සීහල දීප වංශයේ ශ්‍රේෂ්ඨතම දිනය

සෑම රටකම පාහේ ඉතිහාසයේ විශිෂ්ටතම දිනයන් ලෙස සැලකෙන්නේ මහා යුද ජයග්‍රහණයන් ලැබූ දවස්‌ හෝ බලවත් රටවල අවශ්‍යතාවන් සඳහා ජනාවාසව පැවැති දිවයින් හෝ මහාද්වීප සොයාගත් දිනයන්ය. ග්‍රීක්‌වරුනට මහා ඇලෙක්‌සැන්ඩර්ගේ නායකත්වයෙන් මිසරය යටත්කර ඇලෙක්‌සැන්ඩි්‍රsයා නගරය පිහිටුවූ දිනයත් තුර්කීන්ට "කොන්ස්‌තන්තිනෝපල්" නගරය යටත්කර මුස්‌ලිම් ක්‍රමයට "ඉස්‌තාන්බුල්" යනුවෙන් නම්කළ දිනයත් ස්‌පාඤ්ඤයන්ට කොළොම්බස්‌ කියුබාවට ගොඩබට දිනයත් සියලුම යුරෝපීයයන්ට අමෙරිගෝ වෙස්‌ප්‍රසි අමෙරිකා මහාද්වීපයට ගොඩබට දිනයත් යුරෝපයේ ක්‍රිස්‌තියානීන්ට කුරුස යුද්ධයෙන් (සියක්‌ අවුරුදු යුද්ධයෙන්) ජයගත් දිනයත් අමෙරිකාවේ ජනපද පිහිටුවාගත් යුරෝපීයයන්ට වොෂින්ටන්ගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හමුදා පරාජය කළ දිනයත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදීන්ට ප්‍රංශ විප්ලවය ජයගත් දිනයත් සමාජවාදීන්ට රුසියාවේ ඔක්‌තෝබර් විප්ලවය ජයගත් දිනයත් චීනුන්ට විප්ලවය ජයගෙන මහජන චීන සමූහාණ්‌ඩුව පිහිටුවූ දිනයත් විශිෂ්ට දිනයන් වේ. එසේ වුවත් සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ට සෙත ශාන්තිය උදාවූ දිනය වන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුදුවූ වෙසක්‌ පෝ දිනයයි. බුදු තෙමඟුල සිදුවූ වෙසක්‌ පෝ දිනය දිව්‍ය ලෝක, බ්‍රහ්මලෝක ඇතුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම දිනයයි. සීහල දීපවාසී අපේ සුවිශේෂ ඓතිහාසික දිනය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ හා දෙවනපෑතිස්‌ රජ හමුවී සදහම් සංවාදයේ යෙදී අප මව්බිම ධර්මද්වීපය බවට පත්වීමේ ක්‍රියාදාමය ඇරඹුණු පොසොන් පෝ දිනයයි.

බුදුන්වහන්සේගේ විජය භූමිය වූ ඉන්දියාවේදී බුදුදහම අර්බුද රාශියකට ගොදුරු වද්දී බුදු සසුන සීහල දීපය තුළ සුරක්‍ෂිත වීම ලොවටම ආශිර්වාදයක්‌ විය. වසර එක්‌දහස්‌ පන්සියයක්‌ තරම් කාලයක්‌ තිස්‌සේ ඉන්දියාව පුරා පැතිර පැවතුණු බුදු සමය ආසියාවටම ආශිර්වාදයක්‌ වුවද විනාශකාරී මුස්‌ලිම් ආක්‍රමණය නිසා මෙන්ම මුස්‌ලිම් බලයට එරෙහිව බලවත්ව හින්දු රණකාමිත්වය නිසා ඉන්දියාවේ බුදු සසුන අභාවයට පත්වෙද්දී සීහල දීපයේ බුදු සසුන සුරක්‍ෂිත විය. ඉන්දියාවේ ගෞතම බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය අසන්දි මිත්‍රා බිසවගේ මිථ්‍යා දෘෂ්ටිවාදී කුමන්ත්‍රණය නිසා අපවත්වුවද සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ සීහල දීපයට වැඩමවූ සිරිමහ බෝධියේ දක්‍ෂිණ ශාඛාව අපේ ජයශ්‍රී මහා බෝධිය වී ලෝකයේ ලේඛනගත ශ්‍රේෂ්ඨතම ඓතිහාසික වෘක්‍ෂය ලෙස පිළිගැනී ඇත.

