණ කරාවී යන සංඥාව ඇති කරගෙන හමාරය. වර්තමානයේ ඔබ තුළ "මිය ගිය පසු මගේ ඥාතියා මට පිංදෙයි, ඥාතීන්ගෙන් පිං ගනිමි" වැනි සංඥා තිබෙනවානම් ඒවායින් වාහාම ඉවත් වන්න, මිදෙන්න. එම සංඥා තුළින් ඉවත් වීම යනු ප්‍රේත ලෝකයෙන් ඔබ යම් ප්‍රමාණයට මිදුනා වන්නේය. සෑම මොහොතකම ඔබ ඔබ කෙරෙහි, ඔබ කරන ලද පිංකම් කෙරෙහි විශ්වාසය තබන්න. තමා රැකි ශීලයන් කෙරෙහි විශ්වාසය තබන්න. මේ උත්තම ධර්ම මාර්ගය ඔබට විවර කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසය තබන්න, සිහිකරන්න, මෙනෙහි කරන්න. ඉනුත් ඔබ්බට ගොස්‌ මේ සියල්ල කෙරෙහි අනිත්‍ය සංඥාව පුරුදු කිරීමට ඔබ උත්සහවන්ත වන්න. අනුන්ගෙන් නොයෑපෙන, සතර අපායෙන් මිදුන, ධර්මයේ ආලෝකයේ හිමිකරුවෙක්‌ ලෙස මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔබ අධිෂ්ඨානය ඇති කරගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.