ලෝකයේ ශ්‍රේෂ්ඨතම සරල සුගම සුහද සංවාදය සිදුවූ පොසොන් පෝ දිනය මිනිසුන්ගේ හා ගව, මුව ආදී අහිංසක සතුන්ගේද ලේගැලීම නැවතුණු දිනයක්‌ බවට පත්විය. අනුබුදු මිහිඳු පරපුරට අයත්වූ සීහල දීපවාසී මහා සංඝරත්නය වළගම්බා රජු දවස ඇතිවූ සාගතය මධ්‍යයේ බුදුදහම සුරක්‍ෂිත කිරීමේ උතුම් අරමුණින් ත්‍රිපිටකය ලේඛනගත කිරීම ලොවටම ආශිර්වාදයක්‌ විය. අශෝක රජු දවස අසියාව පුරා පැතිරුණු බුදු දහම අනගාරික ධර්මපාලතුමන් අමෙරිකාවේ චිකාගෝ නුවර දෘෂ්ටිs සම්මේලනයේ කළ දාර්ශනික වූ සරල සුගම දේශනයේ පටන් ලෝක දහමක්‌ ලෙස බටහිර රටවලද ව්‍යාප්ත වන්නට විය. ලෝක ප්‍රකට දාර්ශනික සංවාදයක්‌ බවට පත්වූ ඉන්දියාවේ මිළිඳු රජු හා නාගසේන හිමියන් අතර වූ සංවාදය ගැඹුරු දෘෂ්ටිමය සංවාදයක්‌ වුවත් ඒ මහා සංවාදය මිහිඳු මහ රහතන් වහන්සේත් දෙවනපෑතිස්‌ රජුත් අතර වූ සරල සුගම සදහම් සංවාදය මෙන් ජනතා සිත් සතන් තුළ තහවුරු වූයේ නැත.

මහරහත් හිමිනමක්‌ ලෙස තරුණ වියේ සීහල දීපයට වැඩම කර තම නැඟණිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේද මෙරටට ගෙන්වාගෙන මුළු ජීවිත කාලයම සීහල දේශයේ ජනතා අභිවෘද්ධිය උදෙසා කැපකළ මිහිඳු මා හිමියෝ සිංහලේ අනුබුදුවරයාණන් බවට පත්වූහ. සිංහල ජාතිය සතු බුද්ධි ප්‍රභාව නිසාම ගැඹුරු දහමක්‌ වූ බුදු දහම අවබෝධ කරගන්නට සිංහලයන්ට හැකි විය. සිංහලයන් හොඳින් දන්නා අඹගස මුල්කරගෙන මතුකළ සරල ප්‍රශ්නාවලිය මගින් සිංහලේ නායකයා වූ දේවානම් පියතිස්‌ස රජතුමාගේ බුද්ධිමට්‌ටම පැහැදිළි කරගත් මිහිඳු මා හිමියෝ නෑයනුත් නොනෑයනුත් අතර රජුගේ සුවිශේෂත්වයද මනාව අවබෝධ කර ගත්හ. තිස්‌ස රජතුමා තම නෑයන් හා නොනෑයන් අතර තමන්ගේ සුවිශේෂත්වය පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතු සැබෑ නායකයකු බව පැහැදිලි වූයෙන් මිහිඳු මහ රහතන්වහන්සේ රජුටත් රජුගේ නායකත්වයෙන් යුතු බුද්ධිමත් ජනතාවටත් ධර්මදේශනා කළහ. ධර්මදේශනාවේදීද මිහිඳු මා හිමියන් උපමාවට ගත්තේ සීහල දීපවාසීන් හොඳින් දන්නා හස්‌තියාගේ පාද සලකුණයි. පේතවත්ථු හා විමානවත්ථු ආදී දේශනාවන් මගින් මිහිඳු මා හිමියන් පෙන්නුම් කළේ මියගිය ඥතීන් අදහන කෘතවේදී ජනතාවගේ මානසිකත්වයට ගැලපෙන අයුරින් ධර්මය පහදාදීම සඳහා වූ හැකියාවයි. එසේම තමන්ට සෙවණ දෙන ප්‍රයෝජනවත් ගස්‌ ඇදහූ ජනතාවට බුදු දහම සමඟ සම්බන්ධ වූ පූජනීය වෘක්‍ෂයක්‌ හඳුන්වා දුන් මිහිඳු මා හිමියෝ බුදුන් පිටදුන් සිරිමහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව සමඟ ශිල්ප කුල රැසකට අයත් විශාරද ජනතාවක්‌ද ගෙන්වූහ. උතුරේ දඹකොළපටුනේ සිට අනුරාධපුරය දක්‌වා මහ පෙරහරින් වැඩමවූ බෝධිය උත්සවාකාරයෙන් රෝපණය කරන්නට උපදෙස්‌ දුන් මිහිඳු මාහිමියෝ ජය ශ්‍රීමහා බෝධියෙන් බිහිවූ අෂ්ටපලරුහ බෝධීන් හා දෙතිස්‌ඵල රුහ බෝධීන් රටේ සෑම ප්‍රදේශයකම රෝපණය කරවන මඟ පෙන්වමින් බෝධිය මගින් සීහල දීපය එකමුතු කරන මඟ පෑදූහ.

අනුබුදු මිහිඳු මාහිමියනුත් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේත් තම ජීවිත සීහල දීපවාසී ජනතාව වෙනුවෙන් කැපකරමින් සිංහලයන් සුවිශේෂ උරුමයක්‌ හිමි අදීන අභිමානවත් ජනකායක්‌ බවට පත් කිරීමෙහිලා පුරෝගාමී වූහ. එසේ ජාතියේ අනුත්තර ගුරුවරයාණන් බවට පත්වූ අනුබුදු මිහිඳු මාහිමියන් කෙරේ මෙන්ම සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ කෙරේද කෘතවේදී වූ සීහල දීපවාසී බෞද්ධයෝ අවුරුදු පතා රටපුරා මිහිඳු පෙරහැර හා සංඝමිත්තා පෙරහැර පවත්වමින් උපහාර පුදකරති. මිහිඳු මා හිමියන්ගෙන් බණ අසා අනුලා දේවිය ප්‍රමුඛ රජ පවුලේ කාන්තාවෝද පැවිදි වූහ. තිස්‌ස රජතුමන්ගේ බෑණනුවන් වූ මහසෙන්පති අරිට්‌ඨ කුමාරයා ප්‍රමුඛ ප්‍රභූන්ද පැවිදි වූහ. පළමුවැනි සිංහල භික්‍ෂුන්වහන්සේ වූ අරිට්‌ඨ හිමියෝ අරිට්‌ඨ පබ්බතයේ වැඩවෙසෙමින් තමන් ගිහි අවධියේ ප්‍රගුණ කළ නිරායුධ සටන් ක්‍රමද තමන් වෙත පැවිදිවූ තරුණ භික්‍ෂුන් වහන්සේලාට ඉගැන්වූයේ සොර සතුරන්ගේ වුවද ජීවිතවලට හෝ ශරීරාංගවලට හානියක්‌ නොකර ආත්මාරක්‍ෂාව සලසා ගැනීම සඳහාය. පසුකාලයේ රිටිගල නමින් ප්‍රකට වූ අරිට්‌ඨ හිමියන් වැඩසිටි අරිට්‌ඨ පබ්බතය පදනම් කරගෙන දුටුගැමුණු රජ සමයේදී රිටිගල ජයසේනයන්ගේ නායකත්වයෙන් යෝධයන්ට සටන් පුහුණුව ලබාදුන් පුහුණු කඳවුරක්‌ද බිහිවිය.

වැව් හා විහාර දාගැබ් කරවමින් රට ආහාරයෙන් හා ආගම දහමින් දියුණු කරවූ දේවානම්පියතිස්‌ස රජුගේ හතලිස්‌ වසක සාමකාමී පාලනයෙන් පසු රජ සොහොයුරු උත්තිය කුමරාත් ඉන්පසු ඊළඟ සොහොයුරා වූ සූරතිස්‌ස කුමරාත් රජවූහ. දේවානම් පියතිස්‌ස රජතුමා මෙන්ම උත්තිය හා සූරතිස්‌ස රජවරුන් ද ආගම දහමට බරවී රට කරවූ සාමකාමී පාලකයන් වූයෙන් අශෝක අධිරාජයාගෙන් පසු දකුණු ඉන්දියාවේ බලවත්වූ ද්‍රවිඩ නායකයන් සීහල දීපය ආක්‍රමණය කළහ. සූරතිස්‌ස රජු මරා අනුරපුර රජදහන යටත් කරගත් සේන හා ගුත්තික ප්‍රමුඛ ආක්‍රමණිකයන්ට එරෙහිව සේනා සංවිධානය කළ දෙවනපෑතිස්‌ රජුගේ බාල සොහොයුරු අසේල කුමාරයා සතුරන් පරදා රට බේරාගෙන රජවුවත් ඔහුටද රට කරවිය හැකි වූයේ දසවසකි. දකුණු ඉන්දියාවෙන් බලවත් සේනාවක්‌ රැගෙන ආ එළාරගේ නායකත්වයෙන් රට ආක්‍රමණය කළ පරසතුරෝ අසේල රජු මරා අනුරපුර රාජධානිය යටත්කර ගත්හ. එහෙත් මිහිඳු මාහිමි පරපුරින් පැවතෙන මහා සංඝරත්නයේ ආශිර්වාදය හා මාර්ගෝපදේශකත්වය ලබා රුහුණත් කැලණි රජ දහනත් එක්‌කර පාලනය කළ කාවන්තිස්‌ස රජතුමාත් විහාරමහා දේවියත් රට එක්‌සේසත් කර බුද්ධ ශාසනය නඟා සිටුවීමේ සම්‍යක්‌ දෘෂ්ටික උපාය මාර්ගයන් අනුගමනය කරමින් දිගාමඬුල්ලත් සෝම රජදහනත් සේරු රාජධානියත් එක ධජයක්‌ යටතට ගත්තේ මහ සඟරුවන පෙරටුකර ගනිමිනි. පළමුව මහසඟරුවන සේරු රාජධානියට යවා බුදු හිමියන්ගේ ලලාට ධාතුව නිදන්කර මහ දාගැබක්‌ කරවන්නට කාවන්තිස්‌ස රජතුමන් මහ පෙරහැරෙන් එන බව ප්‍රචාරය කරවීම සඳහා අනුගමනය කරනලද උපායශීලී ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි වන්නේ රජතුමාත් විහාරමහා දේවියත් දේශප්‍රේමී ජාතිහිතෛෂී භික්‍ෂුන් වහන්සේලාගේ පුරෝගාමිත්වයෙන් කටයුතු කළ ආකාරයයි.

සීහල දීපවාසී බෞද්ධයන්ගේ විශ්වාසය අනුවත් දීපවංශාදී වංශකථා හා ජනප්‍රවාද අනුවත් විහාරමහා දේවියට පුත්ව උපන්නේ රෝගාතුරව අපවත්වූ දේශප්‍රේමී ජාතිමාමක හිමිනමකි. එසේ රට බේරාගෙන බුදු සසුන රැකගැනීමේ අරමුණ සිත දරාගෙන අපවත්වී විහාරමහා දේවියට හා කාවන්තිස්‌ස රජතුමන්ට පුත්ව උපන් ගැමුණු කුමාරයාගේත් දෙවැනිව උපන් තිස්‌ස කුමාරයාගේත් ගුරුවරුන් වූයේ මහා සංඝරත්නයයි. රට එක්‌සේසත් කිරීම සඳහා දුටුගැමුණු රජතුමාට සහාය වෙමින් මාගම සිට මහියංගණය දක්‌වා ගම් දහස්‌ ගණනක්‌ මැදින් ජනතාව අවදි කරවමින් වැඩම කළ තරුණ භික්‍ෂුන් වහන්සේලා මෙන්ම විජයග්‍රාහී වූ රජුට රුවන්වැලි මහාසෑය හා ලෝවාමහාපාය කරවන්නට අවශ්‍ය සැලසුම් සකස්‌කර දුන් නායක භික්‍ෂුන් වහන්සේලා අයත්වන්නේද අනුබුදු මිහිඳු මාහිමියන්ගෙන් පැවතෙන මහසඟ පරපුරට මිස සිදුහත් කුමරුන් ලංකාවේ ඉපදී ලංකාවේදී බුදු වී ලංකාවේම වැඩ සිටියේ යෑයි කියමින් ඉතිහාසය විකෘති කරන්න වූවන්ගේ ප්‍රබන්ධ කථාවල එන මනඃකල්පිත භික්‍ෂු පරපුරකට නොවේ. ගැමුණු රජතුමාගේ අභාවයෙන් පසු රජවූ සද්ධාතිස්‌ස රජතුමාට රටපුරා විහාර දාගැබ් හා වැව් ඇළවේලි කරවන්නට මාර්ගෝපදේශකත්වය ලබාදුන්නේද අනුබුදු මිහිඳු මාහිමි පරපුරෙන් පැවතෙන මහා සංඝරත්නයයි.

සද්ධාතිස්‌ස රජතුමාගේ අභාවයෙන් පසු රජතුමාගේ වැඩිමල් පුතුන්වූ ලඡ්ජිතිස්‌ස හා තුල්ලත්ථන කුමාරයන් අතරවූ අරගල නිසා රාජ්‍ය දුර්වල වූ අතර වළගම්බා රජවී වසරක්‌ ගතවන්නට කලින් රට පරසතුරු ආක්‍රමණයට ගොදුරු වූයේ තිස්‌ස බමුණාගේ විනාශකාරී කැරැල්ල හේතුවෙන් ඇතිවූ සාගත තත්ත්වය නිසාය, සතුරන් අතින් පරාජය වී වනයට පසුබැස සිටි වළගම්බා රජුත් ඇමැතිවරුත් අතර අර්බුදය සමහන් කර සේනා සංවිධානයෙහිලා රජුට සහාය වූයේ අනුබුදු මිහිඳු මාහිමි පරපුරෙන් පැවතෙන මහා තිස්‌ස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මිස පණ්‌ඩුකාභය කාලයේ පවා බලවත්ව සිටි බමුණන් හෝ රජුට නිගාකළ ගිරිනම් නිගණ්‌ඨයා වැනි නිගණ්‌ඨයන් නොවේ. අභයගිරි විහාර සංකීර්ණය කරවු වළගම්බාවන් ප්‍රමුඛ දේශප්‍රේමීන්ගේ ජයග්‍රහණයෙන් ශතවර්ෂ කීපයකට පසු දාඨිය පීඨිය ආදීන් ප්‍රමුඛ පරසතුරන් රට යටත් කරගත් අවස්‌ථාවේ ළමාවියේ පසුවූ ධාතුසේන කුමාරයාට චීවරයේ රැකවරණ ලබාදී බණ දහම් උගන්වා නිසිවයසට එළඹුණු පසු රාජ්‍යතන්ත්‍ර යුද්ධ තන්ත්‍ර හා අර්ථ තන්ත්‍ර ආදී පංච තන්ත්‍රයම උගන්වා විමුක්‌ති සේනා සංවිධානයෙහිලා සහාය වූයේ අනුබුදු මිහිඳු මාහිමි පරපුරෙන් පැවත ආ දික්‌සඳ සෙනෙවියා පිරුවන්පති මහානාම හිමියන්ය. මහාවංශ කර්තෘ මහානාම හිමියන්ටත් දීපවංශාදී අනෙකුත් වංශකථා කළ අටුවාචාරීන් වහන්සේලාටත් එරෙහිව ලංකාවේ ඉපිද ලංකාවේ හිරිවඩුන්නේදී බුදු වී ලංකාවේම පිරිනිවන්පෑ බුදු කෙනෙක්‌ පිළිබඳ ප්‍රබන්ධ කථාවක්‌ හදාගෙන ලොවම පිළිගත් ඓතිහාසික බුද්ධ චරිත කථාවත් අනුබුදු මිහිඳු මාහිමි චරිතයත් මකා දමන්නට උත්සාහ කරන මිත්‍යාමතධාරී කල්ලිය මොන ප්‍රබන්ධ කථා කීවත් මේ පොසොන් පෝදා මෙන්ම සෑම පොසොන් පෝයක්‌ සමඟ නැවත නැවතත් ඉර හඳ මෙන් බැබළෙන මිහිඳු මාහිමි චරිතය හෝ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ පිළිබඳ සත්‍යය සීහල දීපවාසී බෞද්ධයන්ගේ සිත් සතන් තුළින් ඈත් කළ නොහැකි බව නිසැකය.

මුන්මඩිචෝල අධිරාජ්‍යයෙන් රට බේරාගන්නට කීර්ති කුමාරයාට උපකාරී වූයෙත් මහපැරකුම්බාවන්ට රට එක්‌සේසත් කර සීහලදීපය පෙරදිග ධාන්‍යාගාරය හා ආසියාවේ බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බවට පත්කරන්නට මග පෙන්වූයේත් අනුබුදු මිහිඳු මාහිමි පරපුරෙන් පැවතෙන මහා සංඝරත්නයයි. මහපැරකුම්බාවන්ට චූලවංශ කර්තෘ ධර්මකීර්ති හිමියන් හා දිඹුලාගල කාශ්‍යප හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය ලැබුණා මෙන්ම කාලිංග මාඝගේ විනාශකාරී ආක්‍රමණික බලයෙන් රට බේරාගෙන බුදුසසුන නඟා සිටුවා දඹදෙණි ධර්ම සාහිත්‍ය යුගය උදාකරන්නට නායකත්වය දුන් සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත දෙවැනි පැරකුම්බා රජතුමන්ට මග පෙන්වූයේ රජතුමා බෝධචිත්තයෙහි පිහිටුවන අරමුණින් පූජාවලිය ලියා රජුට පිළිගැන්වූ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් බව ඉතිහාසගත වී තිබේ. ආර්යචක්‍රවර්තීවරුන් දඹදෙණිය ආක්‍රමණය කළ පසු කුරුණෑගල අගනුවර කරගෙන නව රාජධානියක්‌ පිහිටුවා රට දැය නගා සිටුවන්නට කටයුතු කළ හතරවැනි පැරකුම්බාවන්ට ජාතිය අවදි කිරීම සඳහා උම්මග්ග ජාතකාදී බෝධිසත්ව ආදර්ශයන් ජනතාව අතරට ගෙනයන්නට සහාය වූයේද අනුබුදු මිහිඳු මාහිමි පරපුරෙන් පැවත ආ භික්‍ෂුන් වහන්සේලා බව නිසැකය. ජාවක හා චීන ආක්‍රමණවලින් පසු ගම්පල මුල්කරගෙන සිංහල රාජධානිය වඩා සුරක්‍ෂිත මධ්‍ය කඳුකරයට ගෙනයැමෙන් පසු තුන්වැනි බුවනෙකබාහු රජුටත් ජනතාවටත් රට, දැය, සමය රැකගන්නා මඟ පෙන්වාදෙමින් ආශිර්වාද කළේ අස්‌ගිරි විහාර වාසීන් ප්‍රමුඛ අනුබුදු හිමිඳු මාහිමි පරපුරෙන් පැවතෙන භික්‍ෂු පරපුරයි. මුස්‌ලිම් ආක්‍රමණ හා හින්දු රණකාමිත්වය හමුවේ ඉන්දියාවේ බුදු සසුන අභාවයට යද්දී පොළොන්නරු, දඹදෙණි හා කෝට්‌ටේ යුගවලදී සීහලදීපය ආසියාවේ බෞද්ධ මධ්‍යස්‌ථානය ලෙස ලොවටම ආශිර්වාදයක්‌ වූයේ අනුබුදු මිහිඳු මාහිමියන්ගෙන් ඇරඹුණු සිංහල භික්‍ෂු පරපුර නිසා බව නිසැකය.

සුනේත්‍රාදේවි පුත් පැපිලියානේ කුමාරයා හයවැනි ශ්‍රී පැරකුම්බා නමින් කෝට්‌ටේ රජකමට පත් කිරීමෙහිලා මුල්වූයේ අනුබුදු මිහිඳු මාහිමි පරපුරෙන් පැවතෙන වීදාගම මහනාහිමියන් බව ඉතිහාසගත වී ඇත. සමෘද්ධිමත් කෝට්‌ටේ යුගය අවසන් වී සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පසු කන්ද උඩරට සිංහල රාජධානිය පවා පරංගි බලයට ගොදුරු වන්නට ගිය අවස්‌ථාවේ කොනප්පු බණ්‌ඩාරට නිවැරදි මග පෙන්වා විමලධර්මසූරිය නමින් රජවන්නට උපකාරී වූයේද අනුබුදු මිහිඳු මා හිමි පරපුරින් පැවතගෙන ආ දෙවන ගල රතනාලංකාර නාමිහියන්ය. සිංහලයන් අතර ඇතිවූ බේද නිසා රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගොදුරු වූ අවස්‌ථාවේ ජාතික විමුක්‌තියේ කාහලනාදය නංවමින් ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහ ධජය එසවූයේ ද මිහිඳු මාහිමි පරපුරෙන් පැවතගෙන ආ වාරියපොළ සුමංගල හිමියන්ය. කුඩාපොළ හිමියන් වෙඩිතබා ඝාතනය කළද මිහිඳු මාහිමි පරපුරින් පැවත ආ සිංහල භික්‍ෂුන් වහන්සේලා රට, දැය, සමය වෙනුවෙන් කැපවී ඉදිරියට යමින් අධිරාජ්‍යවාදී මිෂනාරි බලවේග පරාජය කළහ. ඒ පිළිබඳ හොඳම ආදර්ශයන් වන්නේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය.

හික්‌කඩුවේ සුමංගල නාහිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආශිර්වාදය හා අනුග්‍රහය ලැබූ අනගාරික ධර්මපාලතුමන්ට චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ බොදු හඬ නැංවීමේ පටන් ලොව පුරා යමින් ලෝක බෞද්ධ ප්‍රජාවත් යුක්‌තිකාමී ජාත්‍යන්තර ප්‍රජාවත් සිංහල බෞද්ධයන් වටා එකතුකරගත හැකි විය. එය රටේ නිදහසට මෙන්ම පනස්‌හයේ ජනතා ජයග්‍රහණයටද මුල්වූ බලවේගය විය. මහාචාර්ය මලලසේකර මහතා ලෝක බෞද්ධ සම්මේලනයේ පළමුවැනි සභාපති වීම ඒ ජයග්‍රහණයේ ජාත්‍යන්තර සංකේතයක්‌ විය. මේ උදාර ඉතිහාසයෙන් පැහැදිලි වන්නේ ජාත්‍යන්තර ප්‍රතිගාමී බලවේගයන් කුමන වේශයෙන් ආවත් අද වැනි උතුම් දිනෙක සිදු වූ මහින්දාගමනය ශ්‍රී ලංකාවට මෙන්ම ලොවටම සෙතක්‌ ශාන්තියක්‌ වන බවයි.

අනගාරික ධර්මසේකරතුමා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